Best News Website award
brand logo
logo
පච්චා කලාවට නියාමනයක් ඕනෑ - PHI සංගමය

පච්චා කලාවට නියාමනයක් ඕනෑ - PHI සංගමය

26 November 2026 | ජුඩ් සමන්ත - පුත්තලම

වර්තමානයේ තරුණ පරපුර අතර ජනප්‍රිය කලාවක් බවට පත්ව ඇති ‘පච්චා’ හෙවත් ‘ටැටෝ’ සඳහා පිළිගත් නියාමනයක් අවශ්‍ය වන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ වැඩ බලන සභාපති උපුල් රෝහණ පැවසීය.


වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීවේය.


‘‘ටැටෝ හෙවත් පච්චා කලාව වර්තමානය වන විට අපේ රටේ තරුණ පරපුර අතර වඩාත් ජනප්‍රිය වී තිබෙනවා. අපේ රටේ පමණක් නොව බටහිර රටවල්වලත් මේ ටැටෝ කලාව ඉතාමත්ම ජනප්‍රියයි. විදෙස් රටවල සහ අපේ රටේ ටැටෝ කලාව අතර පවතින්නේ විශාල වෙනසක්.


බටහිර රටවල්වල ටැටෝ කලාව සිදු කරන්නේ විධිමත් ආකාරයට නිසි පුහුණුවකින් සහ නියාමනයක් සහිතව. නමුත් අපේ රටේ එවැන්නක් තවමත් නොමැතිකම ගැටලුවක් වී තිබෙනවා. අපි දන්නවා ඇතමුන්ට ඇතැම් ඖෂධ මෙන්ම වර්ණක ද ආසාත්මික වෙනවා. අපේ රටේ පච්චා කෙටීමේදී මේ සම්බන්ධයෙන් කිසිදු ආකාරයක වගකීමක් නෑ. කිසිදු පරීක්ෂණයකින් තොරව ඕනෑම අයකුට පච්චා කොටාගන්න පුළුවන්. ඒ සඳහා භාවිත කරන උපකරණ මොනවදා? එම උපකරණ නිසි පරිදි ජීවාණුහරණය කර තිබෙනවාද යන්න පිළිබඳව කිසිවකුගේ අවධානය යොමු වන්නේ නෑ.


එමෙන්ම පච්චා සඳහා යොදාගන්නා වර්ණක තමන්ගේ සිරුරට ගැළපෙනවාද? එම වර්ණක කල් ඉකුත් වූ ඒවාද? යන්න සම්බන්ධයෙන්වත් සොයාබලන්නට කිසිවකුට අවශ්‍යතාවක් නෑ. අවසානයේ නවතින්නේ කිසිවකු නොහිතපු චර්ම රෝගයක් ශරීරය පුරා ඇති වුණාට පස්සේ.


රෝහල් සහ වෛද්‍ය මධ්‍යස්ථානවලදී භාවිත කරන උපකරණ නිසි පරිදි ජීවානුහරණය කරනවා. නමුත් අවාසනාවකට ඉඳහිට වාර්තා වෙනවා එවැනි උපකරණ නිසා ආසාත්මික තත්ත්වයන් ඇති වූ අවස්ථාවන්. එසේ නම් ජීවානුහරණය නොකර භාවිත කරණ උපකරණ නිසා කොපමණ ආසාත්මික තත්ත්වයන් ඇති විය හැකිද කියා අප සොයා බැලිය යුතු වෙනවා.


මෙහිදී අප කිසිදු විටක කියන්නේ නෑ ටැටෝ හෙවත් පච්චා කලාව නොකර ඉන්න කියලා. අපි කියන්නේ මේ කලාව ක්‍රමවත්ව කිසියම් නියාමනයක් ඇතිව පුහුණුවීමකින් අනතුරුව කරන්න කියන එක පමණයි. එවිට මා පෙර සඳහන් කර ඇති අනවශ්‍ය රෝගී තත්ත්වයන් ඇතිවෙන්නේ නෑ.’’

 

More News..