brand logo
logo
වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්!

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්!

06 November 2026


කාවන්තිස්ස හස්තිරාජයාගේ මරණය පිළිබඳ රටම සොවට පත්විය. දනෝ දුකින් මුසපත් වූහ. පරිසරවේදීහුද, පරිසරකාමීහුද, සත්ව ප්‍රේමීහුද විවිධ කතා කීහ. අදහස් උදහස් පළ කළහ. අලි ඇතුන් මිනිස් සතුන්ගේ අකටයුතුකම් හේතුවෙන් මියගිය කල මෙවැනි රටාවක් හැමවිටම දැකිය හැකිය. එහෙත් අලි විපත් පිළිබඳ අවධානය සහ සැලකිල්ල කෙටි කලකින් අවසන් වෙයි. දැන් සීගිරියේ ඇතින්නකට දස වධ දෙන වීඩියෝවක් අලුතෙන්ම ප්‍රචාරය වෙයි. මේවාට ජනතා විරෝධය මතුවන විට ඒ ඒ කාලවල රට පාලනය කරන ආණ්ඩු ද නොයෙක් යෝජනා ඉදිරිපත් කරයි. අලි ඇතුන් රැකුමට පියවර ගන්නා බව පවසයි. එසේ වුවද දශක හයකට ආසන්න කාලයක් තිස්සේ දිව යන අලි මිනිස් ගැටුමට විසඳුමක් සොයා ගැනීමට අප තවම සමත් වී නොමැත. කාවන්තිස්සගේ මරණයෙන් පසුවද වෙඩි වැදුණු අලි ඇතුන් කිහිපදෙනකු පිළිබඳ තොරතුරු එළියට ආවේය. මේ දිනවලද එසේ පීඩාවට පත් හස්තියකු පිළිබඳ තොරතුරු සමාජ මාධ්‍යවල හුවමාරු වෙයි. පරිසරවේදීන් සඳහන් කරන පරිදි වාර්ෂිකව අලි ඇත්තු 600කට ආසන්න පිරිසක් නොමිනිස්කම් හේතුවෙන් මිය යති. මෙකී අකල් අලි මරණවලට ප්‍රධාන හේතුව නීතිවිරෝධී ගිනි අවිය. බඳින තුවක්කු යොදාගනිමින් බෙහෙවින් අලි ඇත්තු ඝාතනය කරනු ලැබෙති. ඊළඟ අලිමාරකය විදුලි සර යොදා ගැනීමය. අනෙක් අලි මාරකය හක්කපටස්ය. අලි ඇතුන්ගේ මරණවලට බෙහෙවින් හේතුවන මෙවැනි ක්‍රියාමාර්ගවලට එරෙහිව වැටලීම් කළද ඒවා අවම කරගැනීමට හෝ තවම අප සමත් වී නොමැත. මේ හේතුවෙන් ලෝකය අලි මරණ වැඩි සහ අලි මිනිස් ගැටුම ඉහළ ගොස් තිබෙන රට හැටියට ශ්‍රී ලංකාව පත්ව තිබෙන බව පරිසරවේදීහු සඳහන් කරති.


මෙරට දිස්ත්‍රික්ක 19ක සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 1343ක අලි මිනිස් ගැටුම දැකිය හැකිය. රටෙහි භූමි ප්‍රමාණයෙන් සියයට 44ක පමණ අලි ඇත්තු සහ මිනිස්සු එකට ජීවත් වෙති. එක් පැත්තකින් ඉහත හඳහන් කළ පරිදි නොමිනිස්කම් හේතුවෙන් වන අලි ඇත්තු පීඩාවට පත්වෙති. මියෙති. අනෙක් අතට මෙරට විහාරස්ථාන සහ අලි හිමියන් යටතේ සිටින අලි ඇත්තු ද සමහර අවස්ථාවලදී දුක් විඳිති. පීඩාවට පත් වෙති. අලි ඇතුන් පෙරහර ආදිය සඳහා යොදා නොගත යුතු යැයි අප සඳහන් කරන්නේ නැත. එහෙත් සමහර සිදුවීම් කෙරෙහි අවධානය යොමු කරන විට අපට පෙනෙන්නේ කිසිදු නිසි වැඩපිළිවෙළක් නොමැතිව අලි ඇතුන් රඳවාගෙන තිබෙන ආකාරයයි. අලි ඇතුන්ට තිබෙන්නේ මිනිස් සිතුම් පැතුම් හෝ චර්යාවන් නොවේ. එනිසා වේල් තුනට කෑම බීම දීමෙන් හෝ බෙහෙත් හේත් දීමෙන් පමණක් අලි ඇතුන්ගේ ප්‍රශ්න විසඳාගත නොහැකිය. සාමාන්‍යයෙන් අලි ඇත්තු දිනකට ආහාර සපයා ගැනීම සඳහා කිලෝමීටර 25කට වැඩි දුරක් ඇවිදිති.


පන්සල්වල හෝ අලි හිමියන් සතුව සිටින අලි ඇතුන්ද ඒ ආකාරයට ඇවිද්දවිය යුතු යැයි අප සඳහන් කරන්නේ නැත. එහෙත් අලි ඇතුන් ඔහේ කොහේ හෝ බැඳ තැබීම අනුමත කළ නොහැකිය. එසේ බැඳ තැබීම හේතුවෙන් පීඩාවට පත් අලි ඇතුන් පිළිබඳ තොරතුරු ඕනෑ තරම් තිබේ. බැඳ තබනවා මදිවාට අලි ඇතුන් මෙල්ල කරගත නොහැකි තැන සමහරු උන්ට වද තිස් දෙකම දෙති. එසේ වධ බන්ධනවලට ලක් වූ හස්තියකු වරක් ඒ සතාගේ මව් රටවූ තායිලන්තයට රැගෙන ගිය ආකාරය අපට මතකය. එක් පැත්තකින් එවැනි සිදුවීම් ඉතාම ලජ්ජා සහගතය. තායිලන්තය අලි ඇතුන්ට සුරපුරයක් යැයි ද අප සඳහන් කරන්නේ නැත. එසේ වුවද හීලෑ අලි ඇතුන්ට අපට වඩා හොඳට සලකන බව නම් කිව යුතුය. සමහර ආණ්ඩු රට කර වූ කාලවලදී සමහර භික්ෂූන්ට වරදාන වශයෙන් අලි පැටව් ප්‍රදානය කළ අයුරු ද අපට මතකය. එසේ ප්‍රදානය කළ අලි පැටවකු නිසා රටේ ප්‍රකට භික්ෂුවකට නඩු ද වැටිණි. අලි පැටියා ලැබුණු අයුරු විමසූ කල ඒ හිමිනම ප්‍රකාශ කළේ කවුරු හෝ අලි පැටියා විහාරස්ථානයට ගෙනැවිත් දමා තිබෙන බවය. මේවා අමුතු කතාය. අප දන්නා පරිදි පන්සල්වලට බලු කුක්කන් සහ පූස් පැටව් ගෙනැවිත් දැමීමේ සම්ප්‍රදායක් සිංහල බෞද්ධයන් තුළ තිබුණද අලි පැටව් නම් ගෙනැවිත් දැමීමේ සිරිතක් නම් නොමැත.


මෙවැනි කරුණුවලින් අපට පැහැදිලි වනුයේ අලි ඇතුන් පිළිබඳ කෙතරම් වගකීම් විරහිතව අප රටක් හැටියට කටයුතු කරනවාද යන්නය. බොහෝ අය කල්පනා කරනවා ඇත්තේ අලි ඇතුන් සෙල්ලම් බඩු යැයි කියාය. එය එසේ නොවේය. එදා සිට මෙදා දක්වා අපේ රටට වටිනාකමක් එකතු කළ සත්තු අලි ඇත්තු වෙති. රටේ නම ද ලෝකයේ කතාබහවීමට අලි ඇත්තු හේතු වූහ. එනිසා අලි ඇතුන් රැකගැනීම කෙරෙහි අප ජාතික වැඩපිළිවෙළක් අනුව කටයුතු කළ යුතුය. පළමුව අලි ඇතුන්ට ජීවත්වීමට තිබෙන අයිතිය පිළිගත යුතුය. අලි මිනිස් ගැටලුව විසඳීම සඳහා වාර්තා කිහිපයක් ඉදිරිපත් කර තිබේ. ඒ අතර 2020 වසරේදී ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා ක්‍රියාකාරී සැලැස්ම යනුවෙන් පෘතුවිරාජ් ප්‍රනාන්දු ඉදිරිපත් කළ වාර්තාව අප දන්නා පරිදි තවම හමස්පෙට්ටියේය.

 

More News..