ඩෙංගු මරණ සංඛ්යාව 81ක් දක්වා ඉහළට
27 October 2026
ඩෙංගු මරණ සංඛ්යාව 81ක් දක්වා ඉහළට
27 October 2026
වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු මරණ සංඛ්යාව 81ක් දක්වා ඉහළ ගොස් ඇති බව ඩෙංගු මර්දන ඒකකය පවසයි.
එම ඒකකයේ නවතම දත්තවලට අනුව, මේ වන විට වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්යාව 105,295කි.
ඩෙංගු රෝගීන්ගෙන් වැඩිම සංඛ්යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර, එම සංඛ්යාව 54,783ක් වන බවද සඳහන්.
දෙවනුව වැඩිම රෝගීන් සංඛ්යාවක් වාර්තා වී ඇත්තේ දකුණු පළාතෙන් වන අතර එම සංඛ්යාව 14,954ක් වේ.
එමෙන්ම මධ්යම පළාතෙන් රෝගීන් 10,549ක් ද, සබරගමුව පළාතෙන් රෝගීන් 8,629ක් ද ලෙස ද වාර්තා වී තිබේ.
දිස්ත්රික් මට්ටමින් සැලකීමේදී වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ සහ කොළඹ දිස්ත්රික්කවලිනි.
ඒ අනුව, ගම්පහ දිස්ත්රික්කයෙන් රෝගීන් 22,094ක් ද, කොළඹ දිස්ත්රික්කයෙන් රෝගීන් 20,453ක් ද වාර්තා වී ඇත.
එමෙන්ම, මහනුවර දිස්ත්රික්කයෙන් රෝගීන් 8,398ක් ද, කළුතර දිස්ත්රික්කයෙන් රෝගීන් 6,593ක් ද වාර්තා වී තිබේ.
මේ අතර වසරේ ගත වූ කාලය තුළ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්යාවක් වාර්තා වී ඇත්තේ ජූලි මාසයේදී වන අතර, එම මාසය තුළ පමණක් රෝගීන් 29,964ක් වාර්තා වී ඇත.
එමෙන්ම ඔක්තෝබර් මාසයේ මේ දක්වා කාලය තුළ රෝගීන් 4,575ක් වාර්තා වී ඇති බව ද එම දත්ත පෙන්වා දී තිබේ.
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන වැඩි විය හැකි බැවින්, තම නිවාස හා අවට පරිසරය පිරිසිදුව තබා ගනිමින් මදුරුවන් බෝවීම වැළැක්වීමට අවශ්ය පියවර ගන්නා ලෙස සෞඛ්ය අංශ ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

