brand logo
logo
ප්‍රතිවාදී ගෝල රකින්නාගේ වැරැද්දෙන් අවාසනාවන්ත ලෙස දිවියට සමුදුන් ජේසුස් ද මිගෙල්

ප්‍රතිවාදී ගෝල රකින්නාගේ වැරැද්දෙන් අවාසනාවන්ත ලෙස දිවියට සමුදුන් ජේසුස් ද මිගෙල්

03 November 2026

ස්පාඤ්ඤ දෙවන පෙළ පාපන්දු ලීගයේ පැවති තරගයක් අතරතුරදී ක්‍රීඩකයින් දෙදෙනෙකු අතර සිදු වූ ගැටීමකින් සිදු වූ බරපතළ තුවාල හේතුවෙන් Tenerife කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩක ජේසුස් ද මිගෙල් (Jesús de Miguel) අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

මියයන විට ඔහුගේ වයස අවුරුදු 30 කි.

ඊයේ ( 02) FC Andorra කණ්ඩායමට එරෙහිව පැවති මෙම තරගය අවසන් වීමට ආසන්න වන විට ලකුණු 2ට-2ක් ලෙස සම තත්ත්වයේ පැවති අවස්ථාවේ දී මෙම ඛේදනීය අනතුර සිදුව තිබුණි.

Tenerife කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩක ජේසුස් ද මිගෙල් තමන් වෙතට යොමු වූ පන්දුව රැකගනිමින් ගෝලයක් ලබා ගැනීම සඳහා පන්දුවට පහරදීමට සූදානම් වනවාත් සමඟම, FC Andorra ගෝල රකින්නා වන ජේසුස් ඔවෝනෝ සිය ගෝල කළාපයෙන් බොහෝ දුරක් ඉදිරියට පැන නීති විරෝධී ලෙස පන්දුව රැකීමට උත්සහා කළේය.

එහිදී ඔහුගේ දනහිස් සහ ඔලුව ජේසුස් ද මිගෙල්ගේ පපුව ප්‍රදේශයේ වේගයෙන් වදින අනතර එක් එක්ම ජේසුස් ද මිගෙල් ඇද වැටෙන ආකාරය දක්නට ලැබේ.

එත් සමඟම හදිසි ප්‍රතිකාර කරන සෞඛ්‍ය සේවකයින් විසින් ජේසුස් ද මිගෙල්ව රෝහල්ගත කළත් පපු ප්‍රදේශයට අභ්‍යන්තරව සිදුව ඇති දරුණු තුවාල හේතුවෙන් අද (03) උදෑසන ඔහු මියගොස් ඇත.

මෙම අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් ප්‍රධාන පෙළේ පාපන්දු ක්‍රීඩකයින් මෙන්ම ක්‍රීඩා සමාජ රැසක් සිය ශෝකය ප්‍රකාශ කර තිබුණි.

මෙම අවාසනාවන්ත සිදුවීම හේතුවෙන් ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනය විසින් අද දින පැවැත්වීමට නියමිතව තිබූ කොපා ඩෙල් රේ (Copa del Rey) සහ කොපා ඩෙල් රෙයිනා (Copa de la Reina) තරගාවලිවල සියලුම තරග කල් දැමීමට පියවර ගෙන ඇත.

ගෝල රැස්කිරීමේ අපූරු හැකියාවක් තිබූ ජේසුස් ද මිගෙල්ගේ පාපන්දු දිවිය


මැඩ්රිඩ් නගරයේ උපත ලැබූ ජේසුස් ද මිගෙල් තම පාපන්දු දිවිය ආරම්භ කළේ 2015 වසරේදී 'ලෙගානෙස්' (Leganes) කණ්ඩායම හරහාය. එතැන් සිට ඔහු ස්පාඤ්ඤයේ විවිධ පාපන්දු කණ්ඩායම් අටක් නියෝජනය කරමින් සිය දස්කම් පෙන්වීය.

2023 වසරේදී Castellon කණ්ඩායමට එක් වූ ඔහු, ගෝල 16ක් ලබා ගනිමින් එම කණ්ඩායම ස්පාඤ්ඤයේ දෙවන පෙළට ඔසවා තැබීමට ප්‍රධාන දායකත්වයක් ලබා දුන් ක්‍රීඩකයෙකි.

2025 වසරේදී වසර තුනක ගිවිසුමක් යටතේ Tenerife කණ්ඩායම සමඟ එක් වූ ද මිගෙල්, එහිදී තරග 29කට මුහුණ දෙමින් ගෝල 11ක් වාර්තා කිරීමට සමත්ව ඇත.

ස්පාඤ්ඤ පාපන්දු පිටියේ ලස්සන මතක රැසක් ඉතිරි කරමින් සමුගත් මිගෙල් මියයන විට වසරක් වයසැති කුඩා දියණියකගේ පියෙකි.

ඔහු ක්‍රීඩකයෙකු ලෙස මෙන්ම ආදරණීය පියෙකු ලෙසද කාගේත් මතකයේ රැඳෙනු ඇත.

 

More News..