brand logo
logo
ළමුන්ගේ නඩුවලට නොමිලේ පෙනී ඉන්න නීතිඥවරු නෑ

ළමුන්ගේ නඩුවලට නොමිලේ පෙනී ඉන්න නීතිඥවරු නෑ

18 January 2026


ළමා අපයෝජන නඩු සඳහා ස්වේච්ඡාවෙන් ක්‍රියා කරනු ලබන නීතිඥ සංචිතයක් සැකසීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වසරක කාලයක සිට නීතිඥවරුන්ට දැනුම් දීමක් කළත් මේ වනතෙක් කිසිදු නීතිඥවරයකු ළමුන් වෙනුවෙන් නොමිලයේ සේවාවන් සැපයීම සඳහා ඉදිරිපත්වී නැත.


ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත වාර්තා වන ළමා අපයෝජන වින්දිත ළමයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නීතිඥ සේවාව ලබාදීම මෙම සංචිතය පිහිටුවීමේ අරමුණ වේ.


මේ තුළින් ළමා අපයෝජන වින්දිතයන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටීමත් කරුණු දැක්වීමත් අපේක්ෂා කරයි. එසේම බැඳියාවන් අතර ගැටුම් ඇතිවීම වළක්වා ගනිමින් කටයුතු කළ හැකි සුදුසුකම්ලත් නීතිඥවරුන් මෙම නීතිඥ සංචිතයට ඇතුළත් කරගන්නා බව ජාතික ළමාරක්ෂණ අධිකාරිය සඳහන් කරයි.


මෙම සංචිතයේ නීතිඥවරයකු ලෙස කටයුතු කිරීමට නීතිඥවරයකුට අවුරුදු 10කට වඩා වැඩි වෘත්තීය අත්දැකීම් තිබිය යුතු අතර මහෙස්ත්‍රාත් අධිකරණ හෝ මහාධිකරණ නඩු සඳහා පෙනී සිටීම පිළිබඳ පළපුරුද්දක් තිබිය යුතුය. එසේම ළමුන් සම්බන්ධව කටයුතු කිරීමට යාමේදී සියලු වෘත්තීය වියදම් හා ප්‍රවාහන වියදම් එම නීතිඥවරුන් විසින් දැරිය යුතු බවත් ළමා රක්ෂණ අධිකාරිය සමග රහස්‍ය ප්‍රකාශයකට එළැඹිය යුතු බවත් සභාපතිවරිය දැනුම්දීමක් කරයි.


කෙසේ වුවද වසරක කාලයක් මේ සඳහා ළමාරක්ෂණ අධිකාරිය දැනුම්දීමක් කළද මෙතෙක් කිසිදු නීතිඥවරයකු හෝ නීතිඥවරියක සිය සේවාව නොමිලයේ ලබාදීමට කටයුතු කර නොමැති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

 

More News..