brand logo
logo
පොදුරද මඩුළු ක්‍රීඩා උළෙලට රුමේෂ්ගේ නායකත්වයෙන් 40දෙනෙකු

පොදුරද මඩුළු ක්‍රීඩා උළෙලට රුමේෂ්ගේ නායකත්වයෙන් 40දෙනෙකු

16 July 2026 | නදුන්ක නෙත්සර


ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ හිදී එළැඹෙන 23 වැනිදා ඇරැඹෙන 23 වැනි පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලෙහි ශ්‍රී ලංකා නියෝජනය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ඊයේ (15 වැනිදා) ජාතික ඔලිම්පික් කමිටු නිවහනේදී පැවැති අතර කණ්ඩායම් නායක රුමේෂ් තරංග ඇතුළු ක්‍රීඩක ක්‍රීඩිකාවන් 40ක පිරිසක් මෙවර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග කිරීමට නියමිත බව එහිදී ප්‍රකාශ කෙරිණි.


මෙවර ශ්‍රී ලංකා කණ්ඩායමට පැරා මලල ක්‍රීඩා නියෝජනය කරමින්, ඉකුත් බර්මිංහැම් පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ කවපෙත්ත ඉසව්වේන් රිදී පදක්කම් ලාභී පාලිත බණ්ඩාර සහ පැරා මීටර් 100 ක්‍රීඩිකා ජනනි ධනංජනා සහභාගි වෙති. පාලිත සමාරම්භක උළෙලේ ශ්‍රී ලංකා ධජය ගෙනයාමේ භාග්‍ය දරන අතර සාම්ප්‍රදායික පොදුරද මඩුළු යෂ්ටිය ගෙනයාමේ අවස්ථාව ජනනි හට හිමිව ඇත.


සෙසු නියෝජනයන් බර ඉසිලීම ක්‍රීඩකයන් තිදෙනකු සහ ක්‍රීඩිකාවන් දෙදෙනකු, මලල ක්‍රීඩකයන් 15දෙනකු සහ ක්‍රීඩිකාවන් 5 දෙනකු, බොක්සිං ක්‍රීඩකයන් සිව්දෙනකු සහ ක්‍රීඩිකාවන් දෙදෙනකු, ජූඩෝ ක්‍රීඩකයන් දෙදෙනකු, කලාත්මක ජිම්නාස්ටික් ඉසව්වෙන් එක් ක්‍රීඩකයකු සහ ක්‍රීඩිකාවන් දෙදෙනකු මෙන්ම පිහිනුම් ඉසව්වෙන් ක්‍රීඩකයකු සහ ක්‍රීඩිකාවක ලෙස ‍යෙදී ඇත. කණ්ඩායම සමග ක්‍රීඩා උළෙලට එක්වන නිලධාරී මණ්ඩලය 14කි.


මෙහිදී පිරිස ඇමතූ ක්‍රීඩා අමාත්‍යවරයා මෙවර සහභාගිවන රුමේෂ් තරංග, ටියානා සුමනසේකර වැනි ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු කණ්ඩායමට රන් පදක්කම 2ක් 3ක් ඇතුළු පදක්කම් රැසක් දිනා ගැනීමට හැකිවනු ඇතැයි බලාපොරොත්තු වන බව ප්‍රකාශ කළේය. එමෙන්ම මෙම ක්‍රීඩකයන් ගොඩනැගීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය විශාල බ‍ර පැනක් දරන බව සඳහන් කළ අමාත්‍යවරයා සියලුදෙනා හට ක්‍රීඩා අමාත්‍යාංශය සුභපතන බව සඳහන් කළේය.


සුපුරුදු පරිදි මෙවරද සමාරම්භක උළෙල සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ඇදුම් LOVI Ceylon වෙතින්ද, ක්‍රීඩක නිල ඇඳුම් MAS Holdings වෙතින්ද සපයනු ලබන අතර අදාළ නිල ඇඳුම් ක්‍රීඩක ක්‍රිඩීකාවන්ගේ ප්‍රධානත්වයෙන් එළි දැක්වීම සිදු කෙරිණි. මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික්, ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, ජාතික ඔලිම්පික් කමිටුවේ හා ශ්‍රී ලංකා පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා සංගමයේ සභාපති අසංග සෙනෙවිරත්න, ජාතික ඔලිම්පික් කමිටුවේ හා ශ්‍රී ලංකා පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා සංගමයේ ලේකම් රිෆ්ඩි ෆාමි, ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා කණ්ඩායම් ප්‍රධානියා නිලූක කරුණාරත්න, ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

 

More News..