brand logo
logo
 වරායේ කන්ටේනර් හිරවිල්ලෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයක අවදානමක්

වරායේ කන්ටේනර් හිරවිල්ලෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයක අවදානමක්

02 October 2026 | ශිරාන් රණසිංහ

එල්නිනෝ කාලගුණික විපර්යාසය මැද මෙරට ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ වඩාත් අවධානය යොමු කළ යුතුව ඇත. එහෙත් මේ වන විට අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය ආනයනය කරන ආනයනකරුවෝ දැඩි අර්බුදයකට ගොසිනි.


පිටරටින් ගෙන්වා ඇති අත්‍යවශ්‍ය ද්‍රව්‍ය කන්ටේනර් පිටින් වරායේ සිරවී ඇත. මේ හේතුව මත හෙට අනිද්දාට අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍යවල හිඟයක් ඇතිවීමේ අවදානමක්ද මතුව ඇත. ඇති වී ඇති මේ අර්බුදයේ සුලමුල සොයා පිටකොටුව තොග වෙ​ළෙඳුන් හමුවන්නට අප ගියේ ඒ අනුවය.


අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ වත්මන් ප්‍රශ්නවලින් කිහිපයක් මෙසේය.


ඉන්දියාවෙන් මෙරටට ආනයනය කර තිබෙන වියළි මිරිස් අඩංගු කන්ටේනර් 75ක් මේ වන විට වරායේ සිරවී තිබේ. එම කන්ටේනර් තුළ වියළි මිරිස් ටොන් 1150ක් අඩංගුය. ටොන් එකක් යනු කිලෝ 1000කි. ඒ අනුව මෙරටට ගෙනැවිත් ඇති වියළි මිරිස් කිලෝ 1,150,000ක් ගොඩට ගෙනැවිත් වෙළෙඳපොළොට දැම්මට නොහැකිව ඇත. මේ වියළි මිරිස් ටොන් 1150ක් මාස එකහමාරක් තිස්සේ දැන් ඇත්තේ කන්ටේනර් තුළය. අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය ආනයනය කරන සමාගම් රුපියල් කෝටි 150ක් (බිලියන 1.5) වැයකොට මේ වියළි මිරිස් මෙරටට ගෙනැවිත් ඇත. ඒ යට කළ රුපියල් කෝටි 150ක් දැන් ඔවුනට අහිමිව ගොසිනි. නෞකා ගාස්තු, වරාය ගාස්තු, රේගු ගාස්තු ආදියත් ගෙවා දමා දැන් නෞකා ප්‍රමාද ගාස්තුද ගෙවීමට ආනයනකරුවන්ට සිදුව ඇත.


වියළි මිරිස් ටොන් 1150 වරායෙන් නිදහස් කරගැනීමට නොහැකි වී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර තත්ත්ව පාලන අංශය මගින් මෙම වියළි මිරිස්වල තෙතමනය සියයට 12.5ක් තිබෙන බව කීමය. තෙතමනය 12.00 ඉක්මවා තිබීම හේතුවෙන් මේවා නිදහස් කිරීමට ඉඩ දිය නොහැකි බවද සෞඛ්‍ය අමාත්‍යාංශයේ අදාළ පරීක්ෂණ නිලධාරීන් දැනුම් දී ඇත. මෙතෙක් කලක් මෙරටට ගෙන් වූ ආහාර පානවල ප්‍රමිතිය සහතික කරනු ලැබුයේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගිනි. එහෙත් වසර දෙක තුනක සිට මෙරටට ගෙන එන ආහාර පාන සෞඛ්‍ය අමාත්‍යාංශයේද පරීක්ෂාවට ලක් කෙරේ. එය මහජනතාවගේ පැත්තෙන් බලන කළ ඉතා හොඳ වැඩකි.


ඉන්දියාවෙන් සිට කන්​ටේනර්වල පටවා මුහුදු මාර්ග ඔස්සේ ගෙනැවිත් මාස දෙකකට ආසන්න කාලයක් තබා තිබූ පසු මුළු වියළි මිරිස් තොගයම පුස් බැඳි විනාශ වී නොතිබුණොත් එය පුදුමයට කාරණයක් නොවනු ඇත.

දැන් ප්‍රශ්නය වී ඇත්තේ මේ වියළි මිරිස් තොග ගොඩ නොබෑමේ හේතුවෙන් ඉදිරි මාසය දෙක තුනේ වියළි මිරිස් හිඟයක් මතුවීමේ අවදානමක් මතුවන්නට මග පෑදීමය. අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් එම්. සුබ්‍රමිනයම් කියයි.


මේ වියළි මිරිස් තොගය වරායේ සිරවීම හේතුවෙන් ආනයනකරුවන් දැඩි අසීරුතාවයටත්, කලකිරීමටත් පත්ව සිටිති. අනෙක් පැත්තෙන් ඉන්දීය අපනයන සමාගමද කියා ඇත්තේ ‘ලංකාවේ තත්ත්වය එහෙම නම් අපේ බඩු ආයේ එවන්නේ නෑ. කියාය. තවත් ප්‍රශ්නයක් මතුව ඇත. ඒ කොත්තමල්ලි ප්‍රශ්නයකි. කොත්තමල්ලි බොන්න ඇතැම් අය උපදෙස් දෙන විට කොත්තමල්ලි හිඟයක්ද රට තුළ නිර්මාණය වෙමින් තිබේ. කොත්තමල්ලි මෙරටට ගෙන එන්නේ යුරෝපා රටවලිනි. මේ වන විට කොත්තමල්ලි කිලෝවක මිල රුපියල් 250 සිට 525 මට්ටම දක්වා වැඩි වී ඇත. යුරෝපයේ සීත කාලය ආරම්භයත් සමග කොත්තමල්ලි සැපයුම අඩාළ වී යාමෙන් මෙම හිඟය නිර්මාණය වී ඇත.


තවත් ප්‍රශ්නයක් මතු වී ඇත්තේ පරිප්පු සම්බන්ධයෙන්ය. පරිප්පු දෙවිදිහකට මෙරටට ගෙන එනු ලබයි. පළමු ක්‍රමය වන්නේ පරිප්පු ඇට මෙරටට ගෙනවිත් ඒවා කඩා වෙළෙඳපොළට යැවීමයි. දෙවැනි ක්‍රමය වන්නේ කැඩුණු පරිප්පු ලෙස මෙරටට එවා ගෙන ඒමයි. පරිප්පු යනු නැතුවම බැරි ආහාරයකි. පරිප්පුවල කොලිටි කිහිපයක් ඇත. අන්ත දුප්පත් අය කන්නේ කොලිටිය අඩු පරිප්පුය. ඒවායේ මිල අඩුය. තවත් පරිප්පු වර්ග ඇත. ඒවායේ කොලිටිය අනුව මිලද උස් පහත් වේ. දැන් ප්‍රශ්නය වී ඇත්තේ පරිප්පු ඇට ලෙසින්, කඩා ඇති පරිප්පු ලෙස විවිධ පාර්ශ්ව මෙරටට පරිප්පු ගෙන ඒමය. පරිප්පු තොග වැඩිවීමෙන් අලෙවිය පල්ලම් බැස ඇත. මේ හේතුව මත පරිප්පු කිලෝවක් සඳහා අය කරන ශත 25ක බද්ද වෙනස් කරන ලෙස ආනයනකරුවෝ ඉල්ලා සිටිති. එහෙත් කැඩුණු පරිප්පු සඳහා අය කරන රේගු බද්ද පමණක් ඉහළ දමන ලෙස ආනයනකරුවෝ ඉල්ලා සිටිති.

ඉකුත් වසරේ රට තුළ බරපතළ ලුණු හිඟයක් මතුවිය. ඊට හේතු වූයේ ලුණු ලේවායන් වැස්සට සේදී විනාශ වී යාම නිසා යැයි කියැවිණි. අන්තිමේදී රජය තීරණයක් ගත්තේ ඉන්දියාවෙන් මෙරටට ලුණු ආනයනයට අවසර දීමටය. මෙරට වාර්ෂික ලුණු පරිභෝජනය මෙට්‍රික් ටොන් 180,000කි. ඒ ලුණු හිඟ කාලයේ ලුණු කිලෝවක මිල රුපියල් 450ට 500ට නැග්ගේ ලුණුවල වටිනාකමට ඉතිහාසයේ ඉහළම මිලක් නිර්මාණය කර දෙමිනි.


හිටු කියා ලුණු මෙරටට ගෙන්වන්නට ඇතැම් පිරිස් පෙරමුණ ගත්තේ බොර දියේ මාළු අල්ලන්නාක් මෙනි. ඇතැමුන් තොග ටොන් ගණනින් ඉන්දියාවෙන් මෙරටට ගෙන ආහ. ඇතැමුන්ගේ කරල පැහුනත් එලෙස මෙරටට ගෙනා ලුණු මෙට්‍රික් ටොන් 12000ක් වසරක් තිස්සේ වරායේ කන්ටේනර් තුළය. ලුණු ​තොග මෙරටට ගෙන එන්නට වෙන් කර තිබූ දිනයට පසුව මේ ලුණු මෙරටට ගෙනා ඒවා බවද පැවැසේ. කෙසේ හෝ මේවා වියළි මිරිස් තොගය දැන්වත් නිදහස් කර යැවිය යුතුය. මිරිස්වල තෙතමනය වැඩි යැයි කියමින් මේවා තවදුරටත් කන්ටේනර් තුළ තිබුණෙත් ඒ වියළි මිරිස්වලට වැයකර ඇති කෝටි 150ක් වේයන් විසින් විනාශ කළ මුදල් බවට පත්වනු ඇත. වියළි මිරිස්වල තෙතමනය සියයට 12.5ක් නම් කළ යුත්තේ කුමක්ද? තෙතමනය ඉවත් කිරීමද? එසේ නොමැති නම් මේ කියන රුපියල් කෝටි 150ක වියළි මිරිස් තොගය මුහුදට හෙලීමද? එහෙත් නොමැති නම් ආපසු මේ තොග ඉන්දියාවට යැවීමද? එවිට දේශීයව වගා කරන අමු මිරිස් කිලෝවද රුපියල් 1000, 2000 පසුකරගෙන යාමට පුළුවන. තවත් මාස දෙකකින් පසුව එන්නේ උත්සව සමයය. අලුත් අවුරුද්ද එළිපත්තකය. නත්තලත් ළං ළං වෙමින් ඇත.

දිට්වා සුළු කුණාටුවෙන් පසු දැන් එල්නිනෝ තත්ත්වයක්ද මතුව ඇත. එළැඹෙන කාලයේදී යළිත් මහ වැසි ඇද වැටෙන බවද කාලගුණ අනාවැකිවල සඳහන්ය. පසුගිය කාලය පුරා මෙරට දිස්ත්‍රික් කිහිපයක වගා විනාශ වී ගියේ දරුණු වියළි කාලගුණය නිසාය. බෙංගාල බොක්කෙ අව පීඩනයක් මතුවී වැසිවල වර්ධනයක්ද සිදුවූ හැටි මතකය. එල්නිනෝ හෝ ලා නිනා කාලගුණික විපර්යාස හමුවේ හිටි හැටියේ වැස්සත් තවත් විටක දරුණු පෑවිල්ලකටද මගපෑදී ඇත. එනිසා රට තුළ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතුව ඇත.

මෙරට අල ලූනු, පරිප්පුවල සිට අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය ගෙන එන්නේ පිටරටිනි. මේ භාණ්ඩ ගෙන ඒමේ කටයුත්ත සිදුකරන්නේ ආනයනකරුවන්ය. මුළු ලෝකයම ආහාර සුරක්ෂිතතාවකට ප්‍රමුඛත්වය දී සිටියදී ශ්‍රී ලංකාවේ පාලකයන් ආනයනකරුවන්ට සීමා මායිම් දමමින් සිටිති. ආනයනකරුවන් යනු ව්‍යාපාරික පිරිසකි. ඒ අය කරන්නේ ව්‍යාපාරිකයකි. ලාබ ලැබීම ඒ අයගේ ඉලක්කය. එනිසා ඒ අය මේ මොහොතේ මුහුණ දෙන ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබාදිය යුතුව ඇත. එල්නිනෝ තත්ත්වය හමුවේ ඉන්දියාව දැනටමත් සීනි අපනයනය නතර කර ඇත.


පවතින තත්ත්වය හමුවේ අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය ආනයනය කරන අයගෙන් අනෙක් ද්‍රව්‍ය ආනයනය කරන අයගෙන් ප්‍රශ්න නිරාකරණය කළ යුතුව තිබේ. මේ ප්‍රශ්න නොවිසඳනවා යනු හෙට දිනයේ මෙරට ආහාර සුරක්ෂිතතාව අනතුරේ හෙළීමක් බවට පත්වනු නොඅනුමානය.


 

More News..