brand logo
logo
වාහනවල ඩිජිටල් රක්ෂණ පත ප්‍රතික්ෂේප කළොත් පැමිණිලි කරන්න අංකයක්

වාහනවල ඩිජිටල් රක්ෂණ පත ප්‍රතික්ෂේප කළොත් පැමිණිලි කරන්න අංකයක්

03 September 2026


ඩිජිටල් රක්ෂණ කාඩ්පත් පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා නිකුත් කර ඇති මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් රියදුරන් අපහසුතාවට පත් කිරීම බරපතළ රාජකාරි පැහැරහැරීමක් ලෙස සැලකෙන බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා පවසයි.


අද (03) පැවැති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කළේ පාදුක්ක සහ ගම්පහ යන පොලිස් ස්ථානවල නිලධාරීන් කිහිපදෙනෙකු ඩිජිටල් රක්ෂණ පත් පිළිගැනීම ප්‍රතික්ෂේප කරමින් මහජනතාව පීඩාවට පත්කර ඇති බවට වාර්තා වී ඇති බවයි.


මෙරට ප්‍රමුඛ රක්ෂණ ආයතන 14ක් මගින් නිකුත් කරන ඩිජිටල් රක්ෂණ කාඩ්පත් නිල වශයෙන් පිළිගන්නා ලෙස පොලිස්පතිවරයා විසින් දිවයිනේ සියලුම පොලිස් ස්ථාන වෙත දැනුම් දී තිබේ.


ඒ අනුව, R.T.M. 93 පනත මගින් 2026.05.05 වන දින අතිරේක පණිවිඩයක් මගින් රක්ෂණ නියාමන කොමිෂන් සභාව විසින් මෙම ඩිජිටල් කාඩ්පත් අනුමත කර ඇත. ඊට අමතරව 2006 අංක 19 දරන විද්‍යුත් ගනුදෙනු පනත ප්‍රකාරවද ඩිජිටල් රක්ෂණ කාඩ්පත් සඳහා පූර්ණ නීතිමය පිළිගැනීම හිමිවන බව සඳහන් කළහ.


රියදුරෙකු සතුව ඩිජිටල් රක්ෂණ කාඩ්පත නොමැති අවස්ථාවකදී වුවද, පහත දැක්වෙන නොමිලේ සපයන ක්‍රමවේද ඔස්සේ රක්ෂණාවරණය සක්‍රියද නැද්ද යන්න තහවුරු කරගැනීමට පොලිස් නිලධාරීන්ට පහසුකම් සලසා ඇත:


*1338# ඇමතීමෙන්: රක්ෂණ අංකය හෝ වාහන අංකය ඇතුළත් කර ක්ෂණිකව තොරතුරු ලබාගැනීම.


1338 අංකයට කෙටි පණිවිඩයක් යැවීම.


1338 ක්ෂණික ඇමතුම් මධ්‍යස්ථානය (Call Center) ඇමතීම.


මෙම තත්ත්වය හේතුවෙන් දිවයින පුරා පිහිටි පොලිස් ස්ථාන 607හිම ස්ථානාධිපතිවරුන් මාර්ගයෙන් පහළ නිලධාරීන් නැවත දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.


යම්කිසි පොලිස් නිලධාරියෙකු ඩිජිටල් රක්ෂණ කාඩ්පත පිළිගැනීම ප්‍රතික්ෂේප කරන්නේ නම්, ඒ පිළිබඳව ළඟම පිහිටි පොලිස් ස්ථානාධිපතිවරයාට හෝ රථවාහන මූලස්ථානයේ 070 47 55 600 යන විශේෂ දුරකථන අංකයට පැමිණිලි කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර, එවැනි නිලධාරීන්ට එරෙහිව දැඩි විනය පියවර ගන්නා බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.

 

More News..