brand logo
logo
නීතිවිරෝධී සූදු වෙබ් අඩවි 146ක් අවහිර කිරීමට TRCSLයෙන් නියෝගයක්

නීතිවිරෝධී සූදු වෙබ් අඩවි 146ක් අවහිර කිරීමට TRCSLයෙන් නියෝගයක්

06 August 2026

ශ්‍රී ලංකාවේ ඇති බලපත්‍ර රහිත මාර්ගගත සූදු වෙබ් අඩවි 146ක් අවහිර කරන ලෙස සියලුම විදුලි සංදේශ සේවා සපයන්නන්ට උපදෙස් ලබාදී ඇති බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.


නීතිවිරෝධී මාර්ගගත සූදු ක්‍රියාකාරකම් මැඩපැවැත්වීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති අතර, අදාළ වෙබ් අඩවි වෙත ශ්‍රී ලංකාව තුළින් ප්‍රවේශය අවහිර කිරීමට සියලුම විදුලි සංදේශ සේවා සපයන්නන්ට දැනුම් ඇතැයි ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් බන්දුල හේරත් මහතා සඳහන් කළේය.


මෙම නියාමන පියවර ගෙන ඇත්තේ මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය විසින් 2025 අංක 17 දරන සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පනතේ ප්‍රතිපාදන හා බලතල ප්‍රකාරව සිදු කළ දැනුම්දීමකට අනුවය.


සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පෙන්වා දෙන්නේ, එම පනතේ 15, 16 සහ 18 වගන්ති යටතේ නියමිත වලංගු බලපත්‍රයකින් තොරව ශ්‍රී ලංකාව තුළ අන්තර්ජාල සූදු සේවා පවත්වාගෙන යාම හෝ ඒවා ප්‍රවර්ධනය කිරීම, පනතේ 44 වගන්තිය අනුව දඬුවම් ලැබිය හැකි නීතිවිරෝධී වරදක් බවයි.


 

More News..