JICA නියෝජිත පිරිසක් අග්‍රාමාත්‍යවරිය හමුවෙයි
13 August 2026
JICA නියෝජිත පිරිසක් අග්‍රාමාත්‍යවරිය හමුවෙයි
13 August 2026
ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ (JICA) ජ්‍යෙෂ්ඨ උප සභාපති ෂෝහෙයි හාරා මහතා ඇතුළු නියෝජිත පිරිසක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවී ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සහ ආපදා ප්‍රතිචාර වැඩසටහන් සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.
පසුගියාදා අරලියගහ මන්දිරයේදී පැවති මෙම හමුවේදී, ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා JICA ආයතනය දීර්ඝ කාලයක් පුරා ලබාදෙන සහයෝගය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරිය සිය ප්‍රසාදය පළ කළාය.
දිට්වා සුළි කුණාටුවෙන් පසු ජපාන රජය ලබාදුන් සහන සහයෝගය පිළිබඳවද ඇය ස්තූතිය පළ කළාය.
ආපදා තත්ත්වයෙන් පසු මහා මාර්ග, දුම්රිය මාර්ග ඇතුළු අත්‍යවශ්‍ය යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා JICA ආයතනය ලබාදෙන සහයෝගය පිළිබඳවද මෙහිදී අවධානය යොමු වී තිබේ.
අනාගතයේදී ඇතිවිය හැකි ස්වාභාවික ආපදා සඳහා සූදානම් වීම, අවදානම් අවම කිරීම සහ ආපදාවලට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවද දෙපාර්ශ්වය අවධාරණය කර ඇත.
මේ අතර, ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ සහ ආර්ථිකය ප්‍රවර්ධනය කිරීම සඳහා රජය ගෙන යන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද සාකච්ඡා කර තිබේ. සියලු පාර්ශ්වයන් ඇතුළත් කරගත් තිරසාර ආර්ථික වර්ධනයක් අත්කර ගැනීමට රජය කැපවී සිටින බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී යළි අවධාරණය කළාය.
ණය සහන ඇතුළු විවිධ ආකාරයේ සහයෝගයන් හරහා ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය ලබාදීමට JICA ආයතනය සූදානම් බව නියෝජිත පිරිස සඳහන් කර තිබේ. දැනට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති හරහා අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීමේ වැදගත්කමද ඔවුන් පෙන්වා දී ඇත.
සියලු දරුවන්ට සමාන අධ්‍යාපන අවස්ථා ලබාදීමේ අරමුණින් අධ්‍යාපන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටද JICA ආයතනය සූදානම් බව නියෝජිත පිරිස සඳහන් කර තිබේ.
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වැඩිදියුණු කිරීම, ඩොප්ලර් කාලගුණ රේඩාර් පද්ධතියක් ස්ථාපිත කිරීම සහ ඩිජිටල් භූමිෂ්ඨ රූපවාහිනී ජාල ව්‍යාපෘතිය ඇතුළු ව්‍යාපෘති කිහිපයක් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර ඇත.
මීට අමතරව, අපද්‍රව්‍ය කළමනාකරණය සහ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍ර සම්බන්ධයෙන්ද අවධානය යොමු වී ඇති අතර, ශ්‍රී ලංකාවේ දිගුකාලීන සංවර්ධනයට සහාය වන පරිදි එම ක්ෂේත්‍රවල සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම දෙපාර්ශ්වය අවධාරණය කර තිබේ.

