brand logo
logo
මේ බ්ලාස්ට් එක මම බලාපොරොත්තු වුණා

මේ බ්ලාස්ට් එක මම බලාපොරොත්තු වුණා

15 July 2026 | ලක්ෂාන් ජයසූරිය


රංගන ශිල්පිනියක් විදිහට ප්‍රසිද්ධ ශලනි තාරකා සිනමා අධ්‍යයක්ෂණයට පිවිසිලා තිබෙනවා. ඒ පිළිබඳව ප්‍රසිද්ධ කරමින් ශලනි සිය කුලුඳුල් සිනමාපටය, ප්‍රේමියේ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය පහුගියදා උත්සවාකාරයෙන් ප්‍රේක්ෂකයන්ට එළිදැක්වුවා. මේ විදිහට ශලනි සිනමාවට පිවිසීම ගැන ශලනි එක්ක කතා කරන්න අපි හිතුවා.


ශලනිට සිනමා අධ්‍යක්ෂකවරියක් වෙන අදහස ඇතිවුණේ කොහොමද?


2007 වසරේ පැවැත්වුණ සිරස කුමරිය තරගයේ කිරුල ජයග්‍රහණය කරලා 2009 වසරේදී රංගන ක්ෂේත්‍රයට ආපු මට මේ වෙද්දී අවුරුදු 17ක රංගන අත්දැකීම් තියනවා. මේ අවුරුදු 17 පුරාවට වැඩකරගෙන යද්දී මගේ හිතට ආවා කවදාහරි චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න ඕන කියලා. ඉතින් ඒ අදහස නිකන්ම අදහසකට විතරක් සීමා කරන්නෙ නැතුව ප්‍රේමියේ චිත්‍රපටය අධ්‍යයක්ෂණය කරමින් මම සිනමා කර්මාන්තයට සම්බන්ධ වුණා. ප්‍රේමියේ චිත්‍රපටය නිර්මාණය කළේ ඩොක්ටර් මාලන් ෆ්‍රැන්සිස් පීටර්සේ නිෂ්පාදනයෙන් සහ ගයනි ආසිංසලා පියදිගමගේ කතා සංකල්පයක් අනුව මම තිර රචනය කරපු පිටපතකින්.


නිළියක් වුණ පමණින් අධ්‍යක්ෂවරියක් වෙන්න පුළුවන්ද?


නිළියක් වුණ පමණින් අධ්‍යක්ෂවරියක් වෙන්න අමාරුයි. රංගනයේදී නළුනිළියන්ට තියෙන්නෙ පිටපතට අනුව රඟපෑම විතරයි. නමුත් අධ්‍යක්ෂවරයා කියන්නෙ ඊට එහා ගිය දැවන්ත කාර්යභාරයක් කරන පුද්ගලයෙක්. චිත්‍රපටය කරන්නෙ මොනවිදිහෙ දැක්මක් අනුවද, ඒ වෙනුවෙන් ගන්න නළුනිළියො, නිෂ්පාදක කණ්ඩායම, පිටපත පිළිබඳ අවබෝධය, කැමරා තාක්ෂණය ගැන අවබෝධය, ශබ්ද සංකලනය ගැන දැනුම, සංස්කරණය ගැන දැනුම ඇතුළු සමස්ත චිත්‍රපට නිර්මාණකරණයේම වගකීම තියෙන්නෙ අධ්‍යක්ෂවරයාගේ අතේ. ඉතින් මම මේ අවුරුදු 17 පුරාවට ප්‍රායෝගිකව ලබාගත්ත අත්දැකීම් සහ අනිත් ශිල්පීන්ගේ සහයෝගයෙන් අධ්‍යක්ෂවරයා සතු සියලු වගකීම් ඉෂ්ටකරමින් ප්‍රේමියේ චිත්‍රපටය නිර්මාණය කළා.


පළමු සිනමා අධ්‍යයක්ෂණය නිසා අභියෝගවලට මුහු⁣ණ දෙන්නත් ඇති නේද?


ඔව්. චිත්‍රපටය කරන්න පටන්ගත්ත දා ඉඳලා අභියෝග නම් සෑහෙන්න තිබුණා. මිතුරු වෙසින් සතුරො ඕනෙම තැනක ඉන්න පුළුවන්නෙ. ඉතින් ප්‍රේමියේ චිත්‍රපටය කඩාකප්පල් කරන්න බලාගෙන අපි අතරම මිතුරො වෙස් අරගෙන හිටපු හතුරො හිටියා. ඒ අයව අඳුරගෙන පැත්තකට කරලා තමයි ප්‍රේමියේ චිත්‍රපටයේ වැඩ කරගෙන ගියෙ.


චිත්‍රපටය නිර්මාණය කරලා අවසාන වනතෙක්ම රසිකයන්ගෙන් හංගලා තියාගත්තෙ ඇයි?


චිත්‍රපටයක් නිර්මාණය කරනවා කියලා කලින් ප්‍රසිද්ධ කරන්නෙ නැතුව චිත්‍රපටයේ වැඩ ඉවරකළාට පස්සෙ එළිදක්වලා හැමෝම ඉදිරියේ බ්ලාස්ට් එකක් කරන්න මට ඕන වුණා. ඉතින් චිත්‍රපටය නිර්මාණය කරන කාලයේදි ඒ ගැන කිසිම දෙයක් එළියට යන්න මම දුන්නෙ නැහැ⁣. පහුගිය සතියේ ප්‍රේමියේ පූර්වප්‍රචාරක පටය එළිදැක්වීමත් සමග චිත්‍රපට කර්මාන්තයේ ඉන්න ප්‍රවීණ අධ්‍යක්ෂවරු පවා මවිතයට පත් කරමින් බිලාස්ට් කරන්න පුළුවන් වුණා.


ශලනිගේ කුලුඳුල් සිනමා අධ්‍යයක්ෂණය ප්‍රේමියේ මොනවිදිහෙ චිත්‍රපටයක්ද?


ප්‍රේමියේ ආදර කතාවක්. හැබැයි ප්‍රේක්ෂකයො නිතර දකින බොලඳ සාම්‍ප්‍රදායික ආදර කතාවකට එහා ගිය ගැඹුරු යටි අරුතකුත් එක්ක ආද⁣රයේ සුන්දරම තැන් ස්පර්ශ කරන හදවතට දැනෙන ලස්සන ආදර කතාවක් විදිහට ප්‍රේමියේ හඳුන්වන්න පුළුවන්. ප්‍රේමියේ චිත්‍රපටයේ විශේෂත්වය තමයි මේ චිත්‍රපටය පිරිමියෙක්ගේ ආදරය මූලික කරගෙන ගලාගෙන යන කතාවක් වීම. මම නිර්මාණ කරන්නෙ ප්‍රධාන චරිතෙ රඟපාලා මමම ප්‍රසිද්ධ වෙන අරමුණින් නෙමෙයි. අනිත් සියලු නළුනිළියන්ට වටිනාකමක් දීලා ඔවුන්ගේ හැකියාවෙන් හොඳ වැඩක් ගැනීමේ අරමුණිනුයි මම ප්‍රේමියේ නිර්මාණය කෙරුවේ.


ශලනි තිර රචනය කරන ටෙලිනාට්‍ය සහ ප්‍රේමියේ චිත්‍රපටයේ දැක්ම එකහා සමානද?


මගේ කතා සංකල්පයක් අනුව නිර්මාණය කරපු වීදුරු තිර සහ මගේ තිරරචනයක් අනුව නිර්මාණය කරපු අසංධිමිත ටෙලිනාට්‍යවලට වඩා ප්‍රේමියේ චිත්‍රපටය හාත්පාසින්ම වෙනස්. වීදුරු තිර සහ අසංධිමිතවලට මම යොදාගත්තෙ සමාජීය කතා තේමාවන්. හැබැයි ප්‍රේමියේ චිත්‍රපටය ආදරණීය හැඩයක් ගත්ත වාණිජ චිත්‍රපටයක්. මොනවිදිහෙ නිර්මාණයක් කළත් අපිට ආදරය, ලිංගිකත්වය, වෛරය, දුක, වේදනාව, පළිගැනීම වැනි මිනිස් ගුණාංගවලින් මිදෙන්න බැහැ. ඉතින් ප්‍රේමියේ චිත්‍රපටය තුළත් මේ ගුණාංග සිනමාත්මක අයුරින් අන්තර්ගතවෙලා තියනවා.


දනුක සහ දර්ශන්ගේ සුසංයෝගය ශලනිගේ ප්‍රේමියේ චිත්‍රපටයට යොදාගත්තෙ ඇයි?


දර්ශන්ව මට මුලින්ම හම්බවුණේ see you ටෙලිනාට්‍යයේදී. See you වලදි දර්ශන්ගෙන් මම දකිනවා රිදී තිරයට ගැළපෙන කඩවසම් රංගන පෞරුෂයක් එක්ක දක්ෂ රංගන හැකියාවක්. ඉතින් දර්ශන්ගෙන් ප්‍රේමියේ චිත්‍රපටයට හොඳ ආලෝකයක් සහ වටිනාකමක් ලැබෙයි කියන විශ්වාසයෙන් මම ඔහුව තෝරගත්තෙ. ප්‍රේමියේ චිත්‍රපටයේ දනුක රඟපාන චරිතය වෙනුවෙන් මුලින් තවත් නළුවෙකුගේ නම යෝජනා වෙලා තිබුණා. අවසානයේ අපි දනුකගේ රංගන හැකියාව තක්සේරු කරලා ඔහුව තෝරගත්තා. මම රංගන ක්ෂේත්‍රයට ආපු මුල් කාලයේදී මම දනුක එක්ක ටෙලිනාට්‍යයක රඟපෑවා. ඉතින් මම දනුකගේ රංගන හැකියාවත් හොඳින් අඳුරනවා. ආදර කතාවකට අවශ්‍ය ප්‍රේමනීය පෞර්ෂය, රංගන හැකියාව සහ කඩවසම් පෙනුම ඇතුළු සියලුදේ ගැනම සැලකිලිමත්වෙලා දනුකව සහ දර්ශන්ව මගේ ප්‍රධාන නළුවෝ දෙන්නා විදිහට තෝරගත්තේ.


ප්‍රේමියේ චිත්‍රපටය තුළ ශලනිගේ අම්මත් රඟපානවා කියලා ආරංචියි..


දනුකගේ අම්මගේ චරිතය රඟපාමින් මගේ අම්මා ප්‍රේමියේ චිත්‍රපටයට එකතු වෙනවා. අම්මා රඟපාන පළවෙනි චිත්‍රපටය තමයි ප්‍රේමියේ. රිදී තිරයේ අම්මගෙ පළමුවෙනි රඟපෑම දකින්න ලැබීමත් මට අධ්‍යක්ෂණයෙන් අම්මව මෙහෙයවන්න ලැබීමත් විශේෂ අත්දැකීමක් වුණා.


සෙසු චරිත සඳහා ශලනි ක්ෂේත්‍රය තුළ ළඟින් ඇසුරු කරන නළුනිළියොද දායකකරගෙන තියෙන්නේ?


අනේ නැහැ⁣. හැකියාවට වඩා යාළුකමට ප්‍රමුඛත්වය දුන්නා නම් මට චිත්‍රපටය සාර්ථක කරගන්න ලැබෙන්නෙ නැහැ⁣. චරිතයට ගැළපෙන සහ හැකියාව තියන නළුනිළියො විතරයි ප්‍රේමියේ චිත්‍රපටයට මම සම්බන්ධ කරගත්තෙ.  


ප්‍රේක්ෂකයන්ට ප්‍රේමියේ නරඹන්න පුළුවන් කවද්ද?


ප්‍රේමියේ රූගතකිරීම් කටයුතු අවසාන කරලා මේ වෙද්දී post production ක්‍රියාවලියෙයි චිත්‍රපටය තියෙන්නෙ. සියලු වැඩ ඉක්මනින් අවසාන කරලා හැකිතාක් මේ වසර තුළ ප්‍රේක්ෂකයන්ට නරඹන්න ප්‍රේමියේ ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා.


අධ්‍යක්ෂවරියක් දක්වා යන්න සැමියාගෙන් ලැබුණ ඉඩ කොහොමද ?


මම රංගන ශිල්පිනියක් විදිහට වැඩ කරන අතරතුරේදියි එයාව මට හම්බවෙලා දැනඅඳුරගෙන ආශ්‍රය කරලා විවාහ වුණේ. සැමියා දන්නවා කලාව මගේ වෘත්තිය කියලා සහ මම කලාවට කොච්චර ආදරය කරනවද කියලා. විවාහවෙලා කැනඩාවට ගිහින් ඉද්දි මම පැය ගණන් අරගෙන තිරපිටපත ලියනකොට එක විනාඩියක්වත් එයා මට බාධා කරලා නැහැ⁣. මම ලංකාවට ඇවිත් රූගතකිරීම්වලට සහභාගීවෙනකොට නිහත හිටියෙ කැනඩාවේ. රූගතකිරීම් කරනකොට මගේ ෆෝන්එක මම ඕෆ් කරලා තියන්නෙ. කවදාවත් නිහත මගෙන් අහලා නැහැ⁣ ෆෝන් ඕෆ් කරන් මොනවද කරන්නෙ කියලා. ක්ෂේත්‍රයේ අපිට අහන්න දකින්න ලැබෙනවා පෙම්වතාට වීඩියෝ කෝල් අරන් පෙන්නන්න ඕන කියලා තමන් කොහෙද ඉන්න ඕන කියලා. හැබැයි මගේ සැමියා මාව තේරුම් අරගෙන මට උපරිම නිදහස දීලා තියනවා. එයා නිතරම මට කියන්නෙ කලා ක්ෂේත්‍රයේ ඉහළටම යන්න කියලා. මම අධ්‍යක්ෂවරියක් දක්වා ආපු ගමනෙදී සැමියා මට දුන්න නිදහස සහ විශ්වාසය මට ලොකු පිටිවහලක් වුණා.


සිනමාවෙ වැඩකරන බහුතරයක් පිරිමි අතරෙ ගැහැනු මුලපිරීම ගැන අදහස මොකක්ද?


කලාවට ගැහැනු පිරිමි බේදයක් අවශ්‍ය නැහැ⁣ කියලයි මම විශ්වාස කරන්නෙ. කලා ක්ෂේත්‍රය ගැන හැදිලා තිබුණ කටකතා නිසා ඉස්සර ගෑනු ළමයි වැඩිය ක්ෂේත්‍රයට ආවෙ නැහැ⁣. හැබැයි මෑත කාලය වෙද්දී කාන්තා අධ්‍යක්ෂවරු, කාන්තා සහාය අධ්‍යක්ෂවරු, කාන්තා කැමරාකරුවො ක්ෂේත්‍රයට ඇවිත් ඉන්නවා. ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් කාන්තාවන්ගේ පැමිණීම හොඳ ප්‍රවනතාවයක් විදිහටයි මම දකින්නෙ.


රංගන ශිල්පිනියක් විදිහට ඉදිරියෙදි ශලනිව දකින්න නොලැබෙයිද?


අනේ නැහැ⁣. සිනමා අධ්‍යක්ෂවරියක්වීම මගේ ජීවිතයේ තවත් එක පියවරක් විතරයි. රඟපාන්න පුළුවන්කම තියාගෙන රංගන හැකියාව අපතෙ හරින්න මම සූදානම් නැහැ⁣. මම රංගනයෙන් දායකවෙන ටෙලිනාට්‍ය සහ චිත්‍රපට දිගටම රසිකයන්ට දකින්න පුළුවන්.


ශලනිට එල්ල වුණ මඩ ප්‍රහාර එක්ක නොසැලී මේ තාක් දුර ආවෙ කොහොමද?


මට ගහපු මඩ ගැන රටේ මිනිස්සු ඕනෙ තරම් දන්නවා. මඩ ගැහුවෙම මාව මානසිකව වට්ටවලා කලා ක්ෂේත්‍රයේ යන ගමන නැති කරන්න. ඒක තේරුම් අරගෙන මම දණිස්සෙන් උඩටවත් මඩ ප්‍රහාර මායිම් කළේ නැහැ⁣. කොච්චර මඩ ගැහුවත් අවසානයේ මගේ හැකියාවෙන් ආපු ගමන නවත්තන්න කාටවත් පුළුවන් වුණේ නැත්තෙ මට මං ගැන හොඳ ආත්මවිශ්වාසයක් තියන නිසයි.


ළඟින් ඇසුරු කරන යාළුවොම සමහර වෙලාවට මඩ ගහන අවස්ථා තියනවා. ක්ෂේත්‍රය තුළ අවංක යාළුවො තියාගන්න පුළුවන්ද?


ක්ෂේත්‍රය තුළ අවංක යාළුකම් පවත්වන්න බැහැ. සමහර වෙලාවට අපිත් එක්ක හොඳට ආශ්‍රය කරන කෙනා පටු වාසි බලාපොරොත්තුවෙන් ඊළඟ මෙහොතෙ අපිට විරුද්ධව වැඩ කරන අවස්ථා තියනවා. ඒ නිසා යාළුවො කවුද කියන එක අවබෝධ කරගෙන සීමාවක් ඇතුව ආශ්‍රය කරන්න ඕන කියන අදහසේ මම ඉන්නවා.


ශලනි හැමදාම එකම විදිහට ලස්සනට ඉන්නෙ කොහොමද?


ඇගේ හැඩය ගැන කිව්වොත් සමහර කාලවලදි මම මහත්වෙන අවස්ථා තියනවා. හැබැයි මම workout සහ කෑම පාලනය කරලා ආපහු සිහින් තත්ත්වයට එනවා. මේ දවස්වල සිහින් විදිහට ඇඟ හදාගෙන ඉන්නෙ. පෙනුම ගැන කිව්වොත් මම කාටවත් ඊර්ෂ්‍යා කරන්නෙ නැතුව වෛර කරන්නෙ නැතුව හිත පිරිසුදුව තියාගෙන ජීවත්වෙන නිසා මගේ පෙනුම ඉස්සර වගේම වෙනසක් නැතුව අදත් එක හා සමානව තියනවා. 

 

More News..