brand logo
logo
 ඩුබායිහිදී අත්අඩංගුවට ගත් අපරාධකරුවන් ගැන නිල දැනුම්දීමක්

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් අපරාධකරුවන් ගැන නිල දැනුම්දීමක්

22 August 2026


ඩුබායිහි සැඟව සිටි අපරාධකරුවන් වන කොණ්ඩ රංජි, ඇල්ටෝ ධර්මේ, බස් ලලිත් හා වනාතේ චතූ අත්අඩංගුවට ගෙන ඇති බව එරට ආරක්ෂක අංශ නිලවශයෙන් මෙරට ආරක්ෂක අංශවෙත දැනුම්දී තිබේ.


ඒ අනුව බස් ලලිත් නමැත්තා එළැඹෙන සඳුදා (24) මෙරටට රැගෙන ඒමට විශේෂ පොලිස් කණ්ඩායමක් ඩුබායි රාජ්‍ය වෙත ගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය.


ඩුබායි රාජ්‍යයේදී මෙරට අපරාධකරුවන් රැසක් අත්අඩංගුවට ගෙන ඇති බව පසුගිය කාලයපුරා දිගින් දිගටම වාර්තා විය.


ඒ අතරින් හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ඝාතනය කිරීමට උත්සහා දැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති කොණ්ඩ රංජි, ටෙස්ට් ක්‍රිකට් නායක ධනංජයද සිල්වාගේ පියා ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින ඇල්ටෝ ධර්මේ අත්අඩංගුවට ගෙන ඇති බව ඩුබායි ආරක්ෂක අංශ නිලවශයෙන් මෙරටට දැනුම්දී ඇත.


එමෙන්ම බොරැල්ල වනාතමුල්ල ප්‍රදේශයේ පසුගිය කාලය පුරා ඝාතන රැසක් සිදුකළ බවට චෝදනා එල්ලවී සිටින වනාතේ චතූ නැමැත්තාද අත්අඩංගුවට ගෙන ඇති බව මෙරට ආරක්ෂක අංශවෙත දැනුම්දී ඇති බව පොලිසිය ප්‍රකාශ කළේය.


එවන් පසුබිමක පසුගිය වසරේ ඩුබායිහිදී අත්අඩංගුවට පත් වූ බස් ලලිත් නැමැති අපරාධකරුව එළැඹෙන සඳුදා මෙරටට රැගෙන ඒමට නියමිතය.


ඔහුව එහිදී අත්අඩංගුවටගෙන ඇත්තේ, මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය හා රාජ්‍ය බුද්ධි සේවය එරට ආරක්ෂක අංශ එක්ව සිදුකළ මෙහෙයුමකදීය.


අදාළ මෙහෙයුම සිදු කෙරෙන්නේ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ඍජු අධීක්ෂණයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ මෙහෙයවීමෙනි.


මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ මහතා ඇතුළු කණ්ඩායමක් සැකකරුව මෙරටට රැගෙන ඒමට නියමිතය.


හංවැල්ල ප්‍රදේශයේ කප්පම් ගැනීම් හා මනුෂ්‍ය ඝාතන රැසක් සිදුකිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ලවී තිබේ.

 

More News..