brand logo
logo
කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු 5කට ඇප

කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු 5කට ඇප

23 October 2026


විශ්‍රාමික ගුරුවරියක සහ ඇගේ ඉංජිනේරු පුත්‍රයා නීතිවිරෝධී ලෙස රඳවා තබා කායික හා මානසික හිංසනයට ලක් කළ බවට වූ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජාතික ජනබලවේගයට බලය හිමි කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු පස්දෙනෙකු ඇප මත මුදා හරින ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.


සභාවේ සභාපතිවරයා ඇතුළු පිරිස ඊයේ (22) අත්අඩංගුවට ගෙන ඇත්තේ තිහගොඩ පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුවය.


කිරින්ද නගරයේ වඩිගවත්ත මාර්ගයේ තාප්පයක් ඉදිකිරීම සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මෙම සිද්ධියට මුල් වී ඇති බව වාර්තා වේ.


පැමිණිලිකාර විශ්‍රාමික ගුරුවරියගේ ඉංජිනේරු පුත්‍රයා මෝටර් රථයක් මිලදී ගෙන නිවසට රැගෙන ඒමෙන් පසු, අසල්වැසි ඉඩමේ පදිංචි ප්‍රාදේශීය සභාවේ තාක්ෂණ නිලධාරියෙකු විසින් එම මෝටර් රථය නිවසින් පිටතට ගැනීමට බාධා වන ආකාරයෙන් තාප්පයක කොටසක් ඉදිකර ඇති බව වාර්තා වේ.


එහිදී අනාවරණය වී ඇත්තේ අදාළ තාක්ෂණ නිලධාරියා නිවාඩු දින කිහිපයක් ලබාගෙන මෙම ඉදිකිරීම සිදුකර ඇති බවටය.


ඒ අනුව ඇතිවූ ගැටලුකාරී තත්ත්වය මත තාප්පය ඉදිකිරීමේ නීත්‍යානුකූලභාවය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සහ මානව හිමිකම් කොමිෂන් සභාවට අදාළ වාර්තාවක් සකස් කිරීමට බව පවසමින් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විශ්‍රාමික ගුරුවරිය සහ ඇගේ පුත්‍රයා ඊයේ ප්‍රාදේශීය සභාව වෙත කැඳවා ඇති බව සඳහන් වේ.


එහිදී ඔවුන් දෙදෙනා ප්‍රාදේශීය සභාවේ කාමරයකට ඇතුළු කර සිරකර තබා කායික හා මානසික හිංසනයට ලක් කර ඇති බවට වාර්තා වේ.


අනතුරුව විශ්‍රාමික ගුරුවරිය සහ ඇගේ පුත්‍රයා සිද්ධිය සම්බන්ධයෙන් තිහගොඩ පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.


ඒ අනුව සිදුකළ විමර්ශනවලින් අනතුරුව, නීතිය සහ දේශපාලන බලය අයුතු ලෙස භාවිත කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ නිලධාරීන් ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.


එහිදී පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් මාතර අධිකරණයට කරුණු වාර්තා කිරීමට ද පියවර ගෙන ඇති අතර ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් වූ නඩුව මාතර මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාග විය.


එහිදී දෙපාර්ශ්වයේ කරුණු මත අත්අඩංගුවට ගත් කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු සැකකරුවන් පිරිස ශරීර ඇප මත මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

 

More News..