22 වැනි සංශෝධනය ළඟටම ඇවිත්
23 September 2026
22 වැනි සංශෝධනය ළඟටම ඇවිත්
23 September 2026
පුවත්පතක කර්තෘ වාක්‍යය සැලකෙන්නේ ගාම්භීර ලේඛනයක් හැටියටය. නොඑසේ වී නම් අද මේ තීරුව ආරම්භ කළ යුතුව ඇත්තේ "ආවා! ආවා! පුල පුලා බලා සිටි තීන්දුව ආවා" කියාය. එහෙත් පුවත්පත් කලාවේ ගෞරවය රකිමින් අපි ඒ තැනට ඇද නොවැටෙනු නොකැමැත්තෙමු.
ඊයේ දවස (සැප්තැම්බර් 22 වැනිදා) අපේ රටට විශේෂ දවසක් විය. "ආණ්ඩුවට අවුරුදු දෙකයි" කියා දැන් සති ගණනාවක් තිස්සේ බොහෝ මුදල් වියදම් කර ප්‍රචාරක ව්‍යාපාරයක් ගෙනියන්නේ වුවද ආණ්ඩුවට හැබෑවටම අවුරුදු දෙකක් පිරුණේ ඊයේය. ඉකුත් අවුරුද්දේ සැප්තැම්බරයේදී "ආණ්ඩුවට අවුරුද්දක් පිරුණත් කරපු වැඩක් නැහැ" යැයි විපක්ෂය කියද්දී නම් ආණ්ඩු පාක්ෂිකයන් කියා සිටියේ ආණ්ඩුවට අවුරුද්ද පිරෙන්නේ නොවැම්බරයේ බවය.
ඊයේ වැදගත් වූ දෙවැනි කාරණය වන්නේ ඒ පාස්කු මහ නඩුවේ තීන්දුව දීමට නියමිත දිනය වීම නිසාවෙනි. එහෙත් එය වෙනත් දවසක වෙනම තීරුවකින් ලිවිය යුතු කාරණයකි. එහෙයින් අද අපේ ප්‍රස්තුතය වන්නේ ඊයේ දවසේ සිදුවූ අනෙක් වැදගත් කාරණය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායකවරයා විසින් ප්‍රකාශයට පත්කිරීමය.
කෙසේ වුවද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ගැන දෙගිඩියාවක් සමාජයේ තිබුණේ යැයි කියන්නටද අපහසුය. ඒ විපක්ෂය 22 වැනි සංශෝධනය සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය යැයි තරයේ කියා සිටියද ආණ්ඩුව ඊට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දය සෑහේ යැයි කියා සිටි නිසාද වන්නට ඇත. ආණ්ඩුවේ ඇතැම් ප්‍රකාශවලින්ද ඔවුන් කියන දෑ පිළිබඳ දැඩි විශ්වාසය ප්‍රකාශ කෙරුණේය.
ජනාධිපතිවරයා වරෙක කියා සිටියේ 22 සංශෝධනය ගෙන ඒමට තැබූ පියවර ආපස්සට නොගන්නා බවය. තවත් වරෙක ඔහු කියා සිටියේ ඒ ක්‍රියාත්මක කිරීම සඳහා කවර අවදානමක් වුවද ගන්නා බවය. විපක්ෂය ඒ ප්‍රකාශද විවේචනයට ලක් කළ නමුත් ආණ්ඩුව සිය මතයේ තදින් සිටින වග ඉන් පෙනී ගියේය.
22 වැනි සංශෝධනයට එරෙහිව පෙත්සම් හැට ගණනක් ඉදිරිපත් වුවද ඔවුන් අපේක්ෂිත දෑ ඉෂ්ට නොවන බවට මග සලකුණු මුල පටන්ම පෙනුණේය. ශ්‍රේෂ්ඨාධිකරණය පූර්ණ විනිශ්චය මණ්ඩලයක් මගින් පෙත්සම් විභාග කළ යුතු බවට කෙරුණු ඉල්ලීම් බැහැර කෙරුණේ පංච පුද්ගල විනිශ්චය මණ්ඩලයක් පත් කිරීමෙනි.
ඒ අතරේ ආණ්ඩුව රට පුරා දේශපාලන රැලි මාලාවක් පටන්ගැනීමත් සමග එසේ කරන්නේ අධිකරණය මගින් ජනමත විචාරණයක් පැවැත්විය යුතු යැයි තීන්දු කළහොත් ඊට සූදානම් වීමක් හැටියට යැයිද රටේ මතයක් ඇති විය. එහෙත් කළුතර පැවැති රැලියේදී 22 වැනි සංශෝධනය තුනෙන් දෙකේ වැඩි ඡන්දයෙන් සම්මත කරගන්නා බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශයත් සමග ඒ මතය ආපස්සට හැරුණේය. අධිකරණය විසින් තීන්දුව ප්‍රකාශ කර නොමැති කාරණයක් සම්බන්ධයෙන් රටේ නායකයා මෙසේ ප්‍රකාශ කරන්නේ කෙසේද යන ප්‍රශ්නය මෙහිදී විපක්ෂයෙන් මතු වුවද ජනාධිපතිවරයා එබඳු ප්‍රකාශයක් කළ පළමුවැනි වතාවද එය නොවේ.
මෙතෙක් නෛතික ක්‍රියාමාර්ග මගින් 22 වැනි සංශෝධනයට විරුද්ධව කටයුතු කළ විපක්ෂය දැන් ඒ පළක් නොවූ තැන දේශපාලන ක්‍රියාමාර්ගවල යෙදෙන්නට පටන්ගෙන තිබේ. ඔවුන් ඒ අරඹන්නේ පාර්ලිමේන්තුව අසල විරෝධතා ව්‍යාපාරයක් පවත්වමිණි. එහෙත් පාර්ලිමේන්තුවේ විශාල බලයක් හිමි ආණ්ඩුවට එරෙහිව කරන ඒ විරෝධතා කොතෙක් දුරට සාර්ථක වේදැයි පේන කීමට අපහසුය.
කෙසේ වුවත් 22 වැනි සංශෝධනය කළඑළි දුටුදා පටන් ඒ සම්බන්ධයෙන් වචනයක්වත් කතා කර නැති අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ හැසිරීම ඉදිරියේදී කෙබඳු වනු ඇද්දැයි සිතාගැනීමද අපහසුය. අග්‍රාමාත්‍යවරිය ප්‍රමුඛ ආණ්ඩු පක්ෂ කණ්ඩායමක් ඒ පිළිබඳ ඡන්ද විමසීමේදී ආණ්ඩුවට තුනෙන් දෙකේ වැඩි ඡන්දය ලබාගත නොහෙන අයුරින් කටයුතු කරනු ඇතැයි විපක්ෂයේ විශ්වාසයක් තිබේ. එහෙත් ආණ්ඩුව පැත්තෙන් කියා සිටින්නේ එවැන්නක් සිදු නොවනු ඇති බවය.
22 වැනි සංශෝධනය ඉදිරිපත් වූ අවස්ථාවේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයට අතිරේකව ජාත්‍යන්තර නීති සංවිධාන ගණනාවක් ඊට විරෝධය පෑ බව ප්‍රසිද්ධ කාරණයකි. පාර්ලිමේන්තුව තුනෙන් දෙකේ බලයෙන් ඒ සම්මත කළහොත් ඔවුන් ඊට දක්වන ප්‍රතිචාරය කුමක් වනු ඇද්දැයි බලාගෙන සිටීමද වටී. එහෙත් ආණ්ඩුව සැලකිල්ලට ගත යුතු එකම කාරණය එය නොවේ.
ඒ නූතන ඉතිහාසයේ ආන්දෝලනාත්මක හා අර්බුදකාරී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනවල දීර්ඝ කාලීන ප්‍රතිඵල එතරම් හොඳ පණිවිඩයක්ද නැතිවමය. 2010 දී ජනාධිපති ධුර කාලය දිගු කරගැනීමේ අදහසින් 18 (A) සංශෝධනය ගෙනෙනු ලැබූවද එසේ කරගැනීමට යෝජනාව ගෙනා මහින්ද රාජපක්ෂ 2015 ජනාධිපතිවරණයෙන් පරාජය විය. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අහිමි කළ ජනාධිපති බලතල ලබාගැනීම සඳහා 20 (A) සංශෝධනය ගෙනා ගෝඨාභය රාජපක්ෂට 2022 දී ජනාධිපති ධුරය අතහැර යෑමට සිදුවිය.
22 වැනි සංශෝධනයද එලෙසින් සිය බලතල වැඩිකර ගැනීම සඳහා ගෙනෙන්නක් යැයි ආණ්ඩුවේ විවේචකයෝ කියති. මෙබඳු සංශෝධන ගෙනා ඉකුත් පාලකයන් මෙන්ම වර්තමාන ආණ්ඩුවද කියන්නේ ඒ එසේ නොවන බවය. කාලය විසින් මේ පිළිබඳ තීන්දුව දෙන තුරු බලාසිටීමට සිදුවීම නම් කනගාටුදායකය.

