ඇකඩමි 2ක් ඇත්තෙක් පරිවර්තන කමිටුවේ ආශිර්වාදයෙන් ක්‍රිකට් තේරීම් කමිටුවේ
14 August 2026 | ඉන්ද්‍රජිත් සුබසිංහ
ඇකඩමි 2ක් ඇත්තෙක් පරිවර්තන කමිටුවේ ආශිර්වාදයෙන් ක්‍රිකට් තේරීම් කමිටුවේ
14 August 2026 | ඉන්ද්‍රජිත් සුබසිංහ
තේරීම් සඳහා වගකීම පැවරෙන සාමාජිකයකු සතුව පුහුණුකිරීමේ පාසල් පැවතීම බරපතල සදාචාරාත්මක සහ නීති ගැටළු මතුකරවන්නක් නමුත්, ක්‍රිකට් පරිවර්තන කමිටුවේ ආශිර්වාදය මත පත්වූ ක්‍රිකට් තේරීම් කමිටුවේ සාමාජිකයකු සතුව ක්‍රිකට් ඇකඩමි දෙකක් පවතින බව ‘අරුණ‘ට අනාවරණය විය.
එසේම ක්‍රිකට් ඇකඩමියක් පවත්වාගෙන යෑමේදී, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අනුබද්ධිත බස්නාහිර පළාත් ක්‍රිකට් සංගමය යටතේ ලියාපදිංචි වීම අනිවාර්ය නමුත්, අදාළ පුද්ගලයා සතු කිසිදු ඇකඩමියක් මේ වන විට එලෙස ලියාපදිංචි කර නොමැති බවද සැලවුණි.
ඉකුත්දා කොළඹ ක්‍රීඩාංගණයක පුහුණුව සඳහා පැමිණි ක්‍රීඩකයකු සහ එම ක්‍රීඩාංගණයට සම්බන්ධ සේවකයකු අතර ඇතිවු ගැටුමකින් අනතුරුව අදාළ සේවකයා මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ‘අරුණ’ විසින් සිදුකරන ලද වැඩිදුර තොරතුරු සොයාබැලීමකදී මෙම කරුණු හෙළිවූ අතර එම සිද්ධියට සම්බන්ධ ක්‍රීඩකයා පුහුණුව ලැබූ ඇකඩමිය ද (වෙනත් අයකු නාම මාත්‍රිකව පෙරටු කරගනිමින්) ක්‍රියාත්මක කරනු ලබන්නේ මෙකී තේරීම් කමිටු සමාජිකයා විසින් බව පැවසුණි.
2025.05.21 අංක 2437/24 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව ජාතික සංගමයක තේරීම් කමිටුවක සමාජිකයකු හට පුහුණුකටයුතු ආදිය සමග සෘජුව හෝ වක්‍රව යෙදීම සඳහා අවසර නොමැති අතර, තේරීම් කමිටු සාමාජිකයකු ලෙසින් යම් අයෙකු අයැදුම් කිරීමේදී, තමන් ක්‍රීඩාවේ පුහුණු කටයුතු සම්බන්ධයෙන් එවන් යෙදීමක් නැති තැතැන්තකු බවට අදාළ අයැදුම් පත්‍රයේ අයැදුම්කරු විසින්ම සහතික කළ යුතුය.
එසේ තිබියදී මෙකී පුද්ගලයා තේරීම් කමිටු සාමාජිකයකු ලෙසින් නම් කළේ කුමන නීතිමය ප්‍රතිපාදනයක් යටතේද යන්න පැනයකි.
මේ වන විට එකී ක්‍රිකට් පරිවර්තනය පැවරී ඇති පිරිස කොළඹ එක්තරා ක්‍රීඩා සමාජයක් කේන්ද්‍රකරගත් මෙන්ම බොහෝ ක්‍රිකට් වරදාන සහ වරප්‍රසාද එම ක්‍රීඩා සමාජය මුල් කරගනිමින් සිදුකරන බවට රාවයක් පවතින අතර මෙකී තේරීම් කමිටු සාමාජිකයාද එම ක්‍රීඩා සමාජය සමග ප්‍රබල සම්බන්ධයෙක් ඇත්තෙකි. එසේම මොහුගේ ක්‍රිකට් ඇකඩමියක් එම ක්‍රීඩා සමාජයේද ක්‍රියාත්මක බව ‘අරුණ’ට තහවුරු විය. මෙහිදී ක්‍රීඩකයකු එකී ඇකඩමියට ඇතුළත් කිරීමට අපේක්ෂා කරන අයුරින් ‘අරුණ’ විසින් ලබාගත් උපායමාර්ගික දුරකථන ඇමතුමකදී ‘‘ඇඩකමියට දානවා නම් .................. (අදාළ තේරීම් කමිටු සාමජිකයාගේ නම) ට කෙළින්ම කථාකරන්න’’ යැයි පිළිතුරු ලැබුණු අතර එම ඇමතුම සනාථ කිරීමේ සාක්ෂිද අප සතුව ඇත.
මෙම ක්‍රිකට් පරිවර්තන කමිටුව පත්වූ විගසම 2027 දෙසැම්බර් දක්වා සේවා කාලයක් හිමිව තිබූ, එවක පැවැති තේරීම් කමිටුව ඉවත් කරමින්, මෙකී පුද්ගලයාද ඇතුළත් තේරීම් කමිටුවක් පත්කිරීමට යුහුසුළු වූ අතර නිසි නීතිමය තත්ත්වයන් නොවිමසා සිදුකළ එම කටයුත්තෙන් අනතුරුව, පැවැති තේරීම් කමිටු සාමජිකයන් සිව් දෙනෙකු හට රුපියල් ලක්ෂ 100කට වැඩි මුදලක් පිරිනමමින් ඔවුන් නඩුමගට යෑමෙන් වලකාලීමටද ක්‍රියා කළේය.
විශේෂ සටහන
මෙම ගවේෂණය සඳහා මගපෑදූ ඉකුත්දා කොළඹ ක්‍රීඩාසමාජයකදී සිදුවූ එකී අවාසානාවන්ත සිදුවීමේ, සැකකාර ක්‍රීඩකයා 17වැනි වියේ පසුවන බව කියැවුණි. ඒ අනුව මෙම වයසේ ක්‍රීඩකයෙක් යනු වයස අවුරුදු 19න් පහළ ජාතික කණ්ඩායම ආදියට ඇතුළත්වීමට සරිලන වයසක පසුවන්නෙකි. ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයකු මෙලෙස සෘජුව හෝ වක්‍රව ක්‍රිකට් ඇකඩමි පවත්වාගෙන යෑමේදී ඔහු යටතේ පුහුණුව ලබන මෙම වයස්කාණ්ඩයේ ක්‍රීඩකයෙකුට එවැනි කණ්ඩායමකට ඇතුළත්වීම පිණිස එය අනියම් වාසියක් නොවන්නේ යැයි කිවහැක්කේ කාටද? එය පැහැදිළිවම ළබැඳියාවන් පිළිබඳ ගැටළුවක් මතුකරවන්නකි. එසේ තිබියදී ඉතාම ප්‍රසිද්ධියේ ඇකඩමි හෙවත් පුහුණු පාසල් පවත්වාගෙන යන අයකු මෙලෙස තමන් විසින් තේරීම් කමිටු සාමාජිකයකු ලෙස නම් කිරීම සම්බන්ධයෙන් ක්‍රිකට් පරිවර්තන කමිටුව පිළිතුරු බැඳිය යුතුය. (ඔහු යටතේ වන ඇකඩමි ලියාපදිංචියෙන් තොරව පවත්වාගෙන යෑමට බලය ලැබී තිබීම වෙනම සාකච්ඡා කළ යුත්තකි)
මෙම ක්‍රිකට් පරිවර්තන කමිටුව පත්කළේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව යහපත් පරිවර්තනයකට ලක්කළ යුතුය යන අඬබෙරය සමගිනි. නමුත් එහිදී සිදුවූ පරිවර්තනය යනු ක්‍රීඩා පනතේ රෙගුලාසි තුට්ටුවකට මායිම් නොකර සිය හිතවතුන්ට වරදාන වරප්‍රසාද පිරිනැමීම ද?

