brand logo
logo
රෝගී සුරක්ෂිතතා දින සැමරුම කොළඹ තරු හෝටලයක

රෝගී සුරක්ෂිතතා දින සැමරුම කොළඹ තරු හෝටලයක

15 September 2025 | සාලිය කුමාර ගුණසේකර

ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ලබාදෙන ප්‍රදානයක් භාවිත කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය රුපියල් ලක්ෂ 12කට අධික මුදලක් වැයකර කොළඹ තරු පහේ හෝටලයක ‘ලෝක රෝගී සුරක්ෂිතතා දිනය - 2025 ජාතික සැමරුම් උළෙල’ මෙම මස 17 වැනිදා පැවැත්වීමට සැලසුම් කර ඇත.


රජයේ නිලධාරීන් වෙනුවෙන් පමණක් හෝටල්වල වැඩසටහන් සංවිධානය නොකළ යුතු බවට චක්‍රලේඛයක් නිකුත් කර තිබියදී පැය 4ක් වැනි කාලයක් පැවැත්වෙන මෙම සැමරුම් උළෙල සඳහා කොළඹ තරු පහේ හෝටලයකට රුපියල් දොළොස් ලක්ෂ දාසයදහස් දෙසිය පනහක (1,216,250) මුදලක් වැය කෙරේ.


ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිතවරිය, රෝහල් අධ්‍යක්ෂවරු, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, නිලධාරීන් ඇතුළු 175 දෙනකුගේ සහභාගිත්වයෙන් මෙම සැමරුම් උළෙල පැවැත්වීමට සැලසුම් කර ඇත. මෙම උත්සවය පැවැත්වීමට අදාළව ප්‍රසම්පාදන කමිටුවේ අනුමැතිය ඉල්ලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා 1) විසින් අතිරේක ලේකම් (ප්‍රසම්පාදන) වෙත යොමු කරන ලද ලිපියේ කිසිදු තැනක මෙම උත්සවයට සෞඛ්‍ය ඇමැතිවරයා හෝ නියෝජ්‍ය ඇමැතිවරයා සහභාගිවෙන බවට සඳහනක් නැත. මේ අතර ජනාධිපතිවරයා හෝ ඇමැතිවරයා සහභාගි වන්නේ නම් හෝටල්වල රාජ්‍ය නිලධාරීන් සඳහා වැඩසටහන් සංවිධානය කිරීම චක්‍රලේඛ උල්ලංඝනය කිරීමක් නොවන බවද පැවැසේ. මෙම සැමරුම් උළෙල පැවැත්වීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඇස්තමේන්තු ගත කර තිබෙන මුදල රුපියල් දාහත් ලක්ෂ අනූහයදහස් හත්සිය පනස් අටයි ශත පනස් හතකි(1,796,758.57). සෞඛ්‍ය ලේකම්වරයාගේ අනුමැතිය යටතේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව ඇතුළු ආයතන හතකින් මෙම උත්සවය පැවැත්වීමට අදාළව මිල ගණන් කැඳවා ඇත.


ඒ අනුව මෙම සැමරුම් උළෙල සඳහා සහභාගි වන එක් අයකුට රුපියල් හත්දහසක (7,000)ක පමණ මුදලක් වැය කිරීමට ද නියමිතය.

 

More News..