brand logo
logo
බොක්සිං සංගමය අඩු නැතිව පිස්සු නටද්දී ක්‍රීඩා අමාත්‍යාංශය කැත නැතිව නිදි?

බොක්සිං සංගමය අඩු නැතිව පිස්සු නටද්දී ක්‍රීඩා අමාත්‍යාංශය කැත නැතිව නිදි?

10 July 2026 | ඉන්ද්‍රජිත් සුබසිංහ

ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ නොහැකියාව තවත් වරක් ප්‍රදර්ශනය වෙමින්, ආසියානු වයස අවුරුදු 19 සහ 23න් පහළ බොක්සිං ශූරතාව සඳහා ඉන්දුනීසියාව බලා යෑමට සිටි මෙරට ක්‍රීඩක කණ්ඩායමට එම අවස්ථාව අහිමිව ගොස් තිබේ.


මෙම තරගාවලිය සඳහා වන තෝරා ගැනීමේ පරීක්ෂණය ඉකුත් ජුනි 17 සහ 18වැනිදා පැවැත්වීමට යෙදුණු අතර එමගින් ශ්‍රී ලංකාව නියෝජනය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5 දෙනෙකු තෝරාගෙන තිබිණි. නමුත් මෙහිදී තේරුණු එකී පිරිස අතර, මෙයට පෙර පැවැති පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල සඳහා වූ තේරීම් පරීක්ෂණයේදී ‘නොකවුට්‘ පරාජයකට ලක්වූ ක්‍රීඩකයකුගේ නමද ඇතුළත් වී තිබිණි (එවැනි අවස්ථාවකදී ‘නොකවුට්‘ වූ ක්‍රීඩකයා මාස තුනක කාලයක් විවේක ගැන්විය යුතු වේ). මේ අතර ජුලි මස 03 වැනිදා තරම් ආසන්න දිනක අදාළ ජාත්‍යන්තර තරගාවලිය ඇරැඹීමට යෙදී තිබියදී වුව ශ්‍රී ලංකා බොක්සිං සංගමය විසින් එකී සිය තෝරා ගැනීම, ජාතික තේරීම් කමිටු අනුමැතිය සඳහා යොමු කර ඇත්තේ ජුනි 26 වැනි සිකුරාදාය. ඉන් පසු සති අන්ත නිවාඩුව සහ පොසොන් පෝය ආදියද යෙදී තිබියදී අදාළ අනුමැතිය සඳහා යොමුවීමට මේ සා ප්‍රමාද වීම ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ මන්දගාමී හැසිරීමට ප්‍රබල උදාහරණයක් බව පැවසේ.


මේ අතර බොක්සිං සංගමය විසින් අනුමැතිය උදෙසා ඉදිරිපත් කළ එකී ක්‍රීඩකයන් අතරට නොකවුට් අවස්ථාවකට මුහුණ දී සිටින ක්‍රීඩකයකු ඇතුළත් වීම ජාතික තේරීම් කමිටුවට පැනයක් වීම නිසා මේ පිළිබඳ විමසීමට ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ වගකිව යුත්තෙකු ඉකුත් ජුලි 01 වැනිදා ජාතික තේරීම් කමිටුව හමුවට කැඳවීම් ලබා තිබිණි. නමුත් කිසිදු බොක්සිං බලධාරියෙකු ඒ සඳහා ඉදිරිපත් නොවීම හමුවේ අනුමැතිය ලැබීම වැළකී යද්දී, මෙම තරගාවලිය සඳහා සහභාගී නොවී සිටීමට තීරණය කළ බව ශ්‍රී ලංකා බොක්සිං සංගමය විසින් දැනුම් දීමට යෙදී තිබේ.


දැඩි වෙහෙස මහන්සියෙන් යුතුව රුපියල් ලක්ෂ 8ක මුදලක් බැගින් පුද්ගලිකව සපයා ගනිමින් සංචාරයට සූදානමින් සිටි සුදුසුකම් නිසි පරිදි සපුරා තිබූ සෙසු ක්‍රීඩකයන් මෙය දැන ගැනීමත් සමග දැඩි කලකිරීමට සහ කනස්සල්ලට පත්ව තිබිණි. මෙම අවස්ථාවේදී එම ක්‍රීඩකයන්ගේ දෙමාපියන් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා හමුවී ඔහු මගින් ඉහළ බලධාරීන්ට කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඉදිරි අනුමැතියට යටත්ව එම ක්‍රීඩකයන් හට තරගාවලියට සහභාගීවීමට අවසරය ලබා දී ඇත.


මේ සියල්ල අවසානයේ මෙම කණ්ඩායම වීසා සඳහා යොමු කර ඇති අතර ඒ වන විට වීසා ලබා ගැනීමට තරම් ප්‍රමාණවත් කාලයක් නොවීම මත තරගාවලිය අහිමිව ගොස් ඇත.


මෙම සංචාරය සඳහා තේරී සිටි ක්‍රීඩකයන් තමන් පුද්ගලිකව සපයාගත් මුදලින් අදාළ වීසා සඳහා වන ගාස්තුව ඉකුත් ජුනි 24 වැනිදා වන විටත් බොක්සිං බලධාරීන් වෙත භාර දී තිබියදී මෙවැනි ඉරණමකට මුහුණ දීමට සිදු වීම විශේෂත්වයකි.


ශ්‍රී ලංකා බොක්සිං බලධාරීන්ගේ නොහැකියාව හේතුවෙන් මෙවැනි ඉරණමකට ලක්වූ ප්‍රථම කණ්ඩායම මොවුන් නොවන අතර යොවුන් ඔලිම්පික් උළෙලට තෝරා ගැනීමේ තරගාවලියක් බවට පත්වූ ඉකුත්දා තායිලන්තයේ පැවැති ‘වර්ල්ඩ් ෆියුචර් කප්‘ සඳහා සහභාගීවීමට සිටි ශ්‍රී ලංකා කණ්ඩායමටද මෙලෙසින්ම එම තරගාවලිය අහිමිව තිබිණි.


වත්මන් බොක්සිං බලධාරීන් මේ සා වගකීම් විරහිතව සහ අසමත් ලෙසින් ක්‍රියා කරද්දී ක්‍රීඩා අමාත්‍යංශ බලධාරීන් දිගින් දිගටම මුණිවත රැකීම බොක්සිං ක්ෂේත්‍රයට විශාල පැනයක් බවට පත්ව ඇත.

 

More News..