මෝටර් රථයක හප්පා ඔස්ට්රේලියාවේ පාර්ලිමේන්තු මන්ත්රිවරියකට කකුල් දෙකම අහිමි කරයි
23 October 2026
මෝටර් රථයක හප්පා ඔස්ට්රේලියාවේ පාර්ලිමේන්තු මන්ත්රිවරියකට කකුල් දෙකම අහිමි කරයි
23 October 2026
ඔස්ට්රේලියාවේ පාර්ලිමේන්තු මන්ත්රිවරියක මෝටර් රියක හැපීමෙන් ඇගේ දෙපා අහිමි වීමේ සිද්ධියක් මේ වනවිට විශාල අවධානයක් දිනා ගනිමින් තිබේ. මෙම බිහිසුණු සිද්ධියට මුහුණ දුන්නේ ආචාර්ය හෙලන් හේන්ස් නමැති මන්ත්රිවරියකි.
මෙය වුවමනාවෙන්ම සිදු කරන ලද අනතුරක් යයි සැක කෙරෙන අතර මන්ත්රිවරිය ඝාතනය කිරීම එහි අරමුණ වන්නට ඇතැයි ද සැකයක් පවතී.
සිද්ධිය නිසා හේන්ස්ට මේ වනවිට පාද දෙකම අහිමි වී ඇත. ඇයගේ වම් පාදය සිද්ධිය සිදු වූ දිනයේම කපා ඉවත් කර තිබූ අතර දකුණු පාදය බේරා ගැනීමට වෛද්යවරුන් දැඩි උත්සාහයක් දරා තිබිණි. නමුත් ඒ පිළිබඳ පළ වූ අලුත්ම වාර්තාවලින් පැවසුණේ එම පාදය ද ඉවත් කිරීමට සිදු වී ඇති බව යි.
65 හැවිරිදි මන්ත්රිවරිය මෙම සිදුවීමට මුහුණ දුන්නේ 19 වැනි දින පස්වරු 3.30 ට පමණ ය. ඒ වික්ටෝරියා ප්රාන්තයේ වැන්ගරැට්ටා නගරයේ පිහිටි ඇයගේ කාර්යාලය ඉදිරිපිටදී ය. මන්ත්රිවරිය ඇයගේ මෝටර් රියේ පිටුපස ඩිකිය අසල සිටගෙන එතුළින් යමක් ගනිමින් සිටියදී වේගයෙන් පැමිණි මෝටර් රියක් ඇයව හප්පා තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ. 43 හැවිරිදි පුද්ගලයකු වන ඔහුගේ නම බ්රෙන්ඩන් නියුජන්ට් ය. වුවමනාවෙන්ම බරපතළ තුවාල සිදු කිරීම, බරපතළ තුවාල සිදුවන ආකාරයෙන් අනතුරුදායක ලෙස රිය පැදවීම, රජයේ නිලධාරියකුට තුවාල සිදු කිරීම යන චෝදනා ඔහුට එරෙහිව ගොනුකර ඇති බව ද වාර්තා වේ.
සිද්ධිය ඇසින් දුටු සාක්ෂිකරුවන් ඒ ගැන කර තිබූ ලොමු දැහැගන්වන විස්තරයක් මාධ්ය තුළ පළ විය. ඔවුන් පවසා ඇති ආකාරයට මුලින්ම සැකකරුගේ මෝටර් රිය මන්ත්රිවරිය හප්පා තිබුණේ ඇය එම මෝටර් රියට සහ ඇගේ මෝටර් රියට මැදි වී තෙරපෙන ආකාරයෙනි. ඉන්පසු සැකකරු ඔහුගේ රිය ආපසු පිටුපසට ගෙන නැවත කිහිප වරක්ම මන්ත්රිවරිය හැප්පූ බව සාක්ෂිකරුවන් පවසා ඇත.
මෙම සිද්ධියෙන් වැඩිම හානියක් සිදුව තිබුණේ හේන්ස් ගේ සිරුරේ පහළ කොටසට යි.
සැකකරුගේ ඇඳුමේ සාක්කුවක පිහියක් ද තිබී ඇතැයි සඳහන් වේ. සිද්ධියෙන් පසු සැකකරු පලා යාමට උත්සාහ කර ඇතත් අසල සිටි කෙනකුගේ මැදිහත්වීම නිසා එය ව්යර්ථ වී තිබිණි.
මේ ආකාරයෙන් සැකකරු අල්ලා ගැනීමට මැදිහත් වී තිබුණේ රිකී ජෙෆරීස් නමැත්තෙකි. ඔහු වහා දිව විත් සැකකරු වාහනයෙන් පිටතට ගෙන පොලිසිය පැමිණෙන තුරු ඔහු මෙල්ල කරගෙන සිට ඇතැයි සඳහන් ය. සැකකරුගේ සාක්කුවේ තිබූ පිහිය සොයා ගෙන තිබුණේ ද ජෙෆරීස් ය.
තිදරු පියකු වන ජෙෆරීස් මන්ත්රිවරියගේ කාර්යාලය ආසන්නයේ බාබර් සාප්පුවක් පවත්වාගෙන යන්නෙකි. ඔහු නොබියව ඉදිරිපත් වී කළ මෙම ක්රියාව නිසා මේ වනවිට මාධ්ය තුළ මහත් වීරයකු බවට පත්ව සිටිනු දැකගත හැකි වේ. ඔස්ට්රේලියානු අගමැති ඇන්තනි ඇල්බේනීස් ද ඔහු මහත් සේ ඇගැයීමට ලක් කර තිබිණි.
එසේ වුවත් තමා වීරයකු ලෙස සලකනවාට ජෙෆරීස් වැඩි කැමැත්තක් දක්වන්නේ නැත. ඔහු පවසන්නේ එම ගෞරවය ඒ අසල සිටි තමාට උදව් වූ සියලු දෙනාට ද හිමි විය යුතු බව යි. තවත් පුද්ගලයකු සැකකරුට මෝටර් රියෙන් පලා යාමට නොහැකි වන සේ මෝටර් රිය ඉදිරියේ පාරේ වාඩි වී සිටි බව ද ජෙෆරීස් සඳහන් කර තිබිණි.
සිද්ධියට මුහුණ දුන් හෙලන් හේන්ස් දේශපාලනයට පිවිසීමට පෙර හෙදියක ලෙස සහ ග්රාමීය සෞඛ්යය පිළිබඳ පර්යේෂණ කරන්නියක ලෙස කටයුතු කළ කෙනෙකි. ඇය පාර්ලිමේන්තු මන්ත්රිවරියක බවට පත්ව තිබුණේ 2019 වසරේ යි. විවාහක කාන්තාවක වන හේන්ස් දරුවන් තිදෙනකුගේ මවකි.
මෙම සටහන ලියන අවස්ථාව වනවිටත් හෙලන් හේන්ස් රෝහලෙ හි පසුවූයේ බරපතළ තත්ත්වයෙනි. ඇය ප්රතිකාර ලබමින් සිටින්නේ මෙල්බන් හි ඇල්ෆ්රඩ් රෝහලේ යි. කෙසේ නමුත් ඇය යහපත් සිහි කල්පනාවෙන් පසුවන බව ඇගේ සැමියා ෆිල් හේන්ස් මාධ්ය සමග පවසා තිබිණි. සිය බිරිඳ සම්පූර්ණ සුවය ලැබීමට දිගු කලක් ගතවනු ඇතැයි ද ෆිල් තවදුරටත් සඳහන් කර ඇත.
බ්රෙන්ඩන් නියුජන්ට් නමැති සැකකරු මේ ආකාරයෙන් හෙලන් හේන්ස් ඉලක්ක කළේ මන්ද යන්න මෙම සටහන ලියන අවස්ථාව වනවිටත් තහවුරු වී තිබුණේ නැත. කෙසේ වෙතත් සැකකරුගේ පියා හේන්ස් ගේ පවුලේ සමීප මිතුරකු බවක් සඳහන් වේ.
මෙම සිද්ධියට හේතුව පෞද්ගලික කාරණයක් ද, නැතහොත් හේන්ස්ගේ දේශපාලනයට අදාළ කාරණයක් ද එසේත් නොමැති නම් වෙනත් කාරණයක් ද යන්න සොයා ගැනීම සඳහා පුළුල් විමර්ශනයක් ඉදිරියට යමින් තිබිණි.
බ්රෙන්ඩන් නියුජන්ට් මානසික සෞඛ්යමය ගැටලුවකින් පෙළෙන බවක් ද ඔහුගේ නීතිඥයා සඳහන් කර ඇතැයි මාධ්ය වාර්තාවල දැක්විණි.
හෙලන් හේන්ස් ඇගේ ප්රදේශය තුළ කාගේත් සිත් දිනාගෙන සිටි, කරුණාවන්ත කාන්තාවක බව ප්රදේශවාසින්ගේ ප්රකාශ තුළින් පෙනී යයි.
හේන්ස් සම්බන්ධ සිද්ධිය සිදු වූයේ ඔස්ට්රේලියාව තුළ දේශපාලනඥයන්ට එරෙහි ප්රචණ්ඩ ක්රියා වේගයෙන් ඉහළ යමින් ඇති පසුබිමක් තුළ ය.

