අඩිය අඟලට ගෙවෙනකම් ජීවිතය හොයාගෙන ඇවිද්දා
05 August 2025 | ක්‍රිෂාන්ත පුෂ්පකුමාර
අඩිය අඟලට ගෙවෙනකම් ජීවිතය හොයාගෙන ඇවිද්දා
05 August 2025 | ක්‍රිෂාන්ත පුෂ්පකුමාර
තිස්වන සුමති සම්මාන උළෙලේදී හොඳම ප්‍රවෘත්ති නිවේදකයා ලෙස සම්මානය ලබන්නේ කඩවසම් තරුණයෙක්. සමහරු ඔහුගෙන් අහනවලු ඇයි රඟපාන්නේ නැතුව ප්‍රවෘත්ති කියන්නේ කියලා. ඒ තරමටම ඔහු රූපවාහිනී තිරය මත ආකර්ෂණීය චරිතයක්. මෙවර හොඳම ප්‍රවෘත්ති නිවේදකයා වූ භානුකගෙන් මුලින්ම ඇහුවේ ඇයි නළුවෙක් නොවී ප්‍රවෘත්ති නිවේදකයෙක් වුණේ කියලා.
‘‘ප්‍රවෘත්ති නිිවේදකයෙක් වෙන්නෙත් අහම්බෙන්ම තමයි. මුල්ම කාලේ මම හිතාගෙන උන්නේ හමුදා කාරයෙක් වෙන්න. ඊට පස්සේ නර්තන ශිල්පියෙක් වෙන්න හිතුවා. ජීවිතේ අරගත්තු හිතුවක්කාර තීරණවල අවසාන ප්‍රතිඵලය තමා ප්‍රවෘත්ති නිවේදකයෙක් වීම. ඇත්තටම සමහරු අහනවා උඹ නළුවෙක් වෙන්නේ නැත්තේ ඇයි කියලා. සමහර අධ්‍යක්ෂවරු රඟපාන්නත් කතා කරනවා. හැබැයි මම ප්‍රවෘත්ති නිවේදකයෙක් වෙන්න තමයි වැඩියෙන්ම කැමැති. මොකද ප්‍රවෘත්ති නිවේදකයෙක්ව ගොඩක් අය විශ්වාස කරනවා. අපේ දෙරණේ කියන්නෙත් විශ්වසනීය ප්‍රවෘත්ති විකාශනය කියලා. ඉතින් නළුෙවකුට වඩා විශ්වසනීය කෙනෙක් වෙන්න කැමැතියි.’’
හොඳම ප්‍රවෘත්ති නිවේදකයා ලෙස සම්මාන හිමිකර ගැනීමත් ලෙහසෙි පහසු කටයුත්තක් නෙමෙයි. මොකද අවස්ථා කීපයක් භානුක මේ සම්මානයට නිර්දේශ වුණත් ජයග්‍රහණය ලැබෙන්නේ මේ අවුරුද්දේ.
‘‘2022, 23 සහ 24 වර්ෂවලදී මම හොඳම ප්‍රවෘත්ති නිවේදකයා ලෙස නිර්දේශ වෙනවා. ප්‍රථම වතාවේ තුන්වැනි ස්ථානය, දෙවැනි අවස්ථාවේ දෙවැනි ස්ථානයත්, මෙම අවස්ථාවේ ප්‍රථම ස්ථානයත් ලැබෙනවා. මේ නිසා තුන්වරක්ම චකිතයෙන් ඉඳලා තමා මේ සම්මානය ලබාගත්තේ. F.M. දෙරණ ප්‍රවෘත්ති අංශයෛ් සහ T.V. දෙරණ ප්‍රවෘත්ති අංශයේ හැමෝවම ආදරයෙන් සිහිපත් කරනවා. මොකද දෙරණ කියන නම නිසා තමයි මට මේ හැමදෙයක්ම ලැබෙන්නේ.’’
අද හොඳම ප්‍රවෘත්ති නිවේදකයා ලෙස සම්මානය ලබාගත්තත් මේ ගමන ආරම්භයේ ඉඳන්ම තියෙන්නේ විශාල දුකක්. එහෙමත් නැත්නම් අභියෝගාත්මක ගමනක්. රෝස මල් යහනාවක්වත් නොදැකපු භානුකට ජීවිතේ අත්විඳින්න වුණේ බොෙහා් කටුක අත්දැකීම් සමුදායක්. ආදරණීය තාත්තගේ ඡායාව පමණක් හිතේ තියාගෙන ආපු මේ ගමනේ ලොකු කතාවක් කියන්න භානුක හැඟීම්බරව හරිබරි ගැහිලා ඉඳගත්තා.
‘‘මගේ තාත්තගෙන්ම මේ කතාව පටන් ගන්නම්. ඔහු තමා මගේ වීරයා. තාත්තගේ උණුසුමට තුරුල් වෙලා ඉන්න ලොකු කාලයක් නොලැබුණත් අම්මා තාත්තා ගැන කියූ කතා අහලා තාත්තගේ ඡායාව මවාගන්න මම හැමවෙලේම උත්සාහ කළා. ඇත්තම කිව්වොත් මම හැබැහින් තාත්තව දැකපු මතකයක් නැහැ. මගේ තාත්තා සහකාර පොලිස් අධිකාරී රේණුක කරුණාරත්න. මට අවුරුද්දක් විතර වෙනකොට තාත්තා නැතිවෙනවා. රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ගේ ගොඩට මගේ තාත්තගේ නමත් එකතු වෙනවා. එදා ඉඳන් මගේ අම්මා තමයි අපිව ජීවත් කරවන්නේ. මගේ අයියා මගේ ආරක්ෂකයා බවට පත්වෙනවා. හැමදෙයක්ම ආරම්භ වෙන්නේ කොළඹ නාලන්දා විද්‍යාලයෙන්. මොකද මගේ විදුපියස තුළ තමා මගේ දක්ෂතාවන් එළියට එන්නේ. 6 වසරේදී නැටුම් විෂයට යොමු වෙනවා. වෙස් බඳින්න වගේම සමස්ත ලංකා ජයග්‍රහණ පවා ලබාගන්න හැකියාව ලැබෙනවා. පැසිපන්දු ක්‍රීඩාව වගේම පාසලේ ශිෂ්‍ය නායකයෙක් ලෙසත් කටයුතු කරලා ජීවිතේට ලොකු පන්නරයක් ලබාගත්තා. බොහෝ දක්ෂතාවලට තෝතැන්න වෙන්නේ කොළඹ නාලන්දා විද්‍යාලය. ඔය මොනවා කළත් හිතේ දුවන්නේ හමුදාකාරයෙක් වෙන්නේ කොහොමද කියලා. මොකද තාත්තා නතර කරපු තැනින් පටන් ගන්න ඕන කියන හීනය මගේ හිතේ තිබුණා.’’
තාත්තගේ අතින් අල්ලාගෙන අනිත් දරුවන් පාසල් යනකොට භානුක තනියම පාසල් බස් රථයෙන් පාසලට එනවා. කාටවත් නොකියා ඔහු මේ දුක හිතේ හංග ගත්තා.
‘‘මේ කාරණය මගේ හිතට හරියට වධ දුන්නා. සමහර යාළුවෝ මගෙන් තාත්තා ගැන අහනකොට මම ගොළු වෙනවා. පුංචිම කාලේ මම අම්මගෙන් අහනවා තාත්තා කෝ කියලා. සමහර දවස්වලට අයියා මාව ඉස්කෝලෙට එක්කගෙන යනවා. තාත්තගේ අඩුව හැමදාකම, හැම තත්පරේම මගේ හදවතට දැනුණා. ඒ දුක හිතේ හිරකරගෙන තමයි මම තාත්තා වගේ වෙන්න උත්සාහ කළේ.’’
පුංචි කාලේ ඉඳන්ම දුක කියන එක භානුකගේ ජීවිතේට අමුත්තක් නොවේ. අඩුපාඩුකම් මිනිස්සුන්ගේ වෙනස්කම් පුංචි හිතට දරාගන්න පුළුවන් වුණ නිසයි අද ඔහු ලොකු තැනක ඉන්නේ.
‘‘තාත්තා නැතිව කප්පරක් දුක් වින්දා. අඩිය අඟලට වෙනකම් ඇවිදලා තියෙනවා. අඩුපාඩුකම් දරාගන්න බැරිව කාලෙකදි අම්මා විදේශගත වෙනවා. මගේ තාත්තා රට වෙනුවෙන් දිවි දුන්න විරුවෙක් නිසා ගොඩාක් අය අපිට ආදරේ කරයි කියලා මම හිතුවේ. නමුත් ආදරය ලැබුණේ හරිම අඩුවෙන්. බොහෝ දෙනාගෙන් ලැබුණේ වෙනස්කම් විතරයි. අම්මා ළඟ නැති කාලේ අඩුවෙන් කෑම ලැබිලා වැඩියෙන් ගුටි ලැබෙනකොට හැමදේම දරාගත්තා. බඩගින්න වෙනුවෙන් කරපු අරගලය ගැන දන්නේ මගේ පුංචි හිත විතරයි. ඇත්තම කියනවා නම් ළමා කාලය තුළ වින්දට වඩා විඳෙව්ව දේවල් ප්‍රමාණය වැඩියි.’’
භානුකගේ ඇස් යට කඳුළක් නළියනවා. ඒ ඔහුටත් නොදැනීම උනපු කඳුළු. නමුත් ඒ දීප්තිමත් ඇස්වල ලොකු බලාපොරොත්තු ගොඩාක් තියෙනවා. කවදාවත් වට්ටන්න බැරි නිර්භීතකමක් ඒ මූණ පුරාම තිිබෙනවා. ඔහුව ඉදිරියට ගෙන එන්නේ මේ නිර්භීතකමම වෙන්න පුළුවන්.
‘‘මම මුලිනුත් කිව්වනේ තාත්තා වගේ රණවිරුවෙක් වෙන්න ඕන වුණා කියලා. ඒ වෙනුවෙන් මම උත්සාහ කළා. අවස්ථා කීපයක්ම හමුදාවේ ඉන්ටර්වීව්වලට ගියා. ක්‍රීඩා කරපු නිසා ෆිට්නස් හොඳයි. නමුත් කකුලේ ආබාධයක් නිසා ස්කෑනින් එක ෆේල් වෙනවා. මේ නිසා මට අවස්ථාව අහිමි වෙනවා. ඔය අතරේ ශී්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඩිප්ලෝමා එකක් කරන්න යනවා. ඉස්කෝලෙදිවත් මීඩියා නොකරපු මට මාධ්‍යයෙන් ඉදිරියට යන්න අවස්ථාව ලැබෙන්නේ බෙර වාදනයට තිබුණ දක්ෂතාව නිසා. කැම්පස් එකේ බෙර වාදන කණ්ඩායම රූපවාහිනී වැඩසටහනකට යනවා. බෙර කණ්ඩායමේ සාමාජිකයෙක් හැටියට කතා කරන්න ලැබෙන්නේ මට. මගේ හැංගිලා උන්න නිවේදකයා එළියට එන්නේ ඔය අවස්ථාවේ. කැම්පස් එකේ ඉන්නකොට රූපවාහිනියෙන් ‘අතුර’ කියන වැඩසටහනේ ට්‍රේලර් එකකටත් සහභාගි වෙන්න අවස්ථාව ලැබෙනවා. මගේ නිවේදන හැකියාව නිසා වාසුලිය කියන සඟරාමය වැඩසටහනේ රූපවාහිනී නිවේදකයෙක් හැටියට මගේ රුව තිරයේ දිස්වෙනවා. ඔතනදී තමා මම තීරණය කරන්නේ මම ඉපදිලා ඉන්නේ නිවේදනයට කියලා.’’
භානුක කියන්නේ ඉක්මන් තීරණ ගන්න කෙනෙක්. ඒ වගේම ටිකක් විතර නාහෙට අහන්නේ නැති හිතුවක්කාරයෙක්. නිවේදන වෘත්තිය තුළ ඔහුගේ හිතුවක්කාරකම් නිසාම ඔහු ඉදිරියට ආවා කියලා තමා ඔහු කියන්නේ.
‘‘2013 වර්ෂයේ නිවේදන කලාවට එන්න තීරණය කරලා මුලින්ම ස්ථානගත වෙන්නේ හිරු එෆ්.එම්. එකේ නිිවේදකයෙක් හැටියට. ගෙදරින් වුණත් මම කරන දේට විරෝධයක් ආවේ නැහැ. මොකද තාත්තා නැතිවුණාට බොහෝ දේවල් මම තනියම කරගන්න පුරුදු වුණා. මගේ හැඳුනුම්පත තනියම ගිහින් හදාගත්තා. මම කැමැති රස්සාවට දැම්මා. කොටින්ම මම කරන්න ඕන දේ මමම තීරණය කළා. මේ නිසා හිතුවක්කාරයෙක් කියලා බොහෝ දෙනා අතර මතයක් ගොඩනැගුණා. නමුත් මම මගේ පාඩුවෙ මගේ දේවල් කරගත්තා. හිරු නාලිකාව හා වැඩ කරගෙන යනකොට මට හිතුණා ටික කාලෙකට මේ දේවල් අත්හරින්න ඕනේ කියලා. එතකොට හිරු එෆ්.එම්. ලංකාවේ අංක එකේ නාළිකාව. නමුත් මගේ හිතුමනාපෙට ඉල්ලා අස්වුණා. අවසානයේ මාස හයක් විතර හිත නිදහසේ තියාගෙන ඉඳලා ආයෙමත් සිරසට ආවා. සිරසෙනුත් අයින් වෙන්නේ හිතුවක්කාර විදියට. අවසානයේ මගේ නවාතැන වෙන්නේ දෙරණ ආයතනය. ඇත්තටම මම මුල ඉඳලම අවස්ථාව හෙවුවේ දෙරණට එන්න. මගේ හිත ආස කළේ දෙරණට. අවසානයේ ලැබුණ මුල්ම අවස්ථාව ප්‍රයෝජනයට අරගෙන එෆ්.එම්. දෙරණට සම්බන්ධ වුණා.’’
ඇවිදලා ඇවිදලා මිනිස්සු තමන්ට හිමි තැනට ආපුවාම නතර වෙනවා. භානුක කරුණාරත්නගේ අවසන් නවාතැන වුණේ දෙරණ ආයතනය. හිතුවක්කාරකම් අඩුවෙලා දෙරණ තුළ ඔහු හෙමින් හෙමින් ගොඩ නැගෙනවා. හරියට මහා වෘක්ෂයක් වගේ.
‘‘එෆ්.එම්. දෙරණට සම්බන්ධ වෙන්නේ ප්‍රවෘත්ති නිවේදකයෙක් හැටියට. ඊට පස්සේ දේදුනු පාලම වගේ වැඩසටහන් කරලා එළිමහන් ප්‍රාසාංගික අත්දැකීම් පවා ලබන්න අවස්ථාව ලැබෙනවා. ඔය අතරේ ක්‍රීඩා වැඩසටහනුත් කරනවා. ඔය කාලේ මට ඕන වෙනවා නිවේදකයෙක් හැටියට රූපවාහිනියේ වගේම පත්තර පැත්තට යොමුවෙන්නත්. මවුබිම අතිරේකයේ සහ සතිඅග අරුණ ක්‍රීඩා රචකයෙක් විදියට පත්තරවලටත් ලියනවා. දෙරණ තුළ උරගා බැලීම් කරනකොට තමා කලිඳු කරුණාරත්න මට උත්තේජනයක් දෙන්නේ. මල්ලි අපි ආනන්දෙ, නාලන්දෙ කොල්ලොනේ, ස්ක්‍රීන් ටෙස්ට් එකක් කරලා ප්‍රවෘත්ති නිවේදන පැත්තට එන්න කියලා. අවස්ථා කීපයකම ස්ක්‍රීන් ටෙස්ට් කළත් මට අවස්ථාව ලැබෙන්නේ කොවිඩ් වසංගතය ආපු කාලෙදි. දෙරණ 24 නාලිකාවේ පැයේ පුවත් තුළින් තමා මගේ රුව දෙරණ තිරය මත ඇඳෙන්නේ. ඊටපස්සේ මධ්‍යහ්න 12 පුවත් කිව්වා. රාත්‍රි 10 පුවත් කිව්වා. දැන් මගේ එකම ආසාව රාත්‍රි 6.55 නිව්ස් කියන එක. ප්‍රධාන නිව්ස් එකේ ක්‍රීඩා නිව්ස් කියන්න ලැබුණත් තවම ප්‍රධාන ප්‍රවෘත්තිවලට අවස්ථාව ලැබුණේ නැහැ. ඒ වෙනුවෙන් තමා මම මේ දවස්වල වැඩ කරන්නේ. ඔය අතරේ චතුර අයියගේ බිග් ෆෝකස් වැඩසටහන කරන්නත් ලොකු ආසාවක් තිබුණා. ඒ අවස්ථාවත් මට ලැබුණා. මම හිතන්නේ උත්සාහය හා කැපවීම නිසා තමා මේ හැම දෙයක්ම ලැබුණේ. දැන් දෙරණට ඇවිත් අවුරුදු 7 යි. ප්‍රවෘත්ති කියන්න අරගෙන අවුරුදු 6 යි. සම්මාන තුනක් ලැබුණා. මම හිතනවා මට දුන්නු අවස්ථාවට මම උපරිමයෙන් කළා කියලා. තව පුංචි දෙයක් මතක් කරන්න ඕනේ. දෙරණට ආවට පස්සේ මගේ හිතුවක්කාර ගති පවා අඩුවුණා. ඇත්තටම ඒ දේවල් මෙල්ල වුණේ දෙරණේ ඉන්නේ සොඳුරු මිනිස්සු නිසා කියලා මම විශ්වාස කරනවා.’’
බොහෝ දක්ෂතා ඇඟේ තිබුණත් අද භානුක ඉදිරියේ ලියැවී තිබෙන්නේ ප්‍රවෘත්ති නිවේදන කියන භූමිකාව. ඒ භූමිකාව ගැන ඔහු හදවතින්ම දැනෙන හැඟීම නිර්ලෝභීව ප්‍රකාශ කළා.
‘‘තාත්තා නිසා හමුදාවට යන්න හීන මැව්වා. නමුත් අවසානයේ නිවේදකයෙක් වුණා. මට හැම මොහොතකම ඕන වුණේ තාත්තා වෙනුවෙන් රටට වැඩදායී කෙනෙක් වෙන්න. ඔහු කළා වැනි යුතුකමක් කරන්න. රටට අත්‍යවශ්‍ය කෙනෙක් වෙන්න. මම හිතන්නේ ප්‍රවාත්ති නිවේදකයෙක් හැටියටත් මට ඒ යුතුකම කරන්න පුළුවන්. ඉතින් මේ සියල්ල මම තාත්තා වෙනුවෙන් පුදනවා. මම අහලා තියෙනවා තාත්තට දේශපුත්‍ර සම්මානය ලැබුණා කියලා. මගේ තාත්තා වීරයෙක්. හොඳම නිිවේදකයාට හිමි සම්මානය ලැබුණු මොහොතේ මම ඒ සම්මානය අරගෙන ගිහින් තාත්තගේ සොහොන උඩින් තිබ්බා. මගේ තාත්තා වෙනුවෙන් දෙයක් කළා කියන සතුට මගේ හදවතේ තියෙනවා.’’
මව්බිමට ආදරය කරමින් මුළු ජීවිත කාලයම මේ බිමේ සුවඳ විඳීම තමා භානුකගේ එකම අරමුණ.
‘‘ගොඩක් අය රට දාලා යනකොට මට හිතෙන දෙයක් මම කියන්නම්. දශක තුනක් ජීවිත බිලි දීලා රැකගත්ත මේ බිම දාලා යන්න කොහොමද හිත හදාගන්නේ? මම නම් කවදාවත් මේ රට දාලා යන්නේ නැහැ. මගේ දරුවන්ටත් මේ භූමියේ සුවඳ දැනෙන පරිසරයක් ගොඩ නගන්න දායකත්වය දෙන එක තමා එකම අරමුණ. මගේ දරුවන්ටත් මගේ තාත්තා වගේ වෙන්න කියලයි මම කියන්නේ. රටේ ජීවත් වන මිලියන විසිඑකට වැඩි මිනිසුන් වෙනුවෙන් හතළිස්දහසක් විතර ජීවිත කැප කළා. ඒ හතළිස්දාහ අතරේ මගේ තාත්තත් ඉන්නවා. ඒ තාත්තගේ අභිමානවත් පුතෙක් හැටියට මේ පොළොවේ ජීවත් වෙන එක තමා එකම අරමුණ.’’
බොහෝ සංවේදී සහ හිතට දැනෙන තැනකට භානුක මාව අරගෙන ආවා. ඔහුට ඔහු ගැන ජීවිතයේ අසන්න ලැබුණ මතක හිටින කතාවකින්ම භානුකට අද සමුදෙනවා.
‘‘මම මේ මහ පොළොව එක්ක අරගලා කරලා ජීවිතේ හදාගත්තු එකෙක්. මහාචාර්ය අතුල සුමතිපාල සර් මට කියපු දෙයක් මගේ හිතේ හැම තත්පරේම රැව් පිළිරැව් දෙනවා. භානුක මට ඔයාව පේන්නේ මහ කැලෑවක හැදෙන රූස්ස ගහක් වගේ. මොකද කැලෑවේ ගස්වලට වතුර දාන්නේ නැහැ, පොහොර දාන්නේ නැහැ. හැබැයි කිසිම දෙයක් නැතිව මහ විශාලෙට හිතුමතේ හැදෙනවා. මහ රූස්ස ගස් හෙවන දෙනවා මිසක් වෙන කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ.’’