brand logo
logo
ගුරුවරු නැතුව කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ

ගුරුවරු නැතුව කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ

21 October 2026

නොබෝදා බදුල්ලේ පැවැති ජාතික ජන බල⁣වේගයේ කාන්තා සමුළුව ගැන කොතෙකුත් ඕපාදූප සමාජ මාධ්‍යවල සංසරණය වෙයි. එහෙත් අප ලියන්නට යන්නේ ඒ ලටප⁣ට නොවේ. අග්‍රාමාත්‍ය හා අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය එහිදී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කීවක් සම්බන්ධවය.


ලබන අවුරුද්දේ පටන් ⁣2 වසරට හා 6 වසරට අලුත් විෂය මාලාවක් හඳුන්වා දෙන බව එහිදී ඈ අනෙකුත් කතා අතරේ කියා සිටියාය. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල පරමාර්ථය වන්නේ දැනට පවතින විභාග මූලික කරගත් අධ්‍යාපනයේ වෙනසක් ඇති කිරීම බවද මෙහිදී ඇය විසින් කියා සිටින ලදී. මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම් වස් නවක ගුරුවරුන් 30,000ක් ජනවාරි වන විට බඳවා ගන්නා බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.


බදුල්ලේ රැස්වීමේදී ඈ කී දේට පිළිතුරු දෙනු පිණිස ලංකා ගුරු සංගමය පෙරේදා කොළඹදී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූයේය. එකී සංගමයේ සභාපති ජෝසප් ස්ටාලින් එහිදී කියා සිටියේ අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කරන දෑ ක්‍රියාවට නැංවීමට නොහැකි බවය. ඔහු පෙන්වා දුන්නේ දැනට පවතින දැඩි ගුරු හිඟය ඊට තදින් බලපාන බවය.


මේ ආණ්ඩුව මුලදී කියා සිටියේ රටේ ගුරු ඇබෑර්තු 46,000ක් පවතින බව වුවත් පසුව ඒ ගණන 36,000ක් හැටියට වෙනස් කළ බවද ගුරු සංගම් නායකයා කියා සිටියේය. ඒ ගණන් හිලව්වල හරිවැරැද්ද කුමක් වුවත් මේ කියන පුරප්පාඩු ප්‍රමාණය දැන් අවුරුදු එකහමාරක් තිස්සේ පාසල්වල පවතියි. ආණ්ඩුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරන්නට තනන්නේ ඒ ගැටලුවට නිසි විසඳුමක් නොදීය.


පුදුමය වන්නේ ගුරු පුරප්පාඩු 36,000ක් ඇති බව ආණ්ඩුවම පිළිගෙන තිබියදීත් ඔවුන් බඳවාගන්නට යන්නේ නවක ගුරුවරුන් 23,000ක් පමණක් වීමය. සංඛ්‍යාත්මකව ගතහොත් තවත් පුරප්පාඩු 13,000ක් තිබෙන බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. එහෙත් කතන්දරය එතැනින් ඉවර වන්නේ නැත.


එහෙත් ගුරුවරුන් 23,000ක් බඳවාගන්නට යන බව කියන අධ්‍යාපන අමාත්‍යාංශය ගුරු ඇබෑර්තු පිරවීම සඳහා සම්මුඛ පරීක්ෂණයට කැඳවා ඇත්තේ 17,000ක් පමණය. එසේ ගත් කල තවදුරටත් ගුරු ඇබෑර්තු 19,000ක් එසේම පවතියි. අමාත්‍යවරිය බදුලු රැස්වීමේදී නවක ගුරුවරුන් 30,000ක් බඳවා ගන්නේ යැයි කී කතාව මේ සංඛ්‍යාවන් කිසිවක් සමග ගැළපෙන්නේ නැත.


දිගින් දිගටම පුරප්පාඩු නොපිරවීම හේතු කොට ගෙන ගුරු සේවයේ පවතින තවත් අර්බුද තිබේ. ඇතැම් ගුරුවරුන් ස්ථාන මාරුවක් ගත නොහැකිව අවුරුදු දහයකට වඩා එකම පාසලේ සේවය කර තිබීම ඉන් එකකි. ඔවුන් ස්ථාන මාරුවීම් ඉල්ලා ඇතත් අනුප්‍රාප්තිකයන් නොමැති හෙයින් ඒ ලැබෙන්නේ නැත. මේ අන්දමට එසේ ස්ථාන මාරු අපේක්ෂාවෙන් කාලයක් තිස්සේ බලාසිටින ගුරුවරුන් දහස් ගණනකට තවත් අවුරුද්දක් හිටි තැනම හිඳින්නට වන ලකුණු පෙනෙන්නට තිබේ.


ඒ අතරේ දැන් දැන් මේ ආණ්ඩුව ළමයින් 50ට අඩු පාසල් වසා දැමීමට ⁣විශාල උනන්දුවක් දක්වන බව පෙනෙන්නට තිබේ. ජෝසප් ස්ටාලින් පෙන්වාදෙන්නේ එසේ කරන්නට තනන්නේ අනියම් පරමාර්ථයකින් බවයි. ඒ වසාදමන පාසල්වල ගුරුවරුන්ගෙන් ගුරු හිඟය පියවා ගැනීමටය.


කාලයට ගැළපෙන ආකාරයට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුවිය යුතු බව ඇත්තය. වැලිපිල්ලේ ලියූ අකුරු ගල්ලෑල්ලටත්, ගල්ලෑල්ලේ ලියූ අකුරු අභ්‍යාස පොතටත් මාරුවූ පරිද්දෙනි. අපේ රට ලෝකයට පසුපසින් සිටියද අභ්‍යාස පොතද දැන් කොම්පියුටරයට මාරුවී හමාරය.


එහෙත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුවිය යුත්තේ බාගෙට නොවේ. ළඟම පාසල හොඳම පාසල යැයි කියන පල් බොරුව ප්‍රවර්ධනය කරන අමාත්‍යාංශයක බාගෙට කරන වැඩ ඉතා සැකසහිතය. එවැනි ප්‍රතිසංස්කරණවලින් වෙන්නේ එදා ජනතා විමුක්ති පෙරමුණ කී පරිදි "කොළඹට කිරි ගමට කැකිරි" ලැබීමය.


මේ ආණ්ඩුව මීට පෙරාතුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වා දුන් අවස්ථාවේද ඒ දැඩි විවෙිචනයකට භාජනය වූ බව රටට අමතක නැත. 2 වසරට හා 6 වසරට හඳුන්වා දෙන අලුත් ප්‍රතිසංස්කරණ තවමත් ප්‍රසිද්ධියට පත්වී නැති බැවින් ඒ ගැන අදහසක් දැක්වීමට තවමත් පුළුවන්කමක් නැති බව ඇත්තය. එහෙත් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පිරිස් බලය නොමැතිව ඒ හඳුන්වාදීම නම් සුබ ලකුණක් නොවන බව නම් කිවයුතුවම තිබේ.

 

More News..