ක්‍රීඩා සහ අධ්‍යාපන අමාත්‍යාංශ දෙපසක සිටියදී පාපන්දු ක්‍රීඩිකාවෝ දෙලොවක් අතර අතරමං
04 November 2026 | ඉන්ද්‍රජිත් සුබසිංහ
ක්‍රීඩා සහ අධ්‍යාපන අමාත්‍යාංශ දෙපසක සිටියදී පාපන්දු ක්‍රීඩිකාවෝ දෙලොවක් අතර අතරමං
04 November 2026 | ඉන්ද්‍රජිත් සුබසිංහ
ක්‍රීඩා අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය අතර සන්නිවේදනයෙන් තොරව තරගාවලි යොදාගැනීම හේතුවෙන් මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙලට තරග වදින්නේද නැතහොත් සමස්ත ලංකා තරගාවලියට තරගවදින්නේද යන උභතෝකොටිකයට මෙරට පාපන්දු ක්‍රීඩිකාවෝ මුහුණ පා සිටිති.
මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙලේ පාපන්දු තරග මෙම මස 5,6 සහ 7 වැනි දින කොළඹදී පැවැත්වීමට යෙදී ඇති අතර අධ්‍යාපන අමාත්‍යාංශය අනුබද්ධිත පාසල් පාපන්දු සංගමය විසින් මෙහෙයවනු ලබන සමස්ත ලංකා තරගාවලියේ වයස අවුරුදු 16න් පහළ තරගද මෙම දිනවලදීම පැවැත්වීමට යෙදී තිබේ.
මෙම තරගාවලි දෙකම කාන්තා සහ පිරිමි යන දෙඅංශයෙන්ම පැවැත්වෙන නමුත් මෙහි සෘජු බලපෑම සිදුව ඇත්තේ කාන්තා තරග අංශය කෙරෙහි වේ. (ශ්‍රී ලංකාවේ කාන්තා පාපන්දු ක්ෂේත්රයේ ක්‍රීඩා සමාජ මට්ටමින් විහිදී නොතිබීම හේතුවෙන් මෙරට කාන්තා පාපන්දු නියෝජනය සිදුවන්නේද පාසල් වයසේ ක්‍රීඩිකාවන්ගෙන් වන බැවින්) උක්ත තරගාවලි දෙක සඳහාම ක්‍රීඩා කිරීමට සිදුවන ක්‍රීඩිකාවෝ සැලකිය යුතු පිරිසක් සිටීම එයට හේතුවයි.
එසේ තිබියදී එම තරගාවලි දෙකම එකම දිනවලදී යොදාගැනීම, මෙම ක්‍රීඩිකාවන්ගේ පාසල් මෙන්ම එම ක්‍රීඩිකාවන් විසින් නියෝජනය කරනු ලබන ජාතික මහා ක්‍රීඩා උළෙලේ අදාළ පළාත් කණ්ඩායම් ද දැඩි අපහසුතාවට පත්කරවන්නක් බවට පත්ව තිබේ. මෙම තරගාවලි දෙකම තම ක්‍රීඩා දිවියේදී එක සේ වැදගත්වන තරග අවස්ථාවන් දෙකක් බැවින් උද්ගත තත්ත්වය හමුවේ තමන් තෝරාගනු ලබන්නේද යන පැනය අදාළ ක්‍රීඩිකාවන් හමුවේ ඇත.
මෙයට පෙර තරගාවලි සඳහා දින නියමකරගැනීමේදී ක්‍රීඩා අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය මෙන්ම අදාළ ජාතික සංගම් සහ පාසල් සංගම් ආදියද අන්‍යෝන්‍ය සන්නිවේදනයක් මගින් තරගාවලි එකිනෙක ගට්ඨනය නොවන පරිදි යොදාගැනීමේ සම්ප්රදායක් පැවැතියද මෙහිදී එවැන්නක් සිදුව නොතිබීම විමතියට කරුණකි.
මේ අතර, මේ වසරේ පැවැත්වෙනුයේ 50 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල වුවද එය ස්වරණ ජයන්තියක රැඳිය යුතු අභිමානය සහිත උළෙලක් වේද යන පැනයද සමාන්තරව මතුව තිබේ.
මෙම 50වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ අවසන් අදියරේ සමාරම්භක උළෙල සහ සමාප්ති උළෙල ආදිය ඒ පිළිබඳ පූර්ව අත්දැකීම් නොමැති නිලධාරී පාර්ශ්වයක් වෙත පවරා ඇති බව ද සැලවේ. මෙය ජාත්‍යන්තර මට්ටමේ සංදර්ශනාත්මක බවක් ප්‍රදර්ශනය වන සේ සිදුවිය යුතු යැයි පවසමින් අදාළ පාර්ශ්වය වෙත මෙම වගකීම පවරා ඇති නමුත්, වෙනදාටත් වඩා අඩු හෙවත් ඉතාම අවම රංග ශිල්පීන් පිරිසක් යොදාගනිමින් එය පැවැත්වීමට කටයුතු යෙදෙමින් සිටින බවද පැවැසේ.

