නිදහස් අධ්‍යාපනය හා සෞඛ්‍ය රැකගැනීමට කරාපිටියේ විරෝධතාවක්
02 July 2026
නිදහස් අධ්‍යාපනය හා සෞඛ්‍ය රැකගැනීමට කරාපිටියේ විරෝධතාවක්
02 July 2026
නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය සේවාව සුරැකීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රුහුණ විශ්වවිද්‍යාලයේ කරාපිටිය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව විසින් සංවිධානය කළ විරෝධතා පාගමනක් සහ පන්දම් විරෝධතාවයක් අද (02) පස්වරුවේ කරාපිටිය නගරයේදී පැවැත්විණි.
වත්මන් වෛද්‍ය අධ්‍යාපන පද්ධතිය සහ සෞඛ්‍ය ක්ෂේත්‍රය දැවැන්ත අර්බුදයකට ලක්ව ඇති බව පවසමින් වෛද්‍ය ශිෂ්‍යයන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් මෙය පවත්වා තිබුණි.
මෙහිදී අදහස් දැක්වූ විරෝධතාකරුවන් චෝදනා කළේ, මෙරට තුළ රැකියා විරහිත MBBS වෛද්‍ය උපාධිධාරීන් බිහිවීමේ අවදානමක් පවතින පසුබිමක, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය (KDU) හරහා වෛද්‍ය උපාධිය මුදලට විකුණමින් වෛද්‍ය අධ්‍යාපනය වෙන්දේසි කිරීමට රජය කටයුතු කරමින් සිටින බවය.
එමෙන්ම 2015 වසරෙන් පසුව මෙතෙක් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිසි සෞඛ්‍ය සේවක පුරප්පාඩු සමීක්ෂණයක් සිදුකර නොමැති වීම හේතුවෙන් සමස්ත රෝහල් පද්ධතියම දැවැන්ත අනතුරකට ලක්ව ඇති බවද ඔවුහු පෙන්වා දුන්හ.
විදේශීය වෛද්‍ය උපාධිධාරීන් සඳහා පවත්වනු ලබන ERPM විභාගය ආශ්‍රිතව සිදුවන විෂමතා හා මගඩි වහා නතර කරන ලෙස බලකර සිටි ශිෂ්‍යයන්, එම ක්‍රියාවලිය හරහා අහිංසක රෝගී ජීවිත බිල්ලට දීමට ඉඩ දිය නොහැකි බවද අවධාරණය කළහ.
පවතින අවිධිමත් සැලසුම් සහ වෛද්‍ය උපාධි වෙළෙඳාම හේතුවෙන් මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය බරපතළ ලෙස පිරිහී යන බව කරාපිටිය වෛද්‍ය පීඨ ශිෂ්‍යයන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියහ.

