අරගලකරුවන්ගේ පෙත්සම් හතරක් විභාගයට
01 August 2024 | කේ.එස්.උදයකුමාර
අරගලකරුවන්ගේ පෙත්සම් හතරක් විභාගයට
01 August 2024 | කේ.එස්.උදයකුමාර
අරගලය පැවති සමයේ මිරිහානේ පිහිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික නිවස අසල පැවති විරෝධතාවලදී තමන්ව පොලිසිය විසින් අසාධාරණ ලෙස අත්අඩංගුවට ගැනීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා අරගලකරුවන් පිරිසක් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් විභාගයට ගැනීමට අවසර දුන් ශ්‍රේෂ්ඨාධිකරණය තවත් මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අද 01) තීන්දු කළේය.
දීර්ඝ කරුණු සලකා බැලීමකින් පසුව විජිත් මළල්ගොඩ සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබා දුන්හ.
ශ්‍රේෂ්ඨාධිකරණ රීතීන්ට අනුකූලව විරෝධතා හා ලිඛිත දේශන ඉදිරිපත් කරන්නැයි විභාගයට ගැනීමට අවසර දුන් පෙත්සම්වල වග උත්තරකරුවන් ලෙස නම්කර තිබූ පොලිස්පතිවරයා, පොලිස් විශේෂ කාර්ය බලකාය භාර අණ දෙන නිලධාරියා, එවක නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ,එවක මිරිහාන පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසකට අධිකරණය විසින් නියෝග කරන ලදී.
ඉන් අනතුරුව පෙත්සම් වලට අදාල විභාගය ලබන වසරේ පෙබරවාරි මස 28 වනදා සිදු කරන බවත් විනිසුරු මඩුල්ල නියෝග කලහ.
මෙම පෙත්සම් අද සලකා බැලීම සිදුවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම්කරුවන් සාමකාමී විරෝධතාවක නිරත පිරිසක් නොවන අතර ඔවුන් නීතිවිරෝධී ජනරාශියක සාමාජිකයින් ලෙස කටයුතු කර ඇතැයි චෝදනා කළේය.
ඔවුන් සිය පෙත්සම් තුලින් කරුණු වසන් කර ඇති බවත් අධිකරණය නොමග යවන සුලු තොරතුරු ඉදිරිපත් කර තිබෙන බවත් ඔහු සඳහන් කර සිටියේය.
පොලිස් නිලධාරීන් සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහිව ප්රචන්ඩත්වය දියත් කළ බවට එල්ල කෙරෙන චෝදනා අසත්‍ය යැයි සඳහන් කළ රජයේ නීතිඥවරයා එවැන්නක් සිදු වූ බව තහවුරු කෙරෙන වීඩියෝ සාක්ෂි කිසිවක් අධිකරණයට ඉදිරිපත් කර නොමැති බවත් ප්‍රකාශ කළේය.
මෙහිදී පොලීසිය කදුළු ගෑස් සහ ජලය ප්‍රහාර පමණක් එල්ල කරමින් අවම බලයක් භාවිත කිරීමට කටයුතු කළ බවත් ඔහු කියා සිටියේය.
ඒ අනුව මෙම පෙත්සම් නිෂ්ප්‍රභ කරන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
මෙහිදී විනිසුරු යසන්ත කෝදාගොඩ රජයේ නීතිඥවරයා වෙත ප්‍රශ්නයක් යොමු කරමින් මෙම පෙත්සම්කරුවන් පොලීසිය විසින් අත් අඩංගුවට ගනු ලැබූවේ කවර හේතුවක් නිසා දැයි ප්‍රශ්න කළේය.
කලහකාරී ලෙස හැසිරෙමින් පොලිස් වාහනවලට පහර දීම, අලාභ හානී සිදු කිරීම, ගල් ප්‍රහාර එල්ල කිරීම, ගිනි තැබීම සම්බන්ධයෙන් මෙම පෙත්සම්කරුවන් පිරිස පොලීසිය විසින් අත් අඩංගුවට ගනු ලැබූ බවත් ඊට පිළිතුරු දෙමින් රජයේ නීතිඥවරයා සඳහන් කළේය.
චන්දන සුමිත් ප්‍රියන්ත නමැති පෙත්සම්කරු ගිනි ගනිමින් තිබූ බස් රථයකට ගල් මුල් ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගනු ලැබූ අතර ශනිදු රංගනාත නමැති පෙත්සම්කරු පොලිස් ජීප් රථයකට ගිනි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බවත් ඔහු කියා සිටියේය.
මෙම සිද්ධීන් සියැසින් දුටු පොලිස් සාක්ෂිකරුවන් තුන් දෙනෙකු සිටින බව සඳහන් කළ රජයේ නීතිඥවරයා සාධාරණ සැකයකින් ඔබ්බට සාක්ෂි ඉදිරිපත් වීම හේතුවෙන් මෙම පෙත්සම්කරුවන් අත් අඩංගුවට ගැනීමට පොලීසියට සිදු වූ බවත් ඔහු පැවසුවේය. මෙම සිද්ධියේදී ආරක්ෂක නිළධාරීන් විසින් එක් උණ්ඩයක් හෝ පත්තු නොකළ බවත් ඇතිවූ ප්රචන්ඩ ක්‍රියා වලින් පෙත්සම්කරුවන්ට වඩා වැඩි හානියක් පොලීසියට සිදු වූ බවත් ඔහු සඳහන් කළේය.
පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි තිෂ්‍ය වේරගොඩ සහ තනූක නන්දසිරි යන නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයින් නීතිවිරෝධී ජනරාශියක සාමාජිකයින් ලෙස කටයුතු කළ බවට එල්ල කෙරෙන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව සඳහන් කළහ.
ඔවුන් කිසිදු අවස්ථාවක නීති විරෝධී ජනරාශියක සාමාජිකයින් ලෙස කටයුතු නොකළ අතර ප්රචන්ඩ ආකාරයෙන් කටයුතු නොකළ බවත් ඒ බව තහවුරු කෙරෙන වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කිරීමට වග උත්තරකරුවන් අසමත් වී තිබෙන බවත් එම නීතිඥවරු ප්‍රකාශ කළහ.
තම සේවාදායකයින් බැලූ බැල්මටම අධිකරණය හමුවේ නඩු නිමිත්තක් තහවුරු කිරීමට සමත් වී තිබෙන බවත් ඒ අනුව මෙම පෙත්සම් පිළිබඳව පූර්ණ නඩු විභාගයක් පැවැත්වීමට අවසර දෙන ලෙසත් එම නීතිඥවරු අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියහ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල අනතුරුව මෙම නියෝගය නිකුත් කළහ.