brand logo
logo
එල්-නිනෝවෙන් බේරී වන සතුන්ගේ පවස නිවාගන්න මීටර් 500න් 500ට පොකුණු

එල්-නිනෝවෙන් බේරී වන සතුන්ගේ පවස නිවාගන්න මීටර් 500න් 500ට පොකුණු

04 August 2026 | •නිලන්ත මදුරාවල

මේ දිනවල ඇතැම් ප්‍රදේශවල උණුසුම මිනිස් ගත සිත දවමින් තිබේ. ඒ..........එල්-නිනෝවේ බලපෑම නිසා ය. ඉදිරි මාස කිහිපයේදී මේ උණුසුම තවතවත් තීව්‍ර වීම නොවැළැක්විය හැකි බව කාලගුණ අනාවැකිවලින් ඉඟි කෙරේ. සාමාන්‍යයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් ආරම්භ වී දින කිහිපයක් ඇතුළත ජල ධාරා සිඳී යන තැනට පත්ව ඇති මේ මහපොළොව එල්-නිනෝවේ දරුණු බලපෑම කෙලෙස දරාගනු ඇතිදැයි සිතීමත් උගහට ය.අනාගතයේ එල්ල විය හැකි මේ දරුණු උණුසුම හමුවේ අහිංසක සතා සීපාවන්ට අත් විය හැකි ඉරණම කුමක් විය හැකි ද?


ජලය නොමැතිවීම හේතුවෙන් සතුන් මිය යාම දරා ගත නොහැකි ය. එලෙසම තමන් හා සමානව සත්ත්වයන්ගේ ජීවිතය ගැන ද සිතන මිනිස්සු අප අතර වෙති. මොරටුව විශ්වවිද්‍යාලයීය ඉංජිනේරු පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංගික හල්වතුර ද එවැනි සැබෑ මිනිසෙකි. සතුන් වෙනුවෙන් දයාව උතුරා ගලා හැලෙන හදවතක් ඔහුට හිමි ය.


මේ මහාචාර්යවරයාගේ තාක්ෂණික සොයාගැනීමක් හේතුවෙන් මින් මතුවට වනාන්තරවල සතුන් ජලය නොමැතිව මිය නොයනු ඇත. වනාන්තරවල තැන තැන මෙතෙක් කොන්ක්‍රීට්වලින් ඉදි කෙරුණු පොකුණු වෙනුවට පරිසර හිතකාමී පොකුණක් නිර්මාණය කිරීමේ තාක්ෂණය මහාචාර්යවරයා සොයා ගෙන තිබේ. ඒ අනුව මින් ඉදිරියට වනාන්තරවල ඉදි කෙරෙන්නේ එවන් පොකුණු ය. ඊට අදාළ සියලු පර්යේෂණ කටයුතු මොරටුව විශ්වවිද්‍යාලයේ ProGreen රසායනාගාරයේ පවත්වා තිබේ. දැන් සිදු වෙමින් ඇත්තේ ඒ මහඟු පර්යේෂණයේ විපුල ඵල සතුන්ගේ ජීවිතාරක්ෂාව වෙනුවෙන් යෙදවෙන ක්‍රියාවලියකි. ක්‍රියාවලියේ ආරම්භය ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය ය. උපරිම වශයෙන් ජලය ලීටර් හයදහස් පන්සියයක් පිරවිය හැකි පොකුණු මීටර් පන්සියයෙන් පන්සියයට ඉදිකිරීම ව්‍යාපෘතියේ ඉලක්කයයි. පොකුණක උපරිම ගැඹුර අඩි හතරකි. එතරම් අඩු ගැඹුරක් නිශ්චය කර ඇත්තේ සතකුට පොකුණට බැසීමට වුව ඉඩ සැලැස්වීමටය. සැලැස්ම වි ඇත්තේ ස්වයංක්‍රීයව ගලා එන ජලයෙන් පොකුණ පිරී ඉතිරි යාමට ය. එවිට අවට තෙතමනයෙන් පොළොව සාරවත් වෙයි. මුල්ම අත්හදා බැලීම කර ඇත්තේ හොරොව්පතානෙනි. එය ඉතාම සාර්ථක වී තිබේ. එම සාර්ථකත්වයේ ඵලය දැන් දැන් රක්ෂිත වනාන්තර කරා පැමිණෙමින් පවතී. ඒ් වනජීවී දෙපාර්තමේන්තුව මහාචාර්යවරයාගෙන් කළ ඉල්ලීමක් හේතුවෙනි. මෙහි ඵලය වනාන්තර කරා ළඟා වීම යනු එල් - නිනෝ මතු නොව අන් කවර හෝ නියං සමයක දී පවා සතුන්ට රිසි සේ ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කිරීම ය.


සමස්ත වනාන්තරයක් පුරාවට මීටර් පන්සියයෙන් පන්සියයට මෙවන් පොකුණු ඉදිකර අසල ඇති ගංගාවකින් ස්වයංක්‍රීයව ජලය පොම්ප කිරීම මෙහි සැලැස්ම ය. ඒ සඳහා අඟල් තුනක බට එලනු ලැබේ. සූර්ය බලයෙන් විදුලිය උත්පාදන යන්ත්‍ර සවි කරමින් ගංගාවේ ජලය ස්වයංක්‍රීයව පොම්ප කෙරේ.


ඒ අනුව ලුණුගම්වෙහෙර වනෝද්‍යානයට ජලය පොම්ප කිරීමට සැලසුම් කර ඇත්තේ මැණික් ගඟෙන් හා කිරිඳි ඔයෙනි. මුල් අදියර යටතේ පොකුණු සියයක් ඉදි කිරීම ඉලක්කය වී තිබේ. එම පොකුණු පොළොව අභ්‍යන්තරයෙන් එළන බටවලින් එකිනෙකට යා වෙයි. මෙම ක්‍රමය ව්‍යාප්ත වීම යනු වනාන්තරවල මින් මතු ජල ප්‍රශ්නයක් ඇති නොවීම ය. මේ වන විට කිලෝ මීටර් දොළහක පමණ ප්‍රමාණකට බට එලීම ද අවසන් ය. නුදුරු දිනයක යාල ජාතික වනෝද්‍යානයේ සෙසු කලාප වල ද මෙම ක්‍රියාවලිය ව්‍යාප්ත කිරිමට සැලසුම් කර තිබේ.


පැය තුනහතරක් වැනි කෙටි කාලයකින් පොකුණ ඉදි කළ හැකි අතර ඉදි කර පැය දොළහක් ඇතුළත ජලය පිරවිය හැකි ය. පොකුණ ඉදි කිරීම සම්බන්ධයෙන් මහාචාර්යවරයා විසින් වනජීවී නිලධාරීන්ට පුහුණුවක් ද ලබා දී ඇත. සූර්ය පැනල සවි කිරීමේ කටයුතු නුදුරු දිනයක දී සිදු කිරීමට නියමිත අතර ඉන් පසු ස්වයංක්‍රීයව පොකුණු ජලයෙන් පිරී ඉතිරී යනු ඇත.

ලුණුගම්වෙහෙර ඇතුළු බොහෝ වනාන්තර දැනටම ගිනි ගනිමින් පවතී. ශේෂ වී ඇති පිදුරු වැනි තණකොළ ටිකත් උලා කෑ පසු සතුන්ට ආහාර සොයාගැනීමේ බරපතළ ප්‍රශ්නයකට මුහුණදීමට සිදුවනු නොවනුමානය.

මෙම පොකුණු ආශ්‍රිතව තෙතමනය පොළොවට උරා ගැනීම යනු අවට නිල් පැහැයෙන් යුත් තණ බිස්සක සිරිය ඇති වීම ය. ඉන් නිර්මාණය කෙරෙන පරිසරය චිත්‍රයක් වැනි ය. මේ චිත්‍රයේ හිමිකරු එය වචනයට පෙරළුවේ මෙලෙසිනි.‘‘මේකට වියදම් වුණේ සිමෙන්ති කොට්ට නවයක මුදලයි. අපේ ශ්‍රමයයි. ඒ කියන්නේ රුපියල් විසි දහසකටත් අඩුවෙන්. මොකද අනිත් ඔක්කොම දේවල් මේ කැලෙන්ම හොයා ගත්ත දේවල්. මෙතැන වැදගත් වන්නේ ගානට වඩා ඒකෙ පාටයි. මේක ස්වභාවධර්මයට කොච්චර සමීපද කියන එකයි.


කට්ට අව්වෙ ඉඳගෙන වනජීවි දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය පුුහුණු කරන ගමන් හදපු මේ පොකුණ වතුර ලීටර් හයසිය පනහකින් පිරිලා. මට තේරෙන්නේ නැහැ මේ සතුට ඔයාලට කොහොම කියන්න ද කියලා. එල් - නිනෝ තත්ත්වයත් එක්ක පෑවිල්ල ටිකක් සැරයි. මුළු පළාතම එකම කාන්තාරයක් වගේ. සතුන්ට කන්න ඉතිරි වෙලා තියෙන්නේ පිදුරු වෙච්ච තණකොළ. ඒකත් තව ටික දවසයි.


ඒ තමයි ස්වභාව ධර්මය කියලා හිත හදා ගන්න තිබුණා. මේ සත්තු ඉන්නේ එයාලට ම අයිති එයාලගෙම කැලේ. මේ සත්තු බලන්න අපිත් මේ වනෝද්‍යානවලට ගිහින් ඇති. මේ සත්තු අපේ රටට ඩොලර් උපයන්න ඇති. රුපියල් ට්‍රිලියන ගණන් හොයලා දීලා ඇති. දැන් තියෙන්නේ අපේ වාරේ. ඉස්සරහට එන මාස කිහිපය මේගොල්ලන්ට ගොඩක් අමාරු වෙයි. මේ පොකුණ හදන එක ඈතට වෙලා මෙයාලා බලා හිටියා මම දැක්කා. හරියට එයලාට අලුත් බලාපොරොත්තුවක් දැනිලා වගේ. හරියට අපේ කරුණාව එයාලට වැටනෙකම් බලා ඉන්නවා වගේ.

ලියකුට දවසකට වතුර ලිටර් 100ක් විතර ඕනෑ. මේකෙන් අලි විතරක් බිව්වත් අලි 65කට වතුර තියෙනවා. මුවන් ගත්තොත් එකෙකුට ලීටර් දහයක් විතර. ඒ කියන්නේ මුවන් හයසිය පනහකට විතර වතුර දෙන්න පුළුවන්. හැම මීටර් පන්සියය‍කම මෙහෙම පොකුණු හැදිලා ඒ ටැංකි වතුරෙන් පිරිලා ඉතිරිලා යන හැටි මම හීන මවනවා.

මේ අපේ තාක්ෂණයක්. මේක අපේ පේටන්ට් එකක්. මොරටුවෙ ProGreen රසායනගාාරයේ හැදුණු මේ තාක්ෂණය අද මිනිසුන්ගෙන් එහාට ගිහිල්ලා සතා සිව්පාවුන්ටත් දැනෙන්න අරගෙන. පේටන්ට් කියන්නෙ මුදල් හම්බ කරන එකක් නම් ලංකාවේ මිනිස්සු වැඩියෙනුත් එක්ක ගෙවලා ඉවරයි.


මට පුදුම සතුටක් දැනෙන්නෙ ලාංකිකයෙක් විදියට. පුුදුම සතුටක් දැනෙන්නේ පර්යේෂකයෙක් විදියට. ගොඩක් මිනිස්සු විවේචනයට විතරක් සීමා වෙච්ච වෙලාවක සතුන් වෙනුවෙන් පොළවෙ යමක් පැළකරන්න ලැබිච්ච එක මගේ වාසනාවක්. විවේචනය ලේසියි. මේක ටිකක් අමාරුයි. හැබැයි විවේචනයකින් ලැබෙන සතුටට වඩා සිය දහස් ගුණයක සතුටක් මම අද ලබනවා.

මොරටුව කියන්නේ ජනතාවගේ බදු සල්ලිවලින් යැපෙන තැනක්. සියයට සියයක් මගේ ජීවිතය සරි කරන්නේ ඒ බදු සල්ලි. ඉතින් පැහැදිලිවම මේක ණය ගෙවීමක්. ඊටත් වඩා කෙනකුට හීනෙන්වත් ලබන්න බැරි සතුටක් උපරිමයෙන් විඳීමක්.’’


 

More News..