කටුනායක ඇඟලුම් කම්හලක් දින නියමයක් නොමැතිව වසා දමයි
21 May 2025 | ටී.කේ.ජී.කපිල - කටුනායක
කටුනායක ඇඟලුම් කම්හලක් දින නියමයක් නොමැතිව වසා දමයි
21 May 2025 | ටී.කේ.ජී.කපිල - කටුනායක
නිෂ්පාදන පිරිවැය දරා ගැනීමට නොහැකි වීම සහ වසර කිහිපයක් පුරා ලාභ නොලැබීම මත කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ පවත්වාගෙන ගිය ඇඟලුම් නිෂ්පාදන කර්මාන්තශාලාවක් ඊයේ (20වැනිදා) සිට දින නියමයක් නොමැතිව වසා දමා තිබේ.
කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ පවත්වාගෙන ගිය නෙක්ස්ට් නමැති මෙම ඇඟලුම් කර්මාන්ත ශාලාව වසා දමන අවස්ථාව වන විට එහි සේවක සේවිකාවන් දෙදහසක් පමණ සේවය කරමින් සිට ඇත.
1978 වසරේ සිට ආරම්භ කර ඇති මෙම කර්මාන්තශාලාව එංගලන්තයේ ආයෝජන ව්‍යාපෘතියක් වේ. එහි නිෂ්පාදිත ඇඟලුම්, ලන්ඩන් නුවර වෙත අපනයනය කළ බව එහි සේවකයෝ පවසති. වර්තමානයේ ශ්‍රී ලංකාවේ පවතින නිෂ්පාදන පිරිවැය තවදුරටත් දරා ගැනීමට නොහැකි නිසා මෙම කර්මාන්තශාලාව වසා දැමීමට තීරණය කළ බව පාලනාධිකාරිය විසින් සේවකයන් වෙත නිකුත් කර ඇති ලේඛනයක සඳහන් කර ඇත.
එහි සඳහන් වෙන්නේ කටුනායක පිහිටි නෙක්ස්ට් ආයතනය වසා දැමුවද එහි අනෙකුත් නිෂ්පාදන ආයතන වන ආණ්ඩිගම හා නවගත්තේගම ආයතනවල නිෂ්පාදන මෙහෙයුම් සුපුරුදු පරිදි ක්‍රියාත්මක වන බවයි. මෙම ආයතනයේ කොළඹ ප්‍රසම්පාදන කාර්යාලයට සහ මෙහෙයුම්වලට බලපෑමක් නොවන බවද එහි පෙන්වා දී ඇත.
ආයතනය වසා දැමීමත් සමග රැකියාව අහිමි වීමට ලක්වන සේවකයන්ට නීතියෙන් හිමිවන වෙනත් අයිතිවාසිකම්වලට අමතරව, අවම වශයෙන් මාස දෙකක වැටුපක් ගෙවනු ලැබේ. ඊට අමතරව සේවය කර ඇති වසර ගණන අනුව වන්දි ගෙවන ආකාරය සම්බන්ධයෙන්ද එම ලිපියේ සඳහන් කර ඇත.
ඊට අමතරව රැකියාවෙන් ඉවත් වන සේවකයන්ට මාසය අවසන් වන තෙක් පැමිණීමේ අවශ්‍යතාවක් නොමැති අතර මේ මාසයේ වැටුප සාමාන්‍ය පරිදි නියමිත දිනයේදී ගෙවීමටද එම පාලනාධිකාරිය තීරණය කර ඇත. එමෙන්ම ඔවුන්ගේ සියලුම හිඟ නිවාඩු වැටුප්, සියලුම පාරිතෝෂික ගෙවීම සහ අදාළ පුද්ගලයන්ට සියලුම නිෂ්පාදන සහ පැමිණීමේ ප්‍රසාද දීමනා ආදිය ගෙවන බවද නෙක්ස්ට් ආයතනය විසින් සේවකයන්ට යොමු කළ ලිපියෙහි දක්වා තිබේ.
ඉදිරි දින කිහිපය තුළ, රැකියාවෙන් ඉවත් විය යුතු සේවකයන්ට ඔවුන්ගේ තත්ත්වය පිළිබදව දැනුම් දෙනු ඇති බවත්, ඔවුන්ට නිල වශයෙන් සේවයෙන් ඉවත් වීමේ ක්‍රියාවලිය හා ගෙවීම් කරන නියමිත කාල සීමාව පිළිබඳව විස්තර දෙනු ඇති බවත් එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.
මේ වන විට කර්මාන්තශාලාව ඉබි යතුරු දමා වසා දමා ඇති අතර ආරක්ෂක නිලධාරීන් පමණක් එහි රැඳී සිටින බවත්, කර්මාන්තශාලාව තුළ කිසිදු වගකිවයුතු නිලධාරිවරයකු නොමැති බවත් එම ආරක්ෂක නිලධාරීහු පැවැසූහ.