නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥාපනත සංශෝධනයට සමාලෝචන කමිටුවක්
01 September 2026
නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥාපනත සංශෝධනයට සමාලෝචන කමිටුවක්
01 September 2026
1897 අංක 3 දරන නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥාපනත සංශෝධනය කිරීම සඳහා සමාලෝචන කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
බෝවන රෝග පැතිරීම වැළැක්වීම සහ නිරෝධායන පියවර ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ නීතිය වන මෙම ආඥාපනත වර්තමාන සෞඛ්‍ය අභියෝගවලට ගැළපෙන පරිදි සංශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබේ.
පුද්ගලයන්, භාණ්ඩ සහ සේවාවන්හි ජාත්‍යන්තර හා දේශීය සංචලනය ඉහළ යාමත් සමඟ දේශසීමා හරහා බෝවන රෝග සම්ප්‍රේෂණය වීමේ අවදානම ද ඉහළ ගොස් ඇති අතර, ජාත්‍යන්තර සංචාර සහ වෙළෙඳාම හේතුවෙන් බෝවන රෝග රටවල් අතර වේගයෙන් පැතිරීමේ අවදානමක් පවතින බවද රජය පෙන්වා දෙයි.
මෙම ආඥාපනත සංශෝධනය කිරීම සඳහා 2016 වසරේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන තිබුණද, එම සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැත.
ඒ අනුව, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව, පසුගිය වසංගත තත්ත්වයන් තුළ ලබාගත් අත්දැකීම්ද සැලකිල්ලට ගනිමින් දැනට සකස් කර ඇති සංශෝධන පනත් කෙටුම්පත අධ්‍යයනය කිරීමට මෙම සමාලෝචන කමිටුව පත් කිරීමට තීරණය කර තිබේ.
වර්තමාන සෞඛ්‍ය අභියෝගවලට මෙන්ම අනාගතයේ ඇතිවිය හැකි සෞඛ්‍ය අභියෝගවලටද මුහුණදීමට හැකි වන පරිදි යෝග්‍ය සංශෝධන යෝජනා කිරීම කමිටුවේ ප්‍රධාන කාර්යය වේ.

