සංවිධානාත්මක අපරාධ වැළැක්වීම වැනි පනතක් අපේ රටට අවශ්ය නැහැ
29 October 2026 | සංවාදය - නිරෝෂා වාසල
සංවිධානාත්මක අපරාධ වැළැක්වීම වැනි පනතක් අපේ රටට අවශ්ය නැහැ
29 October 2026 | සංවාදය - නිරෝෂා වාසල
පසුගිය දිනයක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මේ දිනවල සමාජය තුළ දැඩි සංවාදයක් ඇති වී තිබේ. පාතාල කල්ලි, මත්ද්රව්ය ජාල ඇතුළු සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් මැඬපැවැත්වීම මෙවැනි පනතක් ගෙන ඒමේ අරමුණ බව ආණ්ඩුව කියයි. 2006 වසරේදී ශ්රී ලංකාව අත්සන් තැබූ සංවිධානාත්මක අපරාධවලට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතියට අනුකූලව දේශීය නීති ශක්තිමත් කිරීමක් ලෙසද ඇතැම් පාර්ශ්ව මෙම පනත හඳුන්වා දෙති. කෙසේ වෙතත් මේ පනත සම්මත වුවහොත් සාමාන්ය පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම්, අදහස් ප්රකාශ කිරීමේ නිදහස සහ විරෝධතා දැක්වීමේ අයිතිය සීමා වියහැකි බවටද අදහසක් මේ වන විට සමාජගත වී ඇත්තේය. එපමණක් නොව පච්ච (ටැටූ), ඇඳුම් පැලඳුම්, කොණ්ඩා මෝස්තර ආදී විලාසිතා මත පදනම්ව යම් පුද්ගලයෙක් සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයකු බවට නිගමනය කිරීමට පොලිසියට ඉඩ සැලසෙන බවද කියැවෙයි. මෙම කරුණු සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා සමග "අරුණ" කළ සාකච්ඡාවකි මේ.
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ බරපතළ සංවාදයක් ඇතිවෙලා තියෙනවා. අපි එතැනින්ම කතාව පටන් ගනිමු?
ලෝකයේ වෙනත් රටවල තිබෙන නීතියක් කිසිම හොයා බැලීමක් නොකර හිටි හැටියේම ලංකාවට ආදේශ කිරීමේ භයානක පුරුද්දක් අපේ රටේ තියෙනවා. විදේශ රටවල තිබෙන නීති අපේ රටට ගැළපෙනවාද සහ ඒවා ඒ ආකාරයෙන්ම අපේ රටේ ප්රායෝගිකව ක්රියාත්මක කරන්න පුළුවන්ද කියලා සෙවීමක් නොකර ඇතැම් පිරිස් මීට පෙරත් විදේශ රටවල පවතින නීති අපේ රට තුළ ස්ථාපිත කරන්න උත්සාහ කරලා තියෙනවා. ගෘහස්ථ ප්රචණ්ඩත්වය වැළැක්වීමට ආ පනත සහ 1995 දී දණ්ඩ නීති සංග්රහයට කළ ඇතැම් සංශෝධන එයට හොඳම උදාහරණයි. ඒ විදිහට හිතුමනාපයට නීති ගෙන ඒම නිසා ඇති වූ අහිතකර ප්රතිඵල අපි හොඳටම දන්නවා. තවමත් ඒ ප්රතිඵල අපි අත්විඳිමින් ඉන්නවා. එවැනි පූර්ව අත්දැකීම් තිබියදීත් යම් යම් කණ්ඩායම් නැවැත නැවැත අපේ රටට නොගැළපෙන, ප්රායෝගිකව ක්රියාත්මක කළ නොහැකි සහ කිසිම අදාළත්වයක් නැති නීති කිසිදු සාකච්ඡාවකින් තොරව රට තුළ ස්ථාපිත කරන්න උත්සාහ කිරීම ලොකු ගැටලුවක්. සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතේ සඳහන් බොහෝ කාරණා ලංකාවට ගැළපෙන්නෙ නැහැ කියන එකයි මගේ අදහස.
ත්රස්තවාදය වැළැක්වීමේ පනතක් තිබියදී ආණ්ඩුව ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කරගැනීමේ සහ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් ගෙන එන්න උත්සාහ කරන්නේ ඇයි ?
එවකට පැවැති විවිධාකාරයේ ත්රස්තවාදී ක්රියාවන්ගෙන් රට ආරක්ෂා කරගැනීම සඳහා 1979 වර්ෂයේ සිට ක්රියාත්මක වන ත්රස්තවාදය වැළැක්වීමේ පනතක් අපේ රටේ තියෙනවා. වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමට පෙර සිටම මේ ත්රස්තවාදය වැළැක්වීමේ පනතට දැඩි සේ විරුද්ධ වුණා. රාජ්ය ආරක්ෂාව සඳහා ත්රස්තවාදය වැළැක්වීමේ පනතක් අවශ්ය නැහැ යන්නයි ඔවුන්ගේ අදහස වුණේ. ඒ නිසා තමන් ආණ්ඩු බලය ගත් පසුව මේ පනත අහෝසි කරනවා කියලා ජාතික ජන බලවේගය කිව්වා. කොහොම වුණත් ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කිරීමේ පනත නමින් අලුත් පනතක් ගේන්න වර්තමාන ආණ්ඩුව දැන් උත්සාහ කරනවා. ජාත්යන්තර ප්රමිතීන්ට සහ ජාතික ආරක්ෂාවට ගැළපෙන පරිදි නව නීතිමය රාමුවක් සකස් කිරීමේ අවශ්යතාවක් තියෙනවා කියලයි ආණ්ඩුව කියන්නේ. ත්රස්තවාදී ක්රියාකාරකම්වලින් රාජ්ය ආරක්ෂා කරගැනීම සඳහා පනතක් ගෙන ඒමේ ප්රශ්නයක් නැහැ. නමුත් ඒ පනත ගෙන එන්නේ සද්භාවයෙන්මද කියලා හිතන්න වෙනවා. මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම් කඩවන ආකාරයේ පනත් ගෙන එනවාට අපි එදා සිටම විරුද්ධයි. ඒ සම්බන්ධයෙන් වග කිවයුත්තන්ට අපි ඕනෑ තරම් කරුණු පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒ නිසාම ඊට සංශෝධනත් ගෙනැවිත් තිබෙනවා. යම්කිසි පුද්ගලයෙක්ගේ නිදහස නැති කරලා, රැඳවුම් නියෝග මත ඔහුව දීර්ඝ කාලයක් රඳවා තබාගැනීම ආදී දේවල් තුළින් ඒ පුද්ගලයාට වගේම රටටත් විශාල අගතියක් වෙනවා. මෙවැනි සංවාදයක් තිබෙන අවස්ථාවක සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත නමින් තවත් අලුත් පනතක් ගෙන එන්න ආණ්ඩුව උත්සාහ කරනවා. ඇත්තටම අපේ රටට එවැනි පනතක් අවශ්යද සහ ඒ පනතේ සඳහන් කාරණා අපේ රටට ගැළපෙනවද කියලා සියලු දෙනාම නැවත කල්පනා කළ යුතුයි.
සංවිධානාත්මක අපරාධ වැළැක්වීම වැනි පනත් ලංකාවට ගැළපෙන්නේ නැහැ කියලා කියන්න හේතුව මොකක්ද?
සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයෙක් හඳුනාගැනීම සඳහා ඉදිරිපත් කර තිබෙන නිර්ණායක ලංකාවට කිසිසේත්ම ගැළපෙන්නේ නෑ කියලා සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත කියවන ඕනෑම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන්. ඒක කියන්නේ මම විතරක් නොවෙයි. ඒ බව අධිකරණ අමාත්යවරයා පාර්ලිමේන්තුවේදීත් පිළිගත්තා. විදේශ රටවල වෙනම කණ්ඩායම් හැටියට සංවිධාන හැදිලා තියෙනවා. තමන්ගේ සාමාජිකයන් හඳුනාගැනීම සහ අනන්යතාව තහවුරු කරගැනීම ආදිය සඳහා ඒ සංවිධානවල සාමාජිකයන් කොණ්ඩය එකම විලාසිතාවකට සකස් කරගැනීම, ශරීරයේ පච්චයක් ගහගැනීම වැනි දේවල් කරනවා. ලංකාවේ එවැනි තත්ත්වයක් නෑ. අපේ රටේ තත්ත්වය ගැන කතා කළොත් සංවිධානාත්මක කල්ලි සාමාජිකයන් ලෙස හඳුන්වන පුද්ගලයන් විදේශ රටවල සිටිමින් ලංකාවේ යම් යම් පුද්ගලයන්ව මෙහෙයවීම වැනි දේ වෙනවා කියලයි අපිට අහන්න දකින්න ලැබෙන්නේ. ඒ නිසා කොණ්ඩය දිගට වවාගෙන, පච්ච ගහගෙන ඉන්න පුද්ගලයන් අපරාධකරුවන් කියලා කියන්න පුළුවන්කමක් නෑ. අද වෙද්දී සාමාන්ය ජනතාව පවා මේ විලාසිතා කරනවා. පනත් කෙටුම්පතේ සඳහන් වෙන ආකාරයට කොණ්ඩය, රැවුල වවාගෙන, පච්ච ගහගෙන ඉන්න පුද්ගලයෙක් සංවිධානාත්මක අපරාධකරුවෙක් කියලා පොලිසියට හිතුණා කියමුකෝ. කිසිම හොයා බැලීමකින් තොරව ඒ පුද්ගලයාව අත්අඩංගුවට ගන්න පොලිසියට බලය තියෙනවා. ඒක ඉතාම භයානක තත්ත්වයක්. අනෙක සංවිධානාත්මක අපරාධ වැළැක්වීම වැනි පනතක් අපේ රටට අවශ්ය නැහැ කියලා මට හිතෙනවා. එවැනි සංවිධානාත්මක අපරාධ කරන්නන් හඳුනාගැනීමට ඇති හැකියාව පොලිස් නිලධාරීන්ට දිය යුතුයි යන්නයි මගේ යෝජනාව.
දවසෙන් දවස අපේ රටේ අපරාධ වැඩිවෙනවා මිස අඩුවීමක් වෙන්නේ නැහැනේ. අලුත් පනතක් සම්මත කරගෙන හෝ ඒ අපරාධ වළක්වාගැනීම සඳහා නීතිමය ක්රියාමාර්ග ගතයුතු නැද්ද?
අපරාධ වළක්වන්න නීති අවශ්ය නැහැ කියලා මම කියන්නේ නැහැ. අපරාධ වළක්වාගැනීම සඳහා අනිවාර්යයෙන්ම නීති තිබිය යුතුයි වගේම, ඒ නීති නිසි ආකාරයෙන්ම ක්රියාත්මක විය යුතුයි. එවැනි නීති දැනටමත් තිබෙනවා. මේ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත තුළ "බරපතළ අපරාධය" යන්න පැහැදිලිව අර්ථ දැක්වීමක් කරලා නැහැ. ඒක ලොකු ගැටලුවක්. අපේ රටේ තියෙන බරපතළම අපරාධය මිනීමැරීමයි. ඒ සඳහා මරණීය දණ්ඩනය දෙනවා. මුදලට වුණත්, සංවිධානාත්මකව වුණත් කෙනකුගේ ජීවිතය නැති කරන පුද්ගලයන්ට දැඩි දඬුවම් දිය යුතුයි. ඒ සැකකරු අත්අඩංගුවට අරගෙන, පරීක්ෂණ කරලා, ඔහුට විරුද්ධව නඩු පවරන්න පුළුවන්. ඒ සඳහා අලුත් පනතක් අවශ්ය නැහැ කියන එකයි මගේ අදහස. සාක්ෂි නැති නිසා දඬුවමක් හැටියට දීර්ඝ කාලයක් රඳවා ගැනීම සඳහානම් මෙවැනි පනතක් අවශ්ය වේවි. අනෙක සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතේ සඳහන් ආකාරයට "බරපතළ අපරාධය" කියන්නේ මිනීමැරීම වැනි දේ පමණක්ම නොවෙයි. පුරාවස්තු ආඥා පනත, සූදු ආඥා පනත කඩ කිරීම, රජයේ නිලධාරියකුට බාධා කිරීම, දණ්ඩ නීති සංග්රහයේ වගන්ති රාශියක් සහ දැනට ක්රියාත්මක වන සියලුම පනත්වල සඳහන් කාරණා පවා පනතේ උපලේඛනයට ඇතුළත් කරලා තියෙනවා. වසර හතරක් හෝ ඊට වැඩි සිරදඬුවමක් ලැබිය හැකි ඕනෑම වරදකුත් ඊට අයිතියි. ඒ නිසා සුළු වරදක් කළ කෙනෙක්වත් සංවිධානාත්මක අපරාධයක කොටසක් විදියට අත්අඩංගුවට අරගෙන, මාස ගණනක් රඳවා තබාගන්න පොලිසියට හැකියාව තියෙනවා. එමගින් සාමාන්ය ජනතාවගේ නිදහස අහිමි වෙනවා.
එපමණකුත් නොවෙයි, තුන් දෙනකුට වැඩි පිරිසක් එකතු වෙලා බරපතළ අපරාධයක් කළොත් ඒක සංවිධානාත්මක අපරාධයක් වන බව මේ පනත් කෙටුම්පතේ සඳහන් වෙනවා. නීතිවිරෝධී රැස්වීම යටතේ, පස් දෙනකු හෝ ඊට වැඩි පිරිසක් එකතු වෙලා අපරාධයක් කළොත් ඒ හැමෝටම දඬුවම් ලැබිය යුතු බවට එහි සඳහන්ව තියෙනවා. කණ්ඩායමක් කරන අපරාධවලට නීතියක් තිබියදී අලුත් පනතක් අවශ්ය ඇයි කියලයි අපි ආණ්ඩුවෙන් අහන්නේ.
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත භයානකයි කියන්නේ ඇයි?
අත්අඩංගුවට ගත් කෙනෙක්ව පැය 24ක් ඇතුළත මහෙස්ත්රාත්වරයා ඉදිරියේ ඉදිරිපත් කළ යුතුයි යන්නයි සාමාන්ය නීතිය. මෙම කෙටුම්පතට අනුව පැය 72ක් තියාගෙන ඉඳලා ඉදිරිපත් කරන්න පුළුවන්. ඉන්පසුව තවත් පැය 24ක් ඉල්ලන්නත් පුළුවන් කියලත් සඳහන් වෙනවා. ඒ පැය ගාණ යද්දි වෙන්න තියෙන සියල්ලම වෙලා ඉවරයි. ඒ වගේම නීතිඥවරයෙක් හමුවීමට තිබෙන අවස්ථාවත් සීමා කරන්න ඉඩ තියෙනවා. නීතිඥවරයෙක් හමුවීමට අවස්ථාව තියෙනවා කියලා කඩදාසියේ ලියලා තිබුණට වැඩක් නැහැ. මොකද පොලිසිය ක්රියා කරන්නේ කොහොමද කියලා අපි හොඳටම දන්නවා.
රැඳවුම් නියෝගය අත්සන් කරන්නේ ආරක්ෂක අමාත්යාංශයේ ලේකම්වරයායි. එය මහෙස්ත්රාත්වරයා ළඟට ගෙනිහින් පෙන්නනවා විතරයි. ඔහුට ඒ ගැන කිසිම බලයක් නැහැ, මාස දෙකක් සැකකරු රඳවා තබාගන්න වෙනවා. පසුව මාස දෙකෙන් දෙකට දික් කරලා අවුරුද්දක් දක්වා රඳවාගන්න පුළුවන්. නීතිපතිවරයා මහාධිකරණයට ඉල්ලීමක් කළාට පසුවයි සැකකරුට තමන්ගේ නීතිඥවරයා හරහා කරුණු දක්වන්න අවස්ථාව ලැබෙන්නේ. ඒ වනතුරු මහෙස්ත්රාත්වරයාටවත් නීතිඥවරයාටවත් කරන්න දෙයක් නැහැ. පනත් කෙටුම්පතට අනුව පාපොච්චාරණය ගැනත් බරපතළ ප්රශ්නයක් තියෙනවා. ත්රස්තවාදය වැළැක්වීමේ පනතේ තියෙන භයානකම කාරණය තමයි සහකාර පොලිස් අධිකාරි හෝ ඊට ඉහළ නිලධාරියකුට කරන පාපොච්චාරණය සාක්ෂියක් විදියට භාවිත කරන්න පුළුවන්වීම. සාක්ෂි ආඥා පනතේ 24 වගන්තිය අනුව, බලපෑමක්, තර්ජනයක් හෝ පොරොන්දුවක් මත එය කළ බව චූදිතයා ඔප්පු කළ යුතුයි. මේ පනත එයිනුත් ඔබ්බට යනවා. ලියා අත්සන්කර ඉදිරිපත් කරන ඕනෑම දෙයක් ඔහුට විරුද්ධව පාවිච්චි කරන්න පුළුවන්. ඒ ප්රකාශය ශ්රව්ය දෘශ්ය ආකාරයෙන් පටිගත කළ යුතු බව කියැවෙනවා. ඒත් තාක්ෂණික බිඳවැටීමක් වුණොත් හේතුව ලියා තැබීම පමණක් ප්රමාණවත් බවත් සටහන් වෙනවා. පොලිසිය හැම දෙයක්ම පොතේ ලියනවානේ. ඒත් ඒවායෙන් ලොකු ප්රයෝජනයක් වෙන්නේ නැහැ. මීටත් වඩා භයානක දෙයකුත් තියෙනවා. සාමාන්ය නීතියේදී කෙනෙක් කටඋත්තරයක් දීමෙන් පසු මිය ගියොත් හෝ සොයාගන්න බැරි වුණොත්, ඔහු මහෙස්ත්රාත් අධිකරණයේදී සාක්ෂියක් දී තිබේ නම් එය භාවිත කරන්න පුළුවන් වෙන්නේ හරස් ප්රශ්නවලට ලක්වෙලා තියෙනවා නම් පමණයි. ඒත් මේ පනත් කෙටුම්පතේ සඳහන් වන ආකාරයට ඒ ප්රකාශය ඒ විදියටම පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම සැකකරු සන්තකයේ තිබුණායැයි කියන ඕනෑම ලේඛනයක් හරස් ප්රශ්න අහන්න අවස්ථාවක් නැතිවම ඔහුට විරුද්ධව යොදාගන්නත් පුළුවන්.
අනෙක, මේ පනත සම්මත වුණොත් මාධ්ය නිදහසටත් ලොකු පහරක් වදිනවා. ව්යාජ මාධ්යවේදීන්ට එරෙහිව පියවර ගැනීමේ ප්රශ්නයක් නැහැ. ඒකට අපිත් එකඟයි. ඒත් සද්භාවයෙන් වාර්තා කරන මාධ්යවේදියෙක්වත් රැඳවුම් නියෝගයක් යටතේ තබාගෙන, රිමාන්ඩ් කරලා, නඩු පවරලා සිරගත කරන්න සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත අනුව ඉඩ තියෙනවා. ත්රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්න කියලා මුළු ලංකාවම හඬ නැගුවා. ඒත් ආණ්ඩුව සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතක් ගෙන ඒම සහ පොලිසියට අනවශ්ය බලතල දීම බරපතළ ගැටලුවක්.
මොකක්ද ඒ කතාව?
සමහර පොලිස් නිලධාරීන් ක්රියාකරන විදිහ අපි දන්නවා. මෑතකදී පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් හෙරොයින් කිලෝග්රෑම් 35ක් තියෙනවා කියලා පෙන්වලා මවක් සහ පුතෙක් අත්අඩංගුවට අරගෙන තිබුණා. ඒත් අධිකරණයේදී එය බොරු වැටලීමක් බව හෙළිදරව් වුණා. වැටලීමට නායකත්වය දුන් බව කියූ නිලධාරියා ඒ දවසේ ඒ ස්ථානයට ගිහින්වත් නැහැ. ඔහු පොලිස් ස්ථානයේ සිටිමින් වෙනත් නිලධාරීන් හරහා තමයි වැටලීම කරවලා තියෙන්නේ. අවසානයට දුරකථන ජාල වාර්තා නිසයි අධිකරණයෙන් ඒ අම්මට සහ පුතාට සහනය ලැබුණේ. මේ එක උදාහරණයක් විතරයි. මෙහෙම ක්රියාකරන පොලිසියකට රැඳවුම් නියෝග, පාපොච්චාරණ, හරස් ප්රශ්න කළ නොහැකි, ප්රකාශ සටහන් කරගැනීම වගේ බලතල දෙනවා නම්, ඒ බලතල අනිසි ලෙස පාවිච්චි කරන්න තියෙන අවස්ථාව ඉතාම වැඩියි.
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත සම්මත වුණොත් අයහපත් ප්රතිඵල ගණනාවක් අත්වෙන්න ඉඩ තියෙනවා කියලා ඔබ කියනවා. මෙවැනි පනත් කෙටුම්පත් සකස් කිරීම සඳහා දායකවන නීති විශාරදයන්ට ඔය කියන භයානකකම නොපෙනෙන්නේ ඇයි?
ඇත්තටම නීතිය ගැන නිසි අවබෝධයක් නැති පිරිස් තමයි මෙවැනි නීති හදන්න යන්නේ කියලා මට හිතෙනවා. මේ පනත් කෙටුම්පත් සකස් කරද්දී සුදුස්සන්ගෙන් උපදෙස් අරගෙන නැහැ. අඩුම තරමේ ප්රවීණයන් සමග සාකච්ඡාවක්වත් කළාද කියලා අපි දන්නේ නැහැ. මගේ දැනීමේ හැටියට නම්, මේ කෙටුම්පත හදද්දී ශ්රී ලංකා නීතිඥ සංගමයට හෝ කොළඹ මහාධිකරණ නීති සංගමයට කිසිම දැනුම්දීමක් කරලා නැහැ. මෙවැනි කෙටුම්පත් හදන්න කලින් අපෙනුත් ඇහුවා නම්, අපි සද්භාවයෙන්, කිසිම පැකිළීමකින් තොරව අවශ්ය උපදෙස් දෙනවා. ඒත් එහෙම නොකර, කොහේදෝ ඉන්න, වෙනත් රටවල මත සමග බැඳුණු අයගේ අවශ්යතා මත, ආණ්ඩුව සතුටු කරන්නයි මේ පනත් හදලා තියෙන්නේ. මේවා අපේ රටට ගැළපෙන්නෙ නැහැ. අනෙක ඔය තියෙන දේවල් මේ මහ පොළොවේ ප්රායෝගිකව ක්රියාත්මක කරන්නත් බෑ. එහෙම ක්රියාත්මක කරන්න ගියොත් සාමාන්ය ජනතාවගේ නිදහස අහිමිවීම විතරයි වෙන්නේ.

