ඕමානය ආසන්න මුහුදේ නෞකා තුනකට ප්‍රහාර
11 June 2026
ඕමානය ආසන්න මුහුදේ නෞකා තුනකට ප්‍රහාර
11 June 2026
ඕමානය ආසන්න මුහුදු කලාපයේ පසුගිය දින කිහිපය තුළ වාණිජ නෞකා තුනක් ඉලක්ක කර ප්‍රහාර එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉන් ආසන්නම සිදූවීම අද (11) වාර්තා වූ අතර ඒ අනුව, ඕමානයට ආසන්න මුහුදු ප්‍රදේශයේදී ඉන්දීය නාවිකයන් රැගත් ඉන්ධන ප්‍රවාහන නෞකාවකට ප්‍රහාරයක් එල්ල විය.
නෞකාවේ ඉන්දීය නාවිකයින් 20 දෙනෙකු පමණ සිට ඇති බව වාර්තා වන අතර, ප්‍රහාරයෙන් අනතුරුව එහි එන්ජින් කාමරය සහ දුම් නළ ප්‍රදේශයේ විශාල ගින්නක් හටගෙන ඇති බව සඳහන් වේ.
කෙසේ වෙතත්, කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ තත්ත්වය සම්බන්ධයෙන් මෙතෙක් නිල තොරතුරු නිකුත් වී නොමැත.
මෙය මෙම සතිය තුළ ඕමානය ආශ්‍රිත මුහුදු කලාපයේ ප්‍රහාරයට ලක් වූ තුන්වන වාණිජ නෞකාව ලෙස සැලකේ.
මේ අතර, පසුගිය බදාදා ඕමාන් බොක්කේදී අමෙරිකානු හමුදා විසින් ප්‍රහාරයට ලක් කළ MT Settebello තෙල් නෞකාවේ සිට අතුරුදන්ව සිටි ඉන්දීය නාවිකයින් තිදෙනාම මියගොස් ඇති බව ඉන්දීය බලධාරීන් තහවුරු කර තිබේ.
පලාවු ධජය යටතේ ලියාපදිංචි එම නෞකාව අමෙරිකානු හමුදා උපදෙස්වලට අනුකූල නොවූ බවට චෝදනා කරමින් ප්‍රහාරයට ලක්කර තිබූ අතර, එහි සිටි ඉන්දීය ජාතික නාවිකයින් 24 දෙනාගෙන් 21 දෙනෙකු බේරා ගැනීමට හැකිව තිබුණි.
ඉන්දීය නාවික හා වරාය කටයුතු අමාත්‍ය සර්බානන්ද සෝනොවාල් මහතා ප්‍රකාශ කර ඇත්තේ අතුරුදන්ව සිටි නාවිකයින් තිදෙනාගේ මළ සිරුරු මේ වනවිට සොයාගෙන ඇති බවය.
සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය රජය දැඩි විරෝධය පළ කර ඇති අතර, නවදිල්ලියේ පිහිටි ඇමරිකානු දූත මණ්ඩලයේ නියෝජ්‍ය ප්‍රධානියා කැඳවා නිල විරෝධය ද පළ කර තිබේ.
අමෙරිකානු මධ්‍යම විධානය සඳහන් කළේ, MT Settebello නෞකාව ඉරානයෙන් තෙල් ප්‍රවාහනය කරමින් ඇමරිකානු නාවික අවහිර කිරීමේ ක්‍රියාමාර්ග උල්ලංඝනය කිරීමට උත්සාහ කළ බවත්, ලබාදුන් උපදෙස් නොතකා හැරීම හේතුවෙන් නෞකාවේ එන්ජින් කාමරය ඉලක්ක කර නිරවද්‍ය ප්‍රහාරයක් එල්ල කළ බවත්ය.
මීට පෙර ජූනි 8 වැනිදා පලාවු ධජය යටතේ ලියාපදිංචි The Marivex නෞකාව ද ඕමාන් බොක්කේදී ප්‍රහාරයකට ලක්වූ අතර, එහි සිටි ඉන්දීය නාවිකයින් 24 දෙනාම ඕමාන හමුදාව විසින් ආරක්ෂිතව බේරාගෙන තිබුණි.
කලාපයේ උණුසුම් වෙමින් පවතින ආරක්ෂක තත්ත්වය හේතුවෙන් ඕමානය හා හෝර්මුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිත වාණිජ නාවික ගමනාගමනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර අවධානය දැඩිව යොමුව තිබේ.

