brand logo
logo
 ධීවර කටයුතුවල නිරත වන පිරිස් ඉදිරි කාලගුණ නිවේදන පිළිබඳව දැඩි අවධානයෙන් කටයුතු කරන්න

ධීවර කටයුතුවල නිරත වන පිරිස් ඉදිරි කාලගුණ නිවේදන පිළිබඳව දැඩි අවධානයෙන් කටයුතු කරන්න

22 October 2026

දිවයින ආසන්නයේ පවතින අඩු පීඩන කලාපය වයඹ දෙසට වී ඇති අතර එය ක්‍රමයෙන් බටහිර දෙසට ගමන් කරමින් පවතින බවත්, මේ හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට දවස පුරාම වැසි අපේක්ෂා කළ හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පවසයි.


අද (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ඉදිරි කාලගුණ තත්ත්වයන් පිළිබඳ දැනුම්වත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.


දිවයින ආශ්‍රිතව අන්තර් අභිසාරි කලාපයක් පවතින අතර, ප්‍රදේශ කිහිපයකට දවස පුරාම වර්ෂාව ලැබෙමින් පවතින බව ඒ මහතා පවසයි.


ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි පවතින අතර, හෙට දිනයේත් දිවයිනේ සෑම ප්‍රදේශයකටම දවස පුරා වැසි තත්ත්වය අඛණ්ඩව පවතිනු ඇති බව දැනුම් දෙයි.


අන්තර් අභිසාරි කලාපයේ බලපෑමත් සමඟ ඔක්තෝබර් 23 වන දින වන විට අන්දමන් දූපත් ආශ්‍රීතව අඩු පීඩන කලාපයක් වර්ධනය වීමේ හැකියාවක් පවතින බැවින් එම තත්ත්වය තවදුරටත් වර්ධනය වී පීඩන අවපාතයක් බවට පත්විය හැකි බව ඒ මහතා පවසයි.


මෙයින් ශ්‍රී ලංකාවට සෘජු බලපෑමක් නොමැති වුවද, සුළං ප්‍රවාහය ශ්‍රී ලංකාව හරහා හමා යාම හේතුවෙන් නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වය මෙම මස 27 වන දින දක්වා අඛණ්ඩව පවතිනු ඇති බව අධක්ෂවරයා පෙන්වා දෙයි.


මීට අමතරව, බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන තත්ත්වය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතී.


මේ හේතුවෙන් ඉදිරි දිනවලදී බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල නිරත වන පිරිස්, විශේෂයෙන්ම බහුදින ධීවර යාත්‍රා පදවන්නන්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි කාලගුණ නිවේදන පිළිබඳව දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස ඒ මහතා වැඩිදුරටත් ඉල්ලා සිටී.

 

More News..