brand logo
logo
48 CC එන්ජින් ධාරිත ලියාපදිංචිය අනිවාර්යයි

48 CC එන්ජින් ධාරිත ලියාපදිංචිය අනිවාර්යයි

23 October 2026 | නිර්මාණි තිලකසිරි


48 සීසී එන්ජින් ධාරිතාවෙන් යුත් යතුරුපැදි මහමග පැදවීමට එම යතුරුපැදි ලියාපදිංචි කිරීම අනිවාර්ය බවත් ලියාපදිංචියකින් තොරව මහමග ධාවනය වන එවැනි යතුරුපැදි වලට තදින්ම නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසියට උපදෙස් දී තිබෙන බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් විශ්‍රාමික එයාර් මාෂල් තුෂාර ප්‍රනාන්දු පැවසීය.


ලියාපදිංචි කිරීම අනිවාර්ය නැති බවට බව පවසමින් යතුරුපැදි ව්‍යාපාරිකයන් මෙම යතුරුපැදි අලෙවිකර තිබෙන බවත් එකදු යතුරුපැදියකට හෝ රේගුවේ නිෂ්කාශන සහතිකය හෝ අයිතිය තහවුරු කිරීමට අවශ්‍ය ලිපි ලේඛන ද නැති බවත් කොමසාරිස් ජනරාල්වරයා කීවේය.


යතුරුපැදි පාරිභෝගිකයන් විසින් මිලදී ගැනීමේදී නිසි රේගු ලියකියවිලි සහිතව පමණක් මිලදී ගැනීමට වගබලා ගතයුතු බව කොමසාරිස් ජනරාල්වරයා මෙහිදී පෙන්වා දුන්නේය.


එමෙන්ම ලියාපදිංචි නොකළ මෙවැනි යතුරුපැදි පොදු මාර්ගවල ධාවනය කරමින් සිටියදී හසු වුවහොත්, ඒ සඳහා පොලිසිය විසින් නීතිමය පියවර ගනිමින් දඩ නියම කිරීමට ඉඩ ඇති බවද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා අවධාරණය කළේය.


රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර පැවසුවේ ලියාපදිංචියකින් තොරව කිසිදු යතුරුපැදියක් මාර්ගයේ ධාවනය කළ නොහැකි බවය. එවැනි යතුරුපැදි පොලිස් භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවද හෙතෙම කීවේය.

 

More News..