brand logo
logo
  නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන පළාත් හා කලාප අධ්‍යාපන නිලධාරීන් දැනුවත් කරයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන පළාත් හා කලාප අධ්‍යාපන නිලධාරීන් දැනුවත් කරයි

28 September 2026


නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව පළාත් සහ කලාප අධ්‍යාපන නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ඉසුරුපාය අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන පරිශ්‍රයේදී පැවැත්විණි.


පසුගියදා පැවැති මෙම වැඩසටහනෙහි අරමුණ වී ඇත්තේ යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ ජාතික විෂයමාලා රාමුව පිළිබඳව පළාත් සහ කලාප මට්ටමේ අධ්‍යාපන නිලධාරීන් දැනුවත් කිරීමය.


නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට අදාළව ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ මෙහෙයවීම යටතේ ජාතික අධ්‍යාපන ආයතනය විසින් සකස් කළ ජාතික විෂයමාලා රාමුව පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු නිලධාරීන් වෙත ලබා දීම මෙහිදී සිදුව තිබේ.


අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව එම ලේඛනය ඉදිරියේදී අධ්‍යාපන නිලධාරීන්ගේ පරිහරණය සඳහා ලබා දීමටද නියමිත බවද මෙහිදී අනාවරණය කෙරිණි.


ජාතික විෂයමාලා රාමුවට අනුව පෙරවරු 7.30 දිට පස්වරු 1.30 දක්වා වූ පාසල් කාලය තුළ එක් කාල පරිච්ඡේදයක් මිනිත්තු 40කට සීමා කිරීම, සෞන්දර්ය හා ඉතිහාසය ඇතුළුව සාමාන්‍ය පෙළ සඳහා ඉදිරිපත් කෙරෙන විෂය සංඛ්‍යාව සහ ඇගයීම් ක්‍රමවේදයේ සිදුවන වෙනස්කම් වැනි කරුණු පිළිබඳව මෙහිදී පැහැදිලි කරන ලදි.


මීට අමතරව 10-11 ශ්‍රේණි සඳහා යෝජිත වෘත්තීය විෂයන් මෙන්ම 12-13 ශ්‍රේණි සඳහා සමාජ සංහිඳියාව, නීතිය ආචාර ධර්ම, වෘත්තීය මාර්ගෝපදේශනය සහ විදේශීය භාෂා වැනි විෂය මාලාවට අලුතින් ඇතුළත් කර ඇති නව යෝජිත විෂය ක්ෂේත්‍ර පිළිබඳවද නිලධාරීන් දැනුවත් කිරීමට පියවර ගැනුණි.


එමෙන්ම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව සිදුකරන පාසල් යටිතල පහසුකම් හා ඩිජිටල් උපකරණ සංවර්ධන ව්‍යාපෘතීන් සහ පළාත් මට්ටමින් සිදුකරමින් පවතින ගුරු පුහුණු වැඩසටහන් ඇතුළු මොඩියුල සම්පාදන සහ බෙදාහැරීමේ කාර්යන් පිළිබඳව සහ 2027 වසර සඳහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ කටයුතුවල වත්මන් ප්‍රගතිය පිළිබඳවද මෙහිදී පැමිණ සිටි පිරිස හට අවබෝධය ලබා දීම සිදුවුණි.

 

More News..