දිට්වා ඇවිත් අවුරුද්දයි
21 November 2026
දිට්වා ඇවිත් අවුරුද්දයි
21 November 2026
මෑත කාලීන ලංකා ඉතිහාස පොතේ මිනිසුන් වැඩිම ගණනකගේ අඳෝනාව කැටිව ලියැවූ දිනයක් වේ නම් ඒ ගිය අවුරුද්දේ නොවැම්බර් විසිහත් වැනිදා ය. සිරිලක අස්සක් මුල්ලක් නෑර වෙසෙන ගම්මුන්ගේ හදවත මොහොතකට නතර කළ දිනයක් වේ නම් ඒ එදාය. ඉන්දියන් සයුර කලඹා දිට්වා අප සොයා ආවේ එදාය. දිට්වා බිල්ලට හසුව පොළෝ ගැබේ සැඟව ගිය අපේ උදවියගේ අවුරුද්දේ පින්කමට ඉතිරිව ඇත්තේ දින දෙක තුනක් පමණය.
දිට්වා මතකයට වසරක් ගෙවුණු තැන අපි සිතුවේ අපේ මිනිසුන්ගේ රුධිරය සහ දහදියේ සාරය උරාගෙන දිට්වා ගිය මග දිගේ යළිදු වාරයක් ඇවිද යන්නටය. ඒ ගමනේ මුලින්ම අප ගියේ දිට්වා වැඩිපුරම එබිකම් කළ කන්ද උඩරටට ය. කන්ද උඩරට මහනුවර දිස්ත්‍රික්කයේ පමණක් නිවාස දොළොස්දහසක විසූ උදවියට දිට්වා උන්හිටිතැන් නැති කළේය. මහා පර්වත උදුරාගෙන සමතලා වී ගොස් තිබුණේ කන්ද උඩරට උදවිය පැදුරෙනුත් බිමට වට්ටලාය. බිංදුවේ උන් ඒ උදවියට වැඩිකලක් යන්නට මත්තෙන් දෙපයින් නැගිට ඉන්නට අත දෙන බව ආණ්ඩුව කීවේය. ටකරමක් ගැලවුණත් ලක්ෂ දහයක් වන්දි දෙන බව ජනපති උතුමන්ම පොරොන්දු වූවේය.
ගම්පොළ අයත් වන්නේද මහනුවර දිස්ත්‍රික්කයටය. දිට්වා හිතේ හැටියට ගම්පොළටද හානි කළේය. යළි පිබිදෙන ගම්පොළ සොයා ගිය අපට මුලින්ම හමුවුණේ ඉහළගම ගමේ සරත් කරුණාසිංහ ය. දිට්වාගෙන් බැට කෑ සරත්ට ද නිවෙස් අතහැර යන්නට අනතුරු ඇඟවුණේය. ඒ, දිට්වා හානිකළ ඔහුගේ නිවෙසේ තවදුරටත් ජීවත්වීම අනාරක්ෂිත නිසාය. නිවෙසෙහි සිටීම අනාරක්ෂිත වුවද සරත්ලා තවමත් ජීවත්වන්නේ එහිමය. එයට හේතුව ඔහු අපට කීවේය.
“අපිට ගෙදරින් යන්න කිව්වා. ගෙයක් බලන්න කිව්වා. අපි තැනක් බැලුවත් ගොඩනැගිලි පර්යේෂණ එකෙන් රිජෙක්ට් කළා. මගේ වෙන ඉඩමක් තියෙනවා. තාම එතැන රිපෝට් ආවෙ නෑ. දිට්වාගෙන් පස්සෙ ගොඩක්කල් අපි හිටියෙ කුලී ගෙදරක. ඒත් අපි ගොවිතැන් කරන මිනිස්සු. වෙන ආදායමක් නෑ. ඒ නිසා දවල්ට පරණ තැනට එනවා. මේකට සමහරු පෙත්සම් ගැහුවා. කුලී ගෙදර හිටියොත් අපිට කන්නවත් නෑ. ඒ නිසා අපි ආපහු ගෙදර ආවා. ඒත් වහිනකොට අපි ගෙදරින් යනවා. ගිහින් වැස්ස අඩුවෙනකල් අම්මලගෙ ගෙදර ඉන්නවා....” තවමත් දෙපයින් නැගිටින්නට නොහැකිව ළතැවෙන සරත් කියන්නේය.
දිට්වාගෙන් නිවෙස් අහිමිවූවන්ට ආණ්ඩුවෙන් මුලින් කීවේ කෝටියක් දෙනවැයි කියාය. ඒත් එය ලක්ෂ පනහක් දක්වා අඩුවුණේය. එහෙම දෙන්නේ එක්කෝ නිවෙසක් මිලදී ගන්නටය. නැත්නම් ඉඩමක් මිලදීගෙන නිවෙසක් තනන්නටය. මේ දෙකෙන් කුමක් කළද ආණ්ඩුවේ මුදලින් මිලදී ගන්නා තැනට අනුමැතිය වුවමනාය. බලපත්‍ර ඉඩම්, ජයභූමි, ස්වර්ණභූමි ඔප්පුවලට අනුමැතිය ලැබෙන්නේ නැත. සරත් කියන්නේ ඒවාටත් අනුමැතිය දෙන්නේ නම් ඉඩම් සොයාගැනීමේ ගැටලුවක් නැති බව ය.
සරත්ලාගේ ගමේ සරත් වැන්නවුන් ඕසෙටය. දිට්වාගෙන් බැටකෑ ඉහළගම ගමේ පවුල් පනස් හතකගෙන් වන්දි ලැබී ඇත්තේ එක් පවුලකට පමණය. ඉහළගමට ආසන්නයෙන් ඇති උඩගම ගමේ පවුල් විසිහතකින් පවුල් අටකට වන්දි ලැබී ඇත්තේය. මේ බව අපට කීවේ ගම්පොළ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රි නිලවීර තෙන්නකෝන් ය.
එදා දිට්වා පැමිණ ගම්මාන බොහෝමයක් හුදකලා කළා සේ ගම්පොළ, දුනුකෙවුල්ල ඇතුළුව ග්‍රාමසේවා වසම් හතරක් තවමත් ඇත්තේ හුදකලාවය. ඊට හේතුව මේ ලිපිය ලියූ බදාදා වනවිටත් අටබාගේ සිට දුනුකෙවුල්ල දක්වා මාර්ගය නාය යමින් තිබූ නිසාය.
“අටබාගේ-දුනුකෙවුල්ල පාර දිගටම නාය යනවා. දුනුකෙවුල්ල, වනහපුව, කළුගල ඇතුළුව ග්‍රාම සේවා වසම් හතරක හාරදාහක් වගේ පිරිසක් මේ ගම්මානවල ජීවත් වෙනවා. කළුගල කියන්නේ වතු ජනතාව ජීවත්වෙන පැත්තක්. හුනුකොටුගම හරහා දුනුකෙවුල්ලට විකල්ප මාර්ගයක් තියෙනවා. හැබැයි ඒ පාරේ බොක්කුවක් දිට්වා එකට නාය ගියා. බෝක්කුව හදන්න අරමුදලින් ලක්ෂ හැටපහක් ඇවිත් තියෙන්නෙ. හැබැයි තවමත් මොකුත් කරල නැති නිසා ඒ පාර වැහිල තියෙන්නෙ. විහාරවත්ත පැත්තෙන් එන්න පුළුවන්කම තිබුණත් ඒ පාරත් මැදින් කැඩිලා. ලොකු වාහනවලට යන්න බැහැ. පාසල් ළමයි විතරක් තුන්සීයකට වඩා ඉන්නවා. ඒ දරුවො කුඹුරු යායක් මැදින් කිලෝමීටර තුනක් වගේ පයින් එනවා. නාය ගියපු තැන මඩ උඩින් කිතුල් ගස් පළලා දාල තියෙන්නෙ. එතැන අනාරක්ෂිතයි. දිට්වාගෙන් අසරණ වුණ ඉහළගම වසමේ මිනිස්සු තමයි වැඩිපුරම පීඩා විඳින්නෙ.” ගම්පොළ ගම්මු මුහුණ දී සිටින අකරතැබ්බ ගැන ගමේ මන්ත්‍රි නිලවීර කියන්නේය.
අටබාගේ- දුනුකෙවුල්ල මාර්ගය නාය යන්නේ ඉහළගම විසූ උදවිය සදාකාලික නින්දට යන තැන ආසන්නයෙනි. කලකට පෙර එතැන නින්දට ගිය උදවියගේ මිනී පෙට්ටි පවා වරක් පස් කඳු සමගින් නායට හසුවුණේය. එය ගමේ උදවියගේ ශරීර සෞඛ්‍ය පැත්තෙන් ගත්කලද අහිතකර බව අමුතුවෙන් කියන්නට වුවමනා නැත. ගම්මු කියන හැටියට මේ ප්‍රශ්නයට තවමත් විසඳුමක් ලැබී නැත්තේය. වැඩිම අවදානම ඇත්තේ නාය යන තැනට පහළින් ජීවත් වෙන පවුල් හතක උදවියටය. ගම්පොළ හීන්ගෙදර කොට්ඨාසයටද දිට්වා සරදම් කළේය. ගමේ නාය යන තැන පිළිසකර කෙරුණද ගම්මු තවමත් ජීවත් වන්නේ අනාරක්ෂිත නිවෙස්වලය.
මහනුවර දිස්ත්‍රික්කයට දිට්වා කළ සරදමේ තරම ගැන කතා කරද්දි පේරාදෙණිය ඓතිහාසික කළු පාලම නොහොත් යකා පාලම ගැන අමතක නොකර බැරිය. එදා මහවැලි ගං කොමළිය රුදුරු වෙස් ගෙන කළු පාලමට ඉහළින් ගමන් කරද්දි පාලමට බොහෝ හානි වුණේය. පාලමේ සිර වූ සුවිසල් දැව කඳන්, උණපදුරු ඉවත් කරන්නට මාසයකට ආසන්න කාලයක් ගතවුණේය. කළු පාලම තිබූ පරිදි පිළිසකර කරන්නට ආරම්භ කෙරුණේ එතැන් සිටය.
කෙසේ නමුදු තවමත් පාලම මතින් දුම්රිය ගමන ඇරඹුණේ නැත. මන්ද යත් දිට්වා ගිය දා පටන් කළු පාලමට හෙනහුරාගේ බැල්ම වැටුණු නිසාය. පාලමේ ඉදිකරන්නට ගෙනා යන්ත්‍ර සූත්‍ර වරක් මහවැලි නදියේ ගසාගෙන ද ගියේය. ඉබි ගමනේ ගිය පාලමේ ප්‍රතිසංස්කරණ ගැන දුම්රිය ස්ථානාධිපති සංගමය මැසිවිලි නැගුවේය. එම සංගමය කියන්නේ කළු පාලම ගැන එදා ගත යුතුව තිබූ තීරණයක් ක්‍රියාත්මක කරන්නට වසරකට පසු දැන් මතක් වී ඇති බවය. ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර අපට මේ බව කීවේය.
“අලුත් පාලමක් හදන්න යන වියදම සහ පැරණි පාලමට යන වියදම සංසන්දනය කරලා අපි කිව්වා අලුත් පාලමක්ම හදන්න කියලා. හැබැයි එදා එය ක්‍රියාත්මක කළේ නෑ. දැන් අවුරුද්දකට පස්සෙ කියනවා තියන පාලමත් එක්ක අලුත් පාලමක් හදනවා කියලා. කොහොමත් එතැන මංතීරු දෙකක් තියෙන්න ඕනෑ, කැනේඩියාවෙන් ලංකාවට පාලම් දෙන වෙලාවේ මමත් ඉල්ලීමක් කළා පුළුවන් නම් කෝච්චි පාලම් ටිකත් හදල දෙන්න කියලා. ඒත් වගකිවයුතු නිලධාරින්ට ඒ ගැන උනන්දුවක් තිබුණෙ නෑ....” කසුන් චාමර කියන්නේය.
එදා දුම්රිය ගමන නැවතුණු කළු පාලම මතින් වසරක් යනතුරු දුම්රිය ගමන් කළේ නැත. උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන පේරාදෙණිය හා ගම්පොළ දක්වා ගිය මහේ යළි ඇරඹුවත් ඒ ගමනට ආයුෂ තිබුණේ සතියක් විතරය. දුම්රිය ස්ථානාධිපති සංගමයේ කසුන් චාමර කියන්නේ නාය යන බවට අනතුරු අඟවා තිබියදී දුම්රිය ගමන යළි ඇරඹූ බවය.
මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයට සේම මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටද දිට්වා හිතේ හැටියට සරදම් කළේය. දුම්බර මිටියාවත හෙවත් නකල්ස් වනපෙත පෙනෙන මානයේ පිහිටි ලග්ගල උඩසියපත්තුවට අයත් ඇටැන්වල හා රත්නින්ද ගම්මාන ද දිට්වා බිලි ගත්තේය. රිවස්ටන් රක්ෂිත කලාපයේ පහළින්ම පිහිටා ඇති ගම්මානය ඇටැන්වල ය. කොහොමත් දුෂ්කරකමින් පිරුණු මේ ගම්මානවලට යන පාර දිට්වා රැගෙන ගියේ රිවස්ටන් සංචාරක කලාපයට යන මාර්ගයද එක් පසෙකින් ගිලා බස්වමිනි. ඇටැන්වල විසූ පවුල් හතළිස් පහක උදවියට නිවෙස් අතහැර යන්නට වුණේය. මේ වෙද්දි ඇටැන්වල ගමේ ඉතිරි වී සිටින්නේ පවුල් හය හතක් විතරය. ඉතිරි සියල්ලෝම තවමත් සිටින්නේ කුලී නිවෙස්වලය. මේ බව අපට කීවේ ඇටැන්වල ශ්‍රී කෙත්තාරම විහාරස්ථානයේ විහාරාධිපති කඹරව සමිත හිමියෝය.
“අපේ ගමේ හිටපු අය කුලියට ගෙවල් අරගෙන ඒවායේ පදිංචිවෙලා ඉන්නෙ. ගම අනාරක්ෂිතයි කියලා හැමෝම ඉවත් කළා. පිරිසක් ලේල්ලව ගමටත් තවත් පිරිසක් පිටවල ගමටත් අනෙක් පිරිස රත්තින්දයායටත් අරගෙන යනවලු. ඉඩම් පෙන්නුවාට තවමත් ඒවා නිදහස් කරල නැහැ. සංවර්ධන කටයුතු කරලත් නැහැ. වන්දි දීලත් නැහැ. අපේ මිනිස්සු කබලෙන් ළිපට වැටිලා ඉන්නෙ.. ගමේ රැඳිලා ඉන්න කිහිපදෙනා වැස්ස සැර වැඩිදාට යනවා...” සමිත හිමියෝ කීහ.
සමිත හිමියන් වැඩ සිටින විහාරස්ථානයද දැඩි අනාරක්ෂිත බව මීට ඉහතදී දන්වා තිබුණේය. දිට්වා ආ දිනවල සමිත හිමියෝ තවත් ස්වාමීන්වහන්සේ පස් නමක් සමග අසල්වැසි පල්ලේගමට වැඩම කළත් සමිත හිමියෝ යළිදු වාරයක් පරණ පුරුදු විහාරස්ථානයට වැඩම කළහ. උන්වහන්සේ වෙනත් විහාරස්ථානයකට වැඩම කරන්නැද්දැයි විමසූ විට උන්වහන්සේ පිළිතුරු දුන්නේ මෙසේය.
“අවදානම වැඩිපුරම තියෙනවා කියන්නෙ පන්සලට. ඒත් මං කොහෙ යන්නද. මට යන්න තැනක් නෑ. යන්න තැනක් කිව්වෙත් නෑ. පොඩි හාමුදුරුවෝ පිරිවෙන්වලට වැඩම කෙරෙව්වා. දැන් මම තනියම උයාගෙන කාලා පන්සලේ ඉන්නවා. දානෙ ටිකක් දෙන්නවත් ගමේ මිනිස්සු නැහැනේ....”
මාතලේ රිවස්ටන් සංචාරක කලාපයද දිට්වා තහනම් කලාපයක් බවට පත්කර තිබුණේය. රිවස්ටන්වලට යන මාර්ගයට පස් කඳු පෙරළීම ඊට හේතුවය. ඒත් දැන් ඒ පාර තාවකාලිකව ප්‍රතිසංස්කරණය කරලාය. රිවස්ටන් දක්වා සංචාරකයන්ට ගමන් කරන්නට පුළුවන.
මාතලේ ගම්මඩුව, උකුවෙල, රත්තොට ආදී ගම්මාන රැසක උදවියට දිට්වා හානි කළේය. බොහෝ පිරිසකට නිවෙස් අතහැර යන්නට වුණේය. මාතලේ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න මදනායක කීවේ මාතලේ දිස්ත්‍රික්කයේ දිට්වා හානි කළ යටිතල පහසුකම් සියල්ලම ප්‍රතිසංස්කරණය කර අවසන් බවය.
දිට්වාට බිලිවූ මාතලේ උදවිය තිස් එක් දෙනකු වෙනුවෙන් රුපියල් මිලියන 34ක් මේ වන විට ගෙවා අවසන්ව ඇත්තේය. මාතලේ දිස්ත්‍රික්කයේ පූර්ණ හානි වූ නිවාස දෙදහස් තිස්හතරක් වෙනුවෙන් මේ වන විට නිවාස හාරසිය හැත්තෑපහකට ගෙවීම් කර අවසන්ව ඇති බව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය කියන්නේය.
මාතලේ දිස්ත්‍රික්කයෙන් අපි ඊළඟට හැරුණේ බදුල්ල දිස්ත්‍රික්කයටය. දිට්වා ආපදාවෙන් දෙවැනි තැනට වැඩිපුරම හානි වුණැයි කියන්නේ බදුල්ලටය. බදුල්ල දිස්ත්‍රික්කයේද බොහෝ දෙනෙක් දැන් ජීවත් වෙන්නේ කුලී නිවාසවලය. නගරයෙන් දුර බැහැර ඇතැම් පාරවල්වල බස් ගමනාගමනය හරිහැටි වෙන්නේ නැත. මේ බව අපට කීවේ නාගොල්ලේ පදිංචි ශානක සම්පත්ය.
“තලගොඩ හන්දියේ ඉඳලා නාගොල්ලට යන අපේ ගමේ පාර තුන්පළකින් කැඩුණා. බෝක්කුවේ පැති බැම්ම සම්පූර්ණයෙන් හානිවෙලා ගමේ අය වැලිකොට්ට දෙදාහක් වගේ ගහලා එතැන හැදුවෙ. ගමට ආව බස් එක එතැනින් දැන් නවත්තනවා...”
දිට්වා හානිකළ බදුල්ල දිස්ත්‍රික්කයේ පමණක් ජීවිත අනූවක් දිට්වා බිලිගත්තේය. තවත් නව දෙනකුට වෙච්චි දෙයක් ගැන අදටත් තොරතුරක් නැත. අධි අවදානම් නිවාසවල විසූ පවුල් තුන්දහස් පන්සීයකට අධික පිරිසක් උන් හිටි තැන්වලින් ඉවත් කරන්නට වූ බව දිස්ත්‍රික් ලේකම් සුනිල් ගලගම කීවේය. පවුල් විසිහයදහසකට අධික පිරිසකට දිට්වා බලපෑම් කර තිබුණේය. මේ උදවිය එකල තාවකාලික මධ්‍යස්ථානවල රඳවා සිටියත් දැන් කිසිවකුත් ඒවායේ නොමැති බව දිස්ත්‍රික් ලේකම් කීවේය. නැවත පදිංචි කරවන්නට වූ තුන්දහස් පන්සීයකට අධික පිරිසක් අතුරින් මේ වෙද්දි හයසිය හැත්තෑ හතකට නිවාස ඉදිකරන්නට ආරම්භ කර ඇත්තේය. මේ වසර අවසන් වීමට මත්තෙන් නිවාස දහසක වැඩ ආරම්භ කරන්නට ලකලැහැස්ති කර ඇති බව ද දිස්ත්‍රික් ලේකම් කීවේය.
නැවත පදිංචිකරවීමේ කාරිය මේ තරම් පමා ඇයි දැයි විමසූ විට දිස්ත්‍රික් ලේකම් සුනිල් ගලගම කීවේ මෙවැන්නක්ය.
“අපිට ලොකුම ගැටලුව තමයි ඉඩම් සොයාගැනීම. ඇල්ල, කැප්පෙටිපොළ, ඌව පරණගම, වැලිමඩ වගේ පැතිවල අපිට ඉඩම් නැහැ. වතු සමාගම්වලින් ඉඩම් ගන්න වෙන්නේ. මේවාට දීර්ඝ කාලයක් යනවා. එහෙම ලැබුණත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන් පරීක්ෂා කරන්න ඕන. අපි ඉඩම් පහක් බැලුවොත් හතරක් විතර ප්‍රතික්ෂේප වෙනවා. ඉඩම් සොයාගැනීම අපිට තියෙන ලොකු ගැටලුවක්. මිනින්දොරු දෙපාර්තමේන්තුව සලකුණු කළාම මානව ජනාවාස ආයතනයෙනුත් පරීක්ෂා කරනවා. එතැනිනුත් තවත් කොටසක් ප්‍රතික්ෂේප වෙනවා. අලුතින් හදන ගෙදර නැවත නාය යන්න බැහැ...” දිසාපති කියන්නේය.
දිට්වාගෙන් ඊළඟට වැඩිම හානිය වුණේ නුවරඑළිය දිස්ත්‍රික්කයටය. නුවරඑළියෙන් වැඩිම හානිය වුණේ කොත්මලේ ගම්මානයටය. කොත්මලේ නියම්ගම්දොර රජමහා විහාරයේ කොටසක් දිට්වා රැගෙන ගියේය. ටැම්පිට පත්තිනි දේවාලය සම්පූර්ණයෙන් පස්වලින් යටවුණේය. එහෙත් විහාරාධිපති මඩකුඹුරේ ලංකානන්ද හිමියෝ පවසන්නේ විහාරස්ථානයට කුඩම්මාගේ සැලකිලි ලැබී ඇති බවය.
“දිට්වා ඇවිත් දැන් අවුරුද්දක් වෙන්න ආව. තවමත් පන්සල තිබුණ විදියමයි. දේවාලයේ තිබුණ පුරාවස්තු පස්වලට යටවෙලා. කිසිම කෙනෙක් මේ ගැන බලන්නෙ නැහැ. ජනාධිපතිතුමාටත් මම මේ ගැන ලිව්වා. ඒත් ප්‍රතිචාරයක් නැහැ.” විහාරාධිපති හිමියෝ කීහ.
දිට්වා බලපෑම් කළ කොත්මලේ උදවියගෙන් බොහෝ දෙනෙක් තවමත් සිටින්නේ පැරණි නිවෙස්වලය. තවත් සමහරු කුලී නිවාසවලය. කොත්මලේ රම්බොඩගම පදිංචි යූ.එම්. හේරත්ගේ සහෝදරයාගේ නිවෙසද දිට්වා සම්පූර්ණයෙන් බිලි ගත්තේය. ඔහු ජීවිතය බේරාගෙන තිබුණේ අනූනවයෙන්ය. මල්ලීගේ පවුලේ උදවියද තවමත් සිටින්නේ කුලී නිවෙසක බව හේරත් කීවේය.
“ලියකියවිලි ඔක්කොම අපි සම්පූර්ණ කරල දුන්නා. මානව හා ජනාවාස එකෙන් තවම ඇවිත් බැලුවෙ නැහැ. ඒ නිසා මල්ලිලා තවම ඉන්නෙ කුලී ගෙදර...” හේරත් කියන්නේය. හේරත් කියූ හැටියට දිට්වා හානි කළ කොත්මලේ ගම්මානය ආණ්ඩුවට අමතක වී ඇති සේය. නායට හසුවූ රම්බොඩගම මාර්ගයද තවමත් එහෙමමය.
කොත්මලේ ගැරඬිඇල්ලෙන් පීඩා විඳි වෙවැන්ඩෙන් වත්තේ පදිංචි උදවියද තවමත් සිටින්නේ අනාරක්ෂිත ලැයිමේය. ඒ උදවිය මාස හය හතක් සිටියේ කූඩාරම්වලය. එතැන ඉන්නට බැරි තැන යළිදු වාරයක් වෙවැන්ඩෙන් වත්තේ ලැයිමට ගිය බව කුමාරස්වාමි කලෙයිමනී කීවාය. ඈ කියන හැටියට ළඟදීම දිනෙක අලුත් ගෙපැලකට යන්නට වත්තේ උදවිය දෑස් දල්වාගෙන බලා සිටින්නෝය.
“අපිට ඉඩම් බලලාලු තියෙන්නේ. එතකල් ලැයිමේ ඉන්න කිව්වා. සෙනසුරාදා ගෙදර වැඩ පටන් ගන්නවා කිව්වා....” කලෙයිමනී කියන්නීය.
දිට්වා අපේ රටට කළ හානිය කෙතරම්ද කියන්නේ නම් අපේ රටේ සිතියමද අලුතින් අන්දවන්නට තරම් දිට්වා ප්‍රබල වුණේය. ඇළ දොළ ගංගා ගමන් කළ මාර්ගය වෙනස් වුණේය. කඳුවල පිහිටීම් වෙනස් වුණේය. මේ සියල්ලම අලුතින් සිතියමකට එකතු කරන්නට භූ විද්‍යාඥයෝ ගිය අවුරුද්දේ පිඹුරු සකස් කළහ. එකල මැනුම්පති එන්.කේ.යූ. රෝහණ ඉකුත් දෙසැම්බරයේදී අපට කීවේ මාර්තු මාසය වන විට අලුත් සිතියමේ වැඩ අහවර කරන්නට බලාපොරොත්තු වෙන බවය. දැන් මැනුම්පතිගේ රාජකාරි කරන්නේ ඕ.ටී.එම්. ඉන්දුමතී තිලකරත්න ය. ඈ කියූ හැටියට ලංකා සිතියම වෙනස් කරන හැඩක් දැන් පෙනෙන්නට නැත්තේය.
“චන්ද්‍රිකා ඡායාරූප මගින් වර්තමාන තත්ත්වය අපිට බලන්න පුළුවන්. හැබැයි අලුතින් සිතියමක් හදනවා කියන තීරණයට තවම ගිහින් නැහැ. මිනින්දෝරු දෙපාර්තමේන්තුව විදියට අපිට දැන් පැවරිලා තියෙන ලොකුම රාජකාරිය දිට්වා හානිවලට අදාළව මිනිසුන්ගේ ඉඩම් අත්පත් කරගැනීමේ මැනුම් කටයුතු සහ රජයේ ඉඩම් මැනුම් කටයුතු කිරීමයි. අලුතින් සිතියමක් සකස් කරනවා නම් කමිටුවක් පත් කරලා එය විය යුතුද කියලා තීරණය කරන්න ඕන.” මැනුම්පතිනිය කියන්නීය.
දිට්වා ඇබැද්දියෙන් වසරක් තිස්සේ මෙරට දහස් ගණනක් විඳි පීඩා තවමත් අවසන් නැත්තේය. දිට්වා සමග සටන් කරන්නට අපේ උදවිය කඳවුරු බැන්දේ නම් රට්ටු සේම නිලධාරින්ද අද තරම් පීඩා විඳින්නේ නැත. කාලගුණයෙන් එදා කී අනාවැකි ගැන පිරිසක් අවි අමෝරා ගනිද්දි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ අතුල කරුණානායක ඉසිඹු ලැබුවේ දිට්වා මතකයද සමගය. එදා මතකය ගැන ඔහුගෙන් විමසුවද අදද දිට්වා ගැන තතු කියන්නට ඔහු අකැමැතිය.


