වාහන ආදායම් බලපත්‍ර ක්‍රමවේදයේ බස්නාහිර ඒකාධිකාරයක්
26 June 2024 | එෆ්. අස්ලම්
වාහන ආදායම් බලපත්‍ර ක්‍රමවේදයේ බස්නාහිර ඒකාධිකාරයක්
26 June 2024 | එෆ්. අස්ලම්
ඕනෑම පළාතකින් වාහන සඳහා ආදායම් බලපත්‍ර ලබාගැනීමේ නව ක්‍රමවේදය පළාත් අටකම ක්‍රියාත්මක කර ඇතත් බස්නාහිර පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ ඒකාධීකාරී තීරණය මත එම අවස්ථාව බස්නාහිර පළාතේ වාහන හිමියන්ට අහිමි කර තිබේ.
මෙරට තුළ ලියාපදිංචි වී ඇති අසූහය ලක්ෂයකට අධික වාහන අතරින් වාහන ලක්ෂ හතළිහකට ආසන්න සංඛ්‍යාවක් ලියාපදිංචි කර ඇත්තේද බස්නාහිර පළාතෙනි.
ක්‍රියාත්මක නව ක්‍රමවේදයට අනුව බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහන හිමියකු හැර සෙසු ඕනෑම පළාතක ලියාපදිංචි වාහන හිමියකුට බස්නාහිර හැර ඕනෑම පළාත් සභාවකින් හෝ එම පළාත්වල ඇති ආදායම් බලපත්‍ර නිකුත් කරන රාජ්‍ය ආයතනයකින් ආදායම් බලපත්‍ර ලබාගත හැකි බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙම නව ක්‍රමවේදය අනුගමනය නොකිරීම නිසා එම පළාතේ ලියාපදිංචි කර ඇති වාහන හිමියෝ දැඩි අසීරුතාවකට ලක්ව සිටිති.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ තොරතුරු හා ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ දත්ත ආශ්‍රයෙන් සකස් කරන ලද නව ක්‍රමවේදය මගින් සියලුම පළාත්වල වාහනවල තොරතුරු එක් පද්ධතියකට යාවත්කාලීන කිරීමට හැකියාව සලසා දී ඇත.
පළාත් අටක්ම එම නව ක්‍රමවේදය ඔස්සේ ආදායම් බලපත්‍ර නිකුත් කළත් බස්නාහිර පළාත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් චන්දිමා දිසානායක විසින් එම ක්‍රමවේදයට මුලසිටම විරෝධය දක්වා ඇත. ඒ සිය පළාතට හිමිවන ආදායම් පිට පළාත්වලට යන බවට නිදහසට කරුණු කියමිනි.
මෙම නිලධාරිනියගේ ඒකාධිකාරී ක්‍රියාකලාපය මත මෙවැනි තත්ත්වයක් උද්ගත වී තිබෙන බවත් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම මගින් පිට පළාතකට හිමිවිය යුතු ආදායමක් තවත් පළාතකට හිමි නොවන බවත් සෑම සතියේම බදාදා දිනක පිටස්තර පළාත්වල වාහනවලින් ලැබුණු ආදායම් ඒ ඒ පළාත් වෙත යවන බවත් පළාත් කිහිපයකම මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරුන් සඳහන් කළහ.
කෙසේ වෙතත් බස්නාහිර පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නියමිත නීති රාමුවලට ඔබ්බට ගොස් වෙනම පාලන ව්‍යුහයකින් කටයුතු කරන බවත් වසර දෙක තුනක කාලයක් වාහන ආදායම් බලපත්‍ර ලබානොගත් වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම මාලිගාවත්තේ පිහිටි බස්නාහිර පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලය ඔස්සේම සිදුකරන බවත් වාර්තා වේ.
මේ ක්‍රියාකලාපය හේතුවෙන් මෝටර් වාහන සඳහා ආදායම් බලපත්‍ර ලබාගැනීමට බස්නාහිර පළාතේ වාහන හිමියන්ට දැඩි වෙහෙසක් හා පීඩාවක් දැරීමට සිදුව ඇති බවත් ඒ සම්බන්ධයෙන් බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගේද අවධානයට යොමුව ඇති බවත් එම දෙපාර්තමේන්තුවේ ආරංචිමාර්ග සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් අප බස්නාහිර පළාත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් චන්දිමා දිසානායක සම්බන්ධ කරගැනීමට උත්සාහ කළත් ඇය දුරකතනයට ප්‍රතිචාර නොදැක්වීය. එසේම මේ පිළිබඳ වැඩිදුර විමසීම සඳහා බස්නාහිර පළාත් ආණ්ඩුකාරවර රොෂාන් ගුණතිලක ද සම්බන්ධ කරගැනීමට උත්සාහ කළත් එම උත්සාහයද ව්‍යාර්ථ විය.