Best News Website award
brand logo
logo
බම්බුවට නම්බුවක් දෙන මිනිස්සු

බම්බුවට නම්බුවක් දෙන මිනිස්සු

28 November 2026

මීට දශක තුනකටත් එහා අතීතයේ දී පිලිපීනයේ ලොස් බානියෝස් නගරය අසල පිහිටි ‘බයාන්’ නමැති ගමේ තිබෙන සෙනසුරාදා සතිපොළ වෙතට යෑම අපට පුරුදුවූයේ සතියටම අවශ්‍ය කෑමබීම අඩුමකුඩුම සියල්ල සාධාරණ ගානකට රැගෙන ඒමට ඇති හැකියාව නිසාය. එවකට ලොස් බානියෝස් සරසවියේ පශ්චාද් උපාධිය හදාරමින් සිටි අපට, හිතෙන හිතෙන තැන්වලින් දිනපතා කළමනා එකතුකරනවාට වඩා එම සිරිත වඩාත් පහසුවූවකි. එරට දී මුල්වරට දැන හඳුනාගත් ආහාරයක් වන ‘උණ රිකිලි’ ග්‍රෑම් පන්සියයක් පමණ බොහෝ දිනවල දී මගේ බඩුමල්ලට එකතුවූ බවද අදටත් මතක තිබේ. කෙසෙල් කොලයක් බිම එලා, ඒ මත කැපූ උණ රිකිලි ගොඩගසාගෙන පාරිභෝගික අවශ්‍යතාවයට අනුව ඒවා කිරා විකුණන පිලිපීන ගැමි කාන්තාවන්, සතිපොළට පැමිණෙන උදවියට සුපුරුදු දසුනකි.


ලපටි උණ රිකිලිවල පිට පොත්ත ඉවත්කර සිහින්ව කැපූවිට පෙනෙන්නේ මෙරට දී කපා විකුණන කොහිල අල කැබැලි වාගේය. මේවාහි සූපවේදය ද අපට කියාදුන්නේත් පිලිපීනුවන්මය. තම්බා වතුර පෙරාදැමීම පළමුව කළයුත්තේ ඇතැම් උණ විශේෂයන්හි තරමක් සැරට සයනයිඩ් සංයෝග අන්තර්ගත බැවිනි. තම්බන ලද ඒවාට සිහින්ව කැපූ ඌරුමස්, කජු, ග්‍රීන්පීස් යනාදිය දමා, අපේ ක්‍රමයට තුනපහ මිරිස් ද, මිටිකිරි ස්වල්පයක් ද එක්කර උයාගන්නේ නම්, සිහින් දිගැටි සුදුඇට සහිත ‘වැග් වැග්’ සහලෙන් පිසූ බත බුදින්නට තවත් ව්‍යංජනයක් උවමනා නැති තරම්ය. ඌරුමස් වෙනුවට වෙනත් මාංශයක් වුවත් යොදාගත හැකි අතර අප නිතරම සූකර මාංශයට යොමුවූයේ, එතැන ලාභයත් පහසුවත් දෙකම තිබූ බැවිනි. ඔවුන් සතුව ඇතැම්විට මීටත් වඩා රසවත්, ‘උණ’ කෑම වට්ටෝරු තිබේ. සුප්, ව්‍යංජන, එළවළු මිශ්‍රණ ආදිය ඇතුළත් මෙවැනි වට්ටෝරු වැඩිපුර හමුවන්නේ එරට ග්‍රාමීය පළාත්වලිනි.


ගම්වැසියන් විසින් උණපඳුරෙන් හටගන්නා ළපටි රිකිලි සවිමත්වීමට පෙරදීම ආහාරය සඳහා නෙලාගන්නා අතර, ඉහළට වැඩී පරිනත වූ උණබම්බුවලින් ද ඔවුන් අපට වඩා බොහොමයක් වැඩ ගන්නේය. හොඳට පිරිමැද පොලිෂ් කළ උණබම්බුවෙන් සැදු ගෘහ භාණ්ඩ දුප්පත් පොහොසත් භේදයකින් තොරව පිලිපීන නිවෙස් ආක්‍රමණය කර සිටී. අපට නම් උණගසක් කපාගෙන පලංචියක් හෝ තොරණක් බඳිනවාට එහා ගිය වැඩක් සිතාගත නොහැකි නිසා, දිනකට අඩි තුනක් පමණ උස යමින් ලෝකයේ වේගයෙන්ම වැඩෙන උසම තණපඳුරට ඇති දේශීය පිළිගැනීම නම් හොඳටම පහල එකකි. කෙසේ වෙතත් පිලිපීනය, චීනය, ජපානය, කොරියාව ඇතුළු ආසියා-පැසිෆික් කලාපයේ රටවල ජනප්‍රිය සිරිතක් වූ උණරිකිලි අනුභවය මෙරටටත් හඳුන්වා දෙන්නට බලධාරීහු කලකට පෙරදී උත්සාහ ගත්හ.


හිටපු කෘෂිකර්ම අමාත්‍යවරයෙක් වූ දි. මු. ජයරත්න මහතා චීන සංචාරයක් තුළ දී දැකබලාගෙන හිතගිය නිසාම, අනුභවය සඳහා හොඳටම ගැළපෙන උණ ප්‍රභේදයක් විදේශයකින් ගෙන්වා මෙරට දී ප්‍රචාරණය කළේය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් ආයතන භූමියන්හි එවන් උණ පඳුරක් ස්ථාපනය කරන්නටත් කටයුතු කෙරිණි. ‘අමා’ වශයෙන් එයට නමක් ද තබා තිබිණි. ඔහු අමාත්‍යධුරයෙන් නික්මයෑමෙන් පසු අමාවට කොමාවක් වැටුණු නිසාදෝ වැඩේ දුරදිග ගියේ නැත. ආහාර පර්‌යේෂණ අංශයෙන්වත් ඒ පිළිබඳව කිසිදු හඳුන්වාදීමක් සිදු නොකළ අතර, දශක ගණනාවක් තිස්සේ හුදකලාවූ ‘අමා’ අදටත් රිකිලි දමමින් රජයේ ඇතැම් ගොවිපළ භූමියන්හි ජීවත් වේ. ඒවායින් කැබැල්ලක් දෙකක් හෝ ආහාරයට ගත් කෙනෙක් ද සොයාගන්නට නැත.

කලක් සිත තුළ යටපත්ව තිබුණු උණ කෑමේ කතාව යළි ප්‍රාණවත් වූයේ අප පසුගියදා කළ වියට්නාම් සංචාරය අතරතුරයි. වියට්නාමුවන් උණ කැබලි කනවා පමණක් නොව පැරැණි සම්ප්‍රදායයන් අනුගමනය කරමින් ඒවායින් ඇඳුම් පැලඳුම් යනාදියත් මසාගනිති. ‘උණ කෙඳි’ (Bamboo Fiber) කියන්නේ එරට රෙදිපිළි කර්මාන්තයේ අනර්ඝ අමුද්‍රව්‍යයක් වන අතර ටීෂර්ට්, තුවා, ඇඳ ඇතිරිලි පමණක් නොව මේස්, යට ඇඳුම් පවා මේවායින් නිර්මාණය කෙරේ. සුමටබව, පහසුව මෙන්ම ජලය උරානොගැනීම යන හේතුකාරණා නිසා උණ කෙන්දෙන් වියවුණු ඇඟලුම් ජනතාව අතර ජනප්‍රියය. ඒවා මිලෙන් ද තරමක් වැඩිය.


උණ ලීයෙන් රෙදි නූල් සාදාගැනීමත් තරමක් සංකීර්ණ කටයුත්තකි. මේ සඳහා යාන්ත්‍රික හෝ රසායනික වශයෙන් ක්‍රම දෙකක් යොදාගනී. පළමු ක්‍රමයේ දී කැබලි කරගත් උණ ලී සිහින්ව දිග අතට පලාගෙන ඒවායින් කෙඳි ලබාගැනේ. මේවා තරමක් කෙටි මෙන්ම රළු බවින් ද වැඩි නිසා සියුම් රෙදි පිළි නිපදවන්නට භාවිත කරන්නේ නැත. දෙවැනි ක්‍රමයේ දී කපා කැබලිකරගත් උණබටවලින් පළමුව සෙලියුලෝස් නම් සංඝටකය නිස්සාරණය නොහොත් වෙන්කිරීම කරනු ලබයි. තන්තු බවට නැවත ප්‍රතිජනනය කරන්නේ මෙම සෙලියුලෝස් නිසා, ඒවා උණ ශාකයේ තිබුණු ස්වභාවික තන්තු ලෙසට සැලකිය නොහැකිය. ඒවා දිගින් වැඩිය. සිනිඳුය. බොහොමයක් ඇඳුම් පැලඳුම් නිෂ්පාදනය සඳහා යොදාගැනෙන රෙදිනූල් වන්නේ උණ බම්බුවේ සෙලියුලෝස්වලින් ද්විතියිකව ප්‍රතිජනනය කළ මේවාය.


අපගේ සංචාරය තුළ දී මෙවැනි රෙදිපිළි අලෙවිකරණ සුවිසල් ස්ථාන කීපයක් නැරැඹීමේ අවස්ථාව උදාවිය. ඒ සෑම ස්ථානයකදීම පිරිස රැගෙනගොස් දේශන ශාලාවක අසුන්ගන්වා කෝපි කොප්පයකින් ද සංග්‍රහ කරමින් හඳුන්වාදීමේ විස්තරයක් කරන්නට ද පාලනාධිකාරිය පියවරගෙන තිබිණි. අසා සිටි අපට ‘උණ ගැනෙන්නට’ වියට්නාම යුවතිය ඉදිරිපත් කළ ‘උණ ඇඳුමේ’ විස්තරයට හිතවැටුණු අප අතර සිටි බවලතෙක් පැවැසුවේ, මෙරටින් පිටවූ වේලේ පටන් එතෙක් ඇඟලා සිටි කපු ඇඳුම් උනාදමා එතැනදීම ‘උණ ඇඳුමකට’ මාරුවෙන්නට පවා සිතුන බවයි. කිසිදු මටසිලුටුකමක් නොමැති රළු ශාකයක කෙන්දකින් එවන් සුවදායී වස්ත්‍රයක් කෙසේ නිපදවන්නේදැයි සිතීම පවා පුදුම සහගතය. ජීවිතයෙන් පවා වන්දිගෙවමින් දුහුල් සළු නිපදවන සේදපණුවා වුවද, එවන් සුපිරි වස්ත්‍රයක් හමුවේ මුළුමනින්ම පරාදය.


උණ කෙන්දෙන් ඇඳුම් සෑදීමේ පුරෝගාමීන් වන්නේ චීනයයි. එහෙත් අපනයන ආර්ථිකය මත ලොකු විශ්වාසයක් තබාගෙන සිටින වියට්නාමය මේවෙත්දී චීනය සමග කරටකර සටනකට පිවිස සිටී. 2022-25 අතර කාලපරාසය තුළ දී ‘උණ ඇඳුම්’ අපනයනය වෙනුවෙන් වියට්නාමයේ සමාගම් අසූනමයක් ලියාපදිංචි වී ඇත. රටවල් 23ක් අතරින් චීනයට පමණක් පිටුපසින් සිටිමින් ඒ වෙනුවෙන් ලෝකයේ දෙවැනි තැන ගන්නටත් වියට්නාමය සමත් වී තිබේ. ලෝක මහ බලවතුන් තිදෙනා අතරින් එකෙකුගෙන් ‘ගේම’ ඉල්ලන්නට තරම් හයියක් මෙම පුංචි මිනිස් කණ්ඩායමට ලැබුණේ කෙසේදැයි යන්න වෙනම සිතාබැලිය යුත්තකි. මන්දයත් කලාපයේ රටවල් අතරින් වැඩිම තරමකට විදේශීය ආක්‍රමණයන්ට ගොදුරු වූ රටක් වන්නේ ද වියට්නාමයයි. මෙවැනි කර්මාන්තයක් ඉදිරියට ගන්නට ශ්‍රී ලංකාව වැනි රටකට තිබෙන බාධාව කුමක්ද යන්නත් ඔය අතරවාරයේ දී යටිසිත අපෙන් ප්‍රශ්න කරන්නේය. කෘෂිකර්මය, ස්වභාවික සම්පත්, කර්මාන්ත දියුණුව සහ පරිසර තිරසරභාවය එකට සම්බන්ධ කරගනිමින් ඉදිරියට යන වියට්නාමයේ ‘උණ රෙදිපිළි’ පාඩම, නව ආර්ථික ක්‍රමෝපාය පිළිබඳ උනන්දුවක් ඇති බලධාරීන්ගේ අවධානයට කඩිනමින් යොමුවිය යුත්තකි.


ගොවිතැනට සීමාවෙමින් ලිපි ලියන අප මෙවර උණබම්බුවක් පටලවාගත්තේ ඇයිදැයි කලබල වියයුතු නොවේ. කෘෂිකර්මය යන්නෙහි ජාත්‍යන්තර අර්ථ දැක්වීමට අනුව භෝග වවනවාට අමතරව කෙඳි, ඉන්ධන ඇතුළු මිනිස් අවශ්‍යතා නිෂ්පාදනයත් එයට ඇතුළත්ය. අසූව දශකය සමයේ දී අඟුණකොළපැලැස්ස කෘෂිකර්ම පර්‌යේෂණායතනයේ මූලිකත්වයෙන් කපු සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක වූයේද එම පදනමෙන්මය. මේවනවිට කෙසෙල් ඇතුළු වෙනත් භෝග මගින් විස්ථාපනය වී තිබුණත්, උඩවලව වාරි ව්‍යාපෘතියේ ආරම්භක අරමුණ වී ඇත්තේද වාරිජලය ලබාදෙමින් ආන්තික ඉඩම්වල කපු වගාව ප්‍රචලිත කිරීමයි.


වෙනත් භෝග වගාවක් සරුවට කරන්නට පහසුකම් නොමැති ඉඩම්වල මිනිසුන් හේන් වගා ක්‍රමය යටතේ මාස් කන්නයට කපු වැවූ බවත්, රාත්තලට රුපියල් තුනක් බැගින් ගෙවමින් ව්‍යාපාරිකයන් විසින් ගොවීන්ගේ කපු පුළුන් මිල දී ගත් බවත් අප සමග පැවැසුවේ එකල අඟුණකොළපැලැස්ස පැත්තේ සේවය කළ කෘෂිකර්ම නිලධාරියෙකි. එදා ඒ තරමින්වත් ඇඟලුම් වෙනුවෙන් දේශීය අමුද්‍රව්‍ය නිෂ්පාදනයක් සිදුවිනි. එහෙත් ඇඟලුම් අපනයනයෙන් කප් ගසන්නට බලාපොරොත්තු අමුණමින් සිටින වර්තමානයේ දී, ඊට අවශ්‍ය නූල්පොටක් තරම් දෙයක්වත් දේශීයව නිපදවන්නේ නැත. බොත්තම ඉඳිකට්ට පවා ගෙනෙන්නේ විදෙස් රටවලිනි. වඩාත් නිවැරැදිව කියනවානම් මෙරටින් නිමිඇඳුම් ස්වරූපයෙන් අපනයනය කරන්නේ, පිටරට රෙදිපිළි විවිධ හැඩ යොදා එකලස් කරන්නට වැයකරන ලද ලාංකික මිනිස් ශ්‍රමයයි.


වියළි දණ්ඩක් පොළොවේ ඇන්න පමණින් මුල් අදින තරමේ සරු පසක් තිබෙන බව පවසමින් උදම් ඇනුවාට, සකල සබ්බමනාවම මෙරටදීම වවාගත යුතුයයි අප කියන්නේ නැත. රෝගයන්ට ගොදුරුවීමත්, එයට වඩා සුදුසු ආර්ථික වගාවන්ට යොමුවීමත් නිසා පසුකාලීනව ගොවීන් වෙතින් කපු වගාව ගිලිහුණි. අඟුණකොළපැලැස්ස ද ඊට සමගාමීව කපු පර්‌යේෂණ නවතා දමන ලදී. එහෙත් උණ කෙඳි නිෂ්පාදනය වැනි කර්මාන්තයක් ග්‍රාමීය මට්ටමෙන් ප්‍රවර්ධනය කිරීමට මංපෙත් විවරකරදීම ඊට වඩා වෙනස් කතාවකි. කලක් ඉවත දැමූ ‘කොහුබත්’ මේ වෙත්දී විදෙස් විනිමය උපදවන අමුද්‍රව්‍යයක් වන අතර, ඒ සඳහා අවශ්‍ය කම්හල් පවා රට තුළ සථාපනය වී තිබේ. උණගස් වැවීම ලොකු ආයෝජනයකින් කළයුත්තක් නොවේ. ඒවා වේගයෙන් වැඩේ. නැවත සිටුවීමකින් තොරව දිගටම අස්වැන්න නෙළිය හැකිය. රෝගාබාධ හෝ පෝෂණ අවශ්‍යතා අවමය. උණ තන්තු ලබාගැනීමේ පිළිවෙත ගමේ ආර්ථිකය සවිබලගැන්වීම සමග සාර්ථකව ගැළපෙන්නේය. උණ කෙඳි ආශ්‍රිත නිෂ්පාදනයන්ට ඇත්තේ ඉහළ අපනයන විභවයකි.


ඉතා ඈත අතීතයේ දී වසර දහසක් පමණ චීනයට ද, දොළොස්වෙනි සියවසේ දී තුන්වරක්ම මොංගල් අධිරාජ්‍යයට ද යටත්ව සිටි වියට්නාමුවන්, දාහතරවෙනි සියවසේ දී නැවතත් වසර විස්සක් චීනයේත්, ඉන්පසු ප්‍රංශයේත්, දෙවැනි ලෝක යුද්ධ සමයේ දී ජපානයේත් යකඩ සපත්තුවට පෑගුනි. විසිවෙනි සියවසේ දී වසර විස්සක් තිස්සේ ජීවිත මිලියන ගණනින් අහිමිකරගෙන ඇමරිකාවත් සමග යුදවැදී, අන්තිමට 1979දී මාසයක පමණ කෙටි කාලයක් තුළ උතුරු වියට්නාමයට කඩාවැදුණු චීන හමුදාව සමගත් ඔවුන් සටන් වැදුනි. මෙවැනි පසුබිමක හැදී වැඩෙමින් තම ආර්ථිකයේ හැඩතල ඔපමට්ටම් කරන්නට අර්බුද අතරතුර ඔවුන් ලබාඇති පන්නරය විස්මයජනකය.


වියට්නාමය මේවෙත්දී ආසියාවේ 13වෙනි මෙන්ම ලෝකයේ 33වෙනි විශාලතම ආර්ථිකයට හිමිකම් කියයි. ඒ අතරවාරයේ කෘෂිකර්මය මූලික වූ ආර්ථිකයක සිට කාර්මික සහ අපනයනය පදනම් වූ ආර්ථිකයක් දක්වා වේගයෙන් ගමන්කරමින් සිටී. සංසන්දනාත්මකව බලනකල කෘෂිකර්මය, කාර්මීකරණය, අපනයන විභවය, විදෙස් ආයෝජන වැනි අපගේ ආර්ථික ප්‍රසාරණ උපක්‍රම සියල්ලම පාහේ වියට්නාමුවන්ට ද පොදුය. අප දෙගොල්ලෝම සිටින්නේ එකම බෝට්ටුවේය. එහෙත් ඔවුහු අපට වඩා කල්පනාවෙන් හබල් ගසති. දියවැල් ගමන්කරන දිශාව ද අධ්‍යයනය කරමින් ඒවාහි ශක්තිය ද තම වාසියට හරවාගනිති. කිසිවකුට නොදන්වා උපන් තැනම අවසන් ගමන් යමින් මහපොළොවට දිරායන සම්පතක් වූ උණබම්බුවට නම්බුවක් දියයුතු නොවේදැයි වියට්නාමයේ දී අපට සිතුනේ එබැවිනි.

 

More News..