brand logo
logo
යාපනය සම සෞඛ්‍ය විද්‍යාපීඨයට නවීන පහසුකම් සහිත ගොඩනැගිල්ලක්

යාපනය සම සෞඛ්‍ය විද්‍යාපීඨයට නවීන පහසුකම් සහිත ගොඩනැගිල්ලක්

03 November 2026


යාපනය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යාපීඨය සඳහා නවීන පහසුකම්වලින් සමන්විත ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව රුපියල් මිලියන 2,025.73ක මුදලකට පිරිනැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.


මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා පසුගිය වසරේ සැප්තැම්බර් 15 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මීට පෙර අනුමැතිය ලබා දී තිබිණි.


ඒ අනුව, ව්‍යාපෘතිය සඳහා සුදුසු කොන්ත්‍රාත්කරුවෙකු තෝරා ගැනීමට ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ ලංසු කැඳවා ඇති අතර, ඒ සඳහා ලංසු 08ක් ඉදිරිපත් වී තිබේ.


එම ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුව ඉදිරිපත් කළ නිර්දේශය මත, සාරානුකූලව ප්‍රතිචාරාත්මක අවම ලංසුව ඉදිරිපත් කළ M/s Central Engineering Services (Pvt) Ltd වෙත කොන්ත්‍රාත්තුව පිරිනැමීමට තීරණය කර ඇත.


ඒ අනුව, එකතු කළ අගය මත බදු රහිතව රුපියල් මිලියන 2,025.73ක මුදලකට අදාළ කොන්ත්‍රාත්තුව පිරිනැමීම සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

 

More News..