brand logo
logo
 සලේ සම්බන්ධයෙන් කැඳවූ නඩු විභාගයේ සාරාංශය

සලේ සම්බන්ධයෙන් කැඳවූ නඩු විභාගයේ සාරාංශය

25 August 2026


තමා රඳවා තබාගැනීම අභියෝගයට ලක් කරමින් සලේ මහතා අභියාචනාධිකරණයේ ගොනුකර ඇති රිට් පෙත්සම අද (25) යළි සලකා බැලුණි.


වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් මහත්මිය අධිකරණය හමුවේ එහිදී කරුණු දැක්වුවාය.


"වග උත්තරකාර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මෙම පෙත්සම්කරු සම්බන්ධයෙන් ද්වේශ සහගතව කටයුතු කරන බවට පෙත්සමෙන් ඉදිරිපත්කර ඇති චෝදනා සම්පූර්ණයෙන්ම පදනම් විරහිතයි ස්වාමීනි. මේ පෙත්සමේ විමර්ශන ආරම්භ වී තිබෙන්නේ ශානි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වීමට ප්‍රථමයෙන්. එමෙන්ම පෙත්සම්කරුවන් චෝදනා කළා විමර්ශන කොමිෂන් සභා කීපයකින් ශානි අබේසේකර මහතාට එරෙහිව චෝදනා එල්ල කර තිබූ බවට. ඒක සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. ජනක් ද සිල්වා කොමිසමේ පොලිස් නිලධාරින් ගණනාවකට එරෙහිව නිර්දේශ නිකුත් කර තිබුණත් ඒ කිසිම ස්ථානයක ශානි අබේසේකරගේ නම සඳහන් වී නැහැ. පෙත්සම්කාර සුරේෂ් සලේ විමර්ශනවලට සහාය ලබාදීමක් සිදු කරන්නේ නෑ. ඔහුගේ ඉලෙක්ට්‍රොනික උපාංගවල මුර පද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියා. නමුත් ඔහු ඒවා ලබාදී නිසි සහාය දැක්වුවේ නෑ.   

වැඩි දුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය "මෙම නඩුකරයට අදාළව අතරමැදි පෙත්සම් 13 ක් ඉදිරිපත් කර තිබෙනවා. කාදිනල් තුමාගේ පෙත්සම හැර අනෙක් සියලු අතරමැදි පෙත්සම්වලින් ඉල්ලා තිබෙන්නේ පෙත්සම්කාර සුරේෂ් සලේ මහතා ඉල්ලා සිටින සහනය මෙම අධිකරණය විසින් ප්‍රදානය කල යුතු බවයි. මෙම අතරමැදි පෙත්සම්කරුවන් සුරේෂ් සලේ අත් අඩංගුවට ගැනීම තුළින් තමන් අගතියට පත්වූ අයුරු පහදා නෑ. ඔවුන් පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් වූවන් නොවේ. එම නිසා මෙම අතරමැදි පෙත්සම්වලට අදාළව නොතීසි නිකුත් නොකරන ලෙස මා ඉල්ලා සිටී.


ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම අතරමැදි පෙත්සම් විභාග කිරීම කිරීම සඳහා නොතිසි නිකුත් කරන්නේද නැද්ද යන නියෝගය ඔක්තෝබර් මස 07 වනදා ප්‍රකාශයට පත් කරන බව නිවේදනය කළේය.


එමෙන්ම සුරේෂ් සලේ මහතා ඉදිරිපත් කළ පෙත්සම පිළිබඳ වැඩිදුර කරුණු සලකා බැලීම සැප්තැම්බර් මස 03 වනදා සිදු කිරීමට නියමිතයි.

 

More News..