brand logo
logo
විපක්ෂය සුන්බුන්ද?

විපක්ෂය සුන්බුන්ද?

14 October 2026

සමගි ජන බලවේගයේ නියෝජ්‍ය ලේකම් අශෝක් අබේසිංහ සිය පක්ෂයෙන්ද, තමා එහි ඉසිලූ සියලු තනතුරුවලින්ද ඉල්ලා අස්වී තිබේ. ඔහු ඉල්ලා අස්වී ඇත්තේ සජබෙ වර්තමාන වැඩපිළිවෙළට විරුද්ධත්වය ප්‍රකාශ කරමිනි. පක්ෂය දැන් කටයුතු කරන ආකාරයට ඊට කවදාවත් ආණ්ඩු බලය ලබාගැනීමට පුළුවන් වේදැයි සැකසහිත බව ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපියේ වැඩිදුරටත් සඳහන්ය.


අශෝක් අබේසිංහ මෙහිදී හෙළිදරව් කර ඇත්තේ රට නොදන්නා රහසක් නොවේ. ආණ්ඩුව විසින් විපක්ෂයට සුන්බුන් විපක්ෂය යන නම පටබැඳ ඇත්තේ නිකමට නොවේ. සුන්බුන් යනු වැඩකට ගත නොහැකිව ඉවත දමන භාණ්ඩවලට කියන නමයි.


විපක්ෂය ඉතා දුර්වලව තිබූ 1983 - 89 කාලයේ පාර්ලිමේන්තු විපක්ෂයේ මන්ත්‍රිවරුන් දහයකට දොළහකට වඩා සිටියේ නැත. ඒ විපක්ෂයේ ප්‍රධාන කණ්ඩායම වූ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ (TULF) 1983න් පසු පාර්ලිමේන්තුවේ නොසිටි බැවිනි. විපක්ෂ නායක තනතුර දැරූ අනුර බණ්ඩාරනායකටද ආණ්ඩුව සමග ඩීල් දේශපාලනයක යෙදෙන්නේ යැයි ප්‍රසිද්ධ චෝදනාවක් තිබුණේය.


එදා ඒ විපක්ෂයට පසු අපේ රටේ පාර්ලිමේන්තුවේ සිටින දුර්වලම විපක්ෂය වර්තමාන විපක්ෂය යැයි කියා සිටිතොත් රටේ වැඩිදෙනා ඊට එකඟ වනු ඇත. විපක්ෂය එදවස පාර්ලිමේන්තුව ඇතුළේ පිරිස් බලයෙන් දුර්වල වුවද මහජනතාව අතරේ පිරිහී සිටියේ නැත. 1983 දී ආණ්ඩුව පැවැත්වූ අතුරු මැතිවරණ 18න් මහරගම, මතුගම, අක්මීමන හා බද්දේගම දිනාගැනීමට විපක්ෂයට හැකිවූ අතර මහර ආසනයේදී ආණ්ඩුව එය දිනාගත් ආකාරය ගැන සැකසංකා තිබුණේය.


එහෙත් වර්තමාන විපක්ෂයට පාර්ලිමේන්තුවේ එබඳු පිරිස්බල හිඟයක් නැත. විපක්ෂයේ සියලුදෙනා ගණන් ගත් කල මන්ත්‍රිවරුන් හැටහයක් සිටින බැවිනි. එහෙත් පාර්ලිමේන්තුව ඇතුළේ මතු නොව ඉන් පිටතත් විපක්ෂය සිටින්නේ ආණ්ඩු පක්ෂයට පසුපසිනි.


එනමුදු ආණ්ඩුව යැපෙන්නේ සිය ශූර ප්‍රචාරණය තුළින් පවත්වාගෙන යන කීර්තිනාමය තුළින් බව විපක්ෂය නොදන්නවා නොවේ. බස් නැවතුම්පොළක් ප්‍රතිසංස්කරණය කිරීම, වතුර පයිප්පයක් සවිකිරීම හා බිම් මහල ඉදිකර තිබූ ගොඩනැගිල්ලක ඊළඟ මහලේ ඉදිකිරීම් ඇරඹීම වැනි සිල්ලර වැඩවලට පවා ඔවුන් විශාල ප්‍රසිද්ධියක් ලබාදෙන්නේ එබැවිනි. එහෙත් ආණ්ඩුව මවා පෙන්වන්නේ ක්ෂේම භූමියක් නොව මිරිඟුවක් යැයි මහජනතාවට පෙන්වා දෙන්නට විපක්ෂය කරදර වෙන්නේ නැත.


ඊයේ දවසේ අප මේ තීරුවෙන් පෙන්වා දුන්නේ හොරු ඇල්ලීම පිළිබඳව ආණ්ඩුව කරන ව්‍යාජ රංගනය ගැනයි. ඉකුත් ආණ්ඩු කරවූවන් කළ වංචා, දූෂණවලට විරුද්ධව නඩු පැවරීම නොහොත් හොරු ඇල්ලීම ගැන ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ නායකයෝ මහ ඉහළින් වර්ණනා කරති. එහෙත් දැන් අත්අඩංගුවට ගැනෙන්නේ යහපාලන ආණ්ඩු කාලයේදී පැවරූ නඩුවලට බව පාර්ලිමේන්තුවේදී කියා සිටීමෙන් බළලා මල්ලෙන් පැන්නේය.


එහෙත් ඒ බව රටට පෙන්වාදී ආණ්ඩුවේ රඟපෑම හෙළිදරව් කිරීමට විපක්ෂය කරදර වන බවක් පෙනෙන්නේ නැත. යුද්ධය ඇරඹී තිබියදීත් උහුතමන් අත ඇති කඩුව ඔසවන බවක් නොපෙනෙයි. සජබ නායකයන් ආණ්ඩුව සමග යටින් ගනුදෙනු කරන්නේ යැයි චෝදනා නැගෙන්නේ මේ නිසාය.


සජබෙ තමන්ගේ මුල් පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය සමග එක්වීමට දක්වන උදාසීනභාවයද ඉතා ප්‍රශ්නකාරීය. පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස හා රනිල් වික්‍රමසිංහ යන දෙදෙනා එක් කඳවුරක සිටියේ නම් අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණයෙන් එය කෙළවර නොවන බව දැන දැනත් ඉදිරියේදීවත් ඒ තත්ත්වය වෙනස් කරගැනීමට ඔවුන් කරදර වන්නේ නැත. සජබෙ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග සන්ධානයකට යෑමට උනන්දු නොවීම තේරුම් ගත හැකි වුවත් එජාපය සමග එක්වීම අතපසු කරමින් සිටින්නේ මන්දැයි කාටවත් පැහැදිලි කරන්නට බැරිය. ⁣


ආණ්ඩුව අත්අඩංගුවට ගන්නේ තමන්ගේ දේශපාලනයට තර්ජනයක් යැයි කල්පනා කරන විපක්ෂ නායකයන් යැයි විපක්ෂය කියා සිටී. ඒ නිසා ආණ්ඩුවේ "හොඳ ළමයින්ගේ" ලැයිස්තුවට වැටීමට දරන උත්සාහය ඇතැම් විට විපක්ෂයේ උදාසීනත්වයට හේතු වශයෙන් සමහරු දක්වති.


මීට පෙර ආණ්ඩු සමයන්හිදීද තමන්ගේ කිල්ලෝටේ හුනු තිබූ විපක්ෂ මන්ත්‍රිවරුන් ආණ්ඩුවට හේත්තු වීම කාටවත් අමතක නැත. අද විපක්ෂයද කරන්නේ එය නම් එය බරපතළ වැරැද්දකි. ආණ්ඩුව පිළිබඳ අප්‍රසාදයක් ඇති මිනිසුන්ගේ හඬ ඒකරාශි කරගැනීමට උනන්දුවක් නැත්නම් ඊට රටේ විපක්ෂය යැයි කියන්නට බැරිය.

 

More News..