මරණ දඬුවම ක්‍රියාත්මක කරන රටවල මත්ද්‍රව්‍ය අපරාධ අඩුවීමක් හෝ මත්ද්‍රව්‍ය තුරන් වීමක් වෙලා නෑ
24 August 2026 | සංවාදය - නිරෝෂා වාසල
මරණ දඬුවම ක්‍රියාත්මක කරන රටවල මත්ද්‍රව්‍ය අපරාධ අඩුවීමක් හෝ මත්ද්‍රව්‍ය තුරන් වීමක් වෙලා නෑ
24 August 2026 | සංවාදය - නිරෝෂා වාසල
මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාව තුළ නැවැත මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු යැයි" රටම එකට ජාතික මෙහෙයුම් සභාව" පසුගිය දිනයක ජනාධිපතිවරයාට කළ යෝජනාව සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී ඇත. දිනෙන් දින ඉහළ යමින් පවතින බරපතළ මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අපරාධ මැඩ පැවැත්වීම සඳහා අනිවාර්යෙන්ම මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු බව පිරිසක් කියති. එහෙත් ශ්‍රී ලංකාව වැනි රටක මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සදාචාර සම්පන්න නොවන බවට තර්ක කරන පිරිසක්ද සිටිති. ජාත්‍යන්තර සම්මුතින් සහ මානව හිමිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් බැඳී සිටින රටක් වන ශ්‍රී ලංකාව තුළ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට යාමේදී ප්‍රායෝගික ගැටලු ගණනාවක් ඇතිවන බවත්, එය මත්ද්‍රව්‍ය උවදුර පාලනය සඳහා විසඳුමක් නොවන බවත් ජනාධිපති නීතිඥ යූ.ආර්.ද සිල්වා කියයි. මේ ඒ සම්බන්ධයෙන් ඔහු සමග "අරුණ" කළ සාකච්ඡාවකි.
අපේ රටේ මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතුයි කියන කතාබහ නැවැත කරළියට ඇවිත් තියෙනවා. ඒ ගැන ඔබේ අදහස මොකක්ද?
ශ්‍රී ලංකාව තුළ මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතුයි කියන යෝජනාව මින් පෙරත් විවිධ අවස්ථාවල ඉදිරිපත් වුණා. උදාහරණයක් හැටියට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ කාලයේත් මරණ දඬුවම සම්බන්ධයෙන් දැන් ඇතිවෙලා තියෙනවා වගේ කතා බහක් කරළියට ආවා. ඒ අවස්ථාවේ එල්ලා මැරීම සඳහා අවශ්‍ය කඹයකුත් විදේශ රටකින් ලංකාවට ගෙනාවා. අලුගෝසුවෙක් බඳවා ගැනීම සඳහා අවශ්‍ය මූලික කටයුතු පවා සැලසුම් කරමින් එවකට රජය මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න සූදානම් වුණා. නමුත් සූදානම් වූ ආකාරයෙන් මරණ දඬුවම නැවැත මේ රටේ ක්‍රියාත්මක කරන්න පුළුවන්කම ලැබුණේ නැහැ. මොකද ඔය කියන විදියට රටක් තුළ පහසුවෙන් මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න පුළුවන්කමක් නෑ. ඒ සඳහා විවිධ හේතු කාරණා බලපානවා. ඒ නිසා දැන් මරණ දඬුවම සම්බන්ධයෙන් ඉදිරිපත් වෙලා තියෙන අදහස කොහෙත්ම ක්‍රියාවට නංවන්න බැහැ. අනෙක මෙවැනි අදහසක් හිටිහැටියේම කරළියට ආවේ මරණ දඬුවම ක්‍රියාත්මක කරලා මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ වළක්වන්න ඇත්තටම රජයට තියෙන වුවමනාව නිසාද එහෙමත් නැත්නම් වෙනත් වුවමනාවක් නිසාද කියලත් අපිට හිතෙනවා.
වෙනත් වුවමනාවක් යන්නෙන් ඔබ අදහස් කළේ මොකක්ද?
ඇත්තටම මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධකරුවන් සඳහා මරණ දඬුවම ක්‍රියාත්මක කරනවා කියන කතාව යම් පාර්ශ්වයක් සමාජගත කළේ ජනතාවගේ අවධානය වෙන අතකට යොමු කිරීමට හෝ ජනතාව රැවටීමට තිබෙන වුවමනාව නිසා මිස ඇත්තටම එය ක්‍රියාත්මක කිරීමේ වුවමනාවෙන් නොවෙයි කියලා අපිට තේරෙනවා. මොකද ශ්‍රී ලංකාව වැනි රටක මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරන්න බැහැ කියන කාරණාවට ඉතිහාසයෙන් ඕනෑ තරම් උදාහරණ ගන්න පුළුවන්. අනෙක මරණ දඬුවම දීම ලංකාව වැනි රටක සදාචාරයට පවා පටහැනියි කියලා වර්තමානය තුළ වුණත් බොහෝ දෙනෙක් කියනවා. එහෙම තියෙද්දි මරණ දඬුවම ක්‍රියාත්මක කරනවා කියන කතාව ආණ්ඩුව පැත්තෙන් එන්නේ වෙනත් කතාවක් පිළිබඳ ජනතාවට තිබෙන මතකය අමතක කරවීමට හෝ ජනතාවගේ අවධානය වෙනතකට යොමු කිරීමටයි කියලා අපට හිතෙනවා. තවත් විදිහකට කියනවා නම් මිනිසුන්ගේ දැන් තිබෙන මානසික තත්ත්වයට යම් උත්තේජනයක් ලබා දෙමින් ඒ හරහා තමන්ගේ යටි අරමුණු ඉටු කර ගැනීමට ආණ්ඩුව උත්සාහ කරන බවකුයි අපට නම් පේන්නේ.
මොකක්ද ඒ කතාව?
ඉහළ අධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව වැඩි කිරීම පිළිබඳව වන කතාව වහන්න ආණ්ඩු පාර්ශ්වය මරණ දණ්ඩනය වැනි මාතෘකාවක් කරළියට ගෙනාවා. දැන් ජනතාවත් විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව වැඩි කිරීම පිළිබඳ කතාබහ පැත්තකින් තියලා මත්ද්‍රව්‍ය අපරාධ වැළැක්වීම සඳහා එවැනි අපරාධකරුවන්ට මරණ දඬුවම දිය යුතුයි කියලා කියනවා. එකම විනිශ්චයකාරවරයෙකුගේවත් ඉල්ලීමකින් තොරව, අඩුම තරමේ අදාළ පාර්ශ්ව කරුවන් සමග සාකච්ඡාවක්වත් නොකර ජනාධිපතිවරයා හිටිහැටියේම අධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව වැඩි කිරීම පිළිබඳ යෝජනාව කරළියට ගෙනාවා. නමුත් ඒ සඳහා සමාජය තුළින් දැඩි විරෝධයක් එල්ල වුණා. විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව වැඩි කරන්න උත්සාහ කරන්නේ මේ වන විට ගොඩ ගැහිලා තියෙන්නේ නඩු කන්දරාව අඩු කරගන්නයි කියන ව්‍යාජ මතය සමාජගත කරන්න ඒ වෙලාවේ ආණ්ඩුව කටයුතු කළා. අධිකරණ වල ගොඩගැහිලා තියෙන නඩු අඩු කර ගැනීම සහ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව වැඩි කිරීම අතර කිසිම සම්බන්ධයක් නැහැ කියලා අපි ඒ වෙලාවේ දිගින් දිගටම පෙන්වා දුන්නා. නීතිඥ සංගමය ඇතුළු පාර්ශ්ව බොහොමයක් ආණ්ඩුවේ මේ යෝජනාවට විරුද්ධ වුණා. මහ නායක හිමිවරුන් පවා මේ යෝජනාවට විරුද්ධ වුණා. ජනතාව නඩු අඩු කර ගන්න කැමැත්තෙන් ඉන්නවා. ඒ ගැන කිසිම විවාදයක් නැහැ. අධිකරණවල ගොඩගැහිලා තියෙන නඩු අඩුවෙනවනම් අපිත් කැමැතියි. නමුත් විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව වැඩි කළා කියලා ඒ නඩු සම්බන්ධ ගැටලුව විසඳෙන්නේ නෑ. මෙන්න මේ උත්සාහය අසාර්ථකයි කියලා දැනුණු තැන ආණ්ඩුව ජනතාවට ඒ මාතෘකාව අමතක කරවන්න මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ මැඩ පැවැත්වීම සඳහා මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතුයි කියන කතාව සමාජයට ගෙනාවා. මොකද මේ වෙද්දී මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ දිනෙන් දින වැඩිවෙන තත්ත්වයක් තියෙනවනේ. ඒ අපරාධ අඩු වෙනවට ජනතාවත් කැමැතියි. ජනතාවගේ ඒ කැමැත්ත ප්‍රයෝජනයට අරගෙන ආණ්ඩුව තමන්ගේ යටි අරමුණ ඉටුකර ඉටු කරගන්න ශ්‍රී ලංකාව තුළ නැවැත මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතුයි වැනි යෝජනාවක් කරළියට ගෙනාවා කියලයි මට නම් හිතෙන්නේ. කොහොම වුණත් නැවැත ලංකාව තුළ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ප්‍රායෝගිකව කරන්න පුළුවන් දෙයක් නොවෙයි.
නැවැත අපේ රටේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ප්‍රායෝගික නැහැ කියලා කියන්නේ ඇයි ?
ශ්‍රී ලංකාව කියන්නේ තනි රටක් නොවෙයි. අරාබි රටවල වගේ හිතුව මනාපයට අතපය කපලා දාන බෙල්ල කපන තීන්දු තීරණ ගන්න ලංකාවට පුළුවන්කමක් නෑ. ලෝකයේ විවිධ රටවල් සමග ශ්‍රී ලංකාව විවිධ කාරණාවලට ගිවිසුම් අත්සන් කරලා තියෙනවා. මරණ දඬුවම ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් 2019 වර්ෂයේදී රටවල් එකසිය තිහක් සමග ශ්‍රී ලංකාවත් ගිවිසුමකට අත්සන් කළා. ඒ එකඟත්වයට පටහැනිව කටයුතු කළොත් තවත් අනවශ්‍ය ගැටලු ගණනාවක් ඇතිවෙන්න පුළුවන්. උදාහරණයක් හැටියට ශ්‍රී ලංකාව මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න තීරණය කළා කියලා හිතමුකෝ. මරණ දඬුවම ක්‍රියාත්මක නොකළ යුතුයි යනුවෙන් අත්සන් කළ ගිවිසුමට සම්බන්ධ වූ අනෙක් රටවල් ශ්‍රී ලංකාවට ආධාර දෙන රටවල්වලට ඒ බව දැනුම් දෙනවා. මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නේ නැහැ කියලා ගිවිසුම් ගත වෙලා හිටිය ලංකාව ඒ විශ්වාසය කඩ කළා කියලා දැනගත්තාම ලෝකයේ අනෙක් රටවල්වලටත් ලංකාව සම්බන්ධයෙන් විශ්වාසය නැති වෙනවා. එහෙම වුණොත් ආධාර කරන රටවල් පවා නැවැත ලංකාවට ආධාර නොකර වුණත් ඉන්න ඉඩ තියෙනවා. ඒ විදිහට ලංකාවට එන විදේශ ආධාර ටිකත් නැති වුණාම තවත් ප්‍රශ්න ගණනාවක් ඇතිවෙනවා. අනෙක මානව හිමිකම් ආරක්ෂා කිරීමටත් ශ්‍රී ලංකාව බැඳිලා ඉන්නවා. කෙනෙකුගේ ජීවිතය නැති කිරීමෙන් මානව අයිතිවාසිකම් කඩ කිරීමකුත් වෙනවා.
ශ්‍රී ලංකාව වැනි රටක මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සදාචාරාත්මක නැහැ කියලත් පිරිසක් කියනවා නේද?
අවුරුදු පනහක් තිස්සේම අපේ රටේ මරණ දඬුවම ක්‍රියාත්මක වුණේ නැහැ. වරදකරුවෙක්ට වුණත් දඬුවමක් හැටියට මරණය අත්කර දීලා තෘප්තිමත් වෙන්න පුළුවන්කමක් දියුණු ජාතියක් වන අපිට නැහැ. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම තුළින් සදාචාරාත්මක ගැටලුවකුත් ඇතිවෙනවා කියන කතාවෙත් ඇත්තක් තියෙනවා.
ලෝකයේ දියුණු යැයි පිළිගන්නා ඇතැම් රටවල් පවා මරණ දඬුවම ක්‍රියාත්මක කරනවානේ?
දැනට ලෝකයේ රටවල් දා හතක් පමණ මරණ දඬුවම ක්‍රියාත්මක කරනවා. එයිනුත් රටවල් පහක් මරණ දඬුවම් කරන්නේ මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධකරුවන් සඳහා පමණයි. මරණීය දණ්ඩනය ක්‍රියාත්මක වුණා කියලා ඒ රටවල මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධවල අඩුවක් වී ඇති බවක් හෝ සමාජයෙන් මත්ද්‍රව්‍ය තුරන් වීමක් වූ බවක් සංඛ්‍යා ලේඛන වලින් පෙන්නුම් කරන්නේ නැහැ. ඒ නිසා ලෝකයේ අනෙක් රටවල් මරණ දඬුවම ක්‍රියාත්මක කරන නිසා අපිත් එවැනි තීන්දුවක් ගත යුතුයි කියලා හිතන එකෙනුත් තේරුමක් නැහැ. මොකද ඔය මරණ දඬුවම ක්‍රියාත්මක කරන රටවල් වල වුණත් කියන තරම්ම මත්ද්‍රව්‍ය අපරාධ අඩුවීමක් හෝ මත්ද්‍රව්‍ය තුරන් වීමක් වෙලා නෑ.
මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ සාර්ථකව මැඩපැවැත්වීම සඳහා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම හැර වෙනත් විකල්ප තියෙනවාද?
මරණ දඬුවම ක්‍රියාත්මක කරන රටවල් වල පවා තවම මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ අඩු වෙලා නැහැ කියන්නේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමෙන් ප්‍රතිලාභයක් ලැබිලා නැහැ කියන එකනේ. ඒ නිසා කළ යුතුව තියෙන්නේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම නොවෙයි. ප්‍රශ්නය ඇති වීමට හේතුව හොයලා ඊට පිළියම් කිරීමයි කළ යුත්තේ. මත්ද්‍රව්‍ය රටට ගෙන ඒම වැළැක්වීම සඳහා රජය ක්‍රියාකාරීව මැදිහත් නොවීමයි මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ ඉහළ යාමට ප්‍රධානම හේතුව. මෙහිදී රේගුවට විශාල කාර්යභාරයක් කරන්න තියෙනවා. ඇතැම් පාර්ශ්ව විවිධාකාරයේ උපක්‍රම පාවිච්චි කරලා රේගුව හරහා කන්ටේනර් පිටින් මත්ද්‍රව්‍ය ලංකාවට ගේනවා. සියලුම කන්ටේනර් පරීක්ෂාවට භාජනය කරන්න බෑ කියලා නිලධාරීන් කියනවා. ඒක හරි විහිළු කතාවක්. එහෙම කියන්න නම් රේගු නිලධාරීන් ඉන්නේ මොකටද? ඒ නිලධාරීන්ගේ ගැටලු සහ අදාළ පරීක්ෂා කිරීම් කරන්න අවශ්‍ය උපකරණ හිඟයට විසඳුම් නොදී මරණ දඬුවම ක්‍රියාත්මක කරලා ප්‍රයෝජනයක් නැහැ. අඩුම තරමේ රේගුවෙන් මත්ද්‍රව්‍ය ලංකාවට යන එක අවම කර ගන්නවත් කටයුතු කරන්නේ නැතුව මරණ දණ්ඩනය දුන්නට ප්‍රයෝජනයක් නෑ. මොකද රටට මත්ද්‍රව්‍ය බහුලවම ගලාගෙන එන්නේ රේගුවෙන්. ඊළඟට මුහුදු මාර්ගයෙන්. අපේ නාවික හමුදාව ඉතාම සූක්ෂමව මේ වැටලීම් කරනවා. නමුත් අදාළ උපකරණවල හිඟය සහ උපකරණ යල් පැන ගිය තත්ත්වයට පත්වීම විශාල ගැටලුවක්. සමහර වෙලාවට මේ ආකාරයේ යම් යම් අඩුපාඩු නිසා මත්ද්‍රව්‍ය ලංකාවට ගෙන එන මහා පරිමාණයේ නෞකා නාවික හමුදාවටත් මගහැරෙනවා. රජය විසින් මේ ගැටලුවලට ප්‍රතිකර්ම වහාම ලබාදිය යුතුයි.
ඒ වගේම ගුවනිනුත් යම් ප්‍රමාණයක් අපේ රටට මත්ද්‍රව්‍ය යනවා. යම් යම් අවස්ථාවල විවිධ පුද්ගලයින් මත්ද්‍රව්‍ය සඟවාගෙන ලංකාවට පැමිණෙන අවස්ථා අපිටත් වාර්තා වෙනවා. මෙවැනි දේවල් නිරන්තරයෙන් අදාළ නිලධාරීන් පරීක්ෂාවෙන් සිටිය යුතුයි. අවශ්‍ය පරීක්ෂා කිරීම් කටයුතු නවීන තාක්ෂණයත් යොදාගෙන නිසි පරිදි කළොත් ගුවනින් මත්ද්‍රව්‍ය ලංකාවට ගෙන ඒම සම්පූර්ණයෙන්ම නවත්වන්න පුළුවන්.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නිසාත් අපරාධ විශාල සංඛ්‍යාවක් වෙනවා නේද?
ඔව්. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයන්ව තමන්ගේ ග්‍රහණයට ගන්නවා. ඔවුන්ට තව තවත් මත්ද්‍රව්‍ය දීලා ඒ පුද්ගලයන්ව මත්ද්‍රව්‍ය අලෙවි කරන පුද්ගලයන් බවට පත්කරනවා. මේ ක්‍රියාදාමය නතර කිරීමටත් රජය මැදිහත් විය යුතුයි. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පුද්ගලයින් ළඟ තිබී හමුවූ ප්‍රමාණයටත් වඩා මත්ද්‍රව්‍ය තිබුණා කියලා බොරු සංඛ්‍යා ඉදිරිපත් කරලා ඒ පුද්ගලයන්ව බන්ධනාගාර ගතකිරීමට අවශ්‍ය කටයුතු නොවෙයි පොලිස් නිලධාරීන් කළ යුතුව තියෙන්නේ. අදාළ ක්‍රියාදාමය කඩිනම් කරලා මත්ද්‍රව්‍යවලට පුනරුත්ථාපනයට යොමු කිරීමයි කළ යුත්තේ. මේ වගේ කරන්න දේවල් බොහොමයක් ඉතිරිව තියෙද්දි මරණ දඬුවම දීම වැනි ප්‍රායෝගික නොවන යෝජනා ගෙන ඒම ඇත්තටම වෙන්නේ ආණ්ඩුවේ වුමනාවට මිස ජනතාවගේ වුවමනාවට නොවෙයි.

