brand logo
logo
දැන් ඉන්නේ ‘පොහොසත් ආණ්ඩුවක දුප්පත් ජනතාවක්’

දැන් ඉන්නේ ‘පොහොසත් ආණ්ඩුවක දුප්පත් ජනතාවක්’

28 October 2026 | සංවාදය - ජයසූරිය උඩුකුඹුර

මෙරට ප්‍රධාන විපක්ෂය හැටියට සමගි ජන බලවේගය ජනතාව වෙනුවෙන් පෙනී සිටිමින් ආණ්ඩුවේ වැරැදි අඩුපාඩු පෙන්වා දෙන විට, එය දරාගත නොහැකි ආණ්ඩුවේ පිරිස්, විපක්ෂ නායකවරයාටත් සමගි ජන බලවේගයටත් අභූත චෝදනා නඟන බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර කියයි. ආණ්ඩුවෙන් කුමන බලපෑම් ආවත් රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා සමගි ජන බලවේගය නොපැකිළව, කොන්දේසි විරහිතව පෙනී සිටින බවද ඔහු අවධාරණය කරයි. ඒ ගැන මෙන්ම තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සමග "අරුණ" කළ සාකච්ඡාවකි මේ.


මෙරට ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය මේ වන විට රටේ ජනතාවගෙන් ඈත්වෙමින් තිබෙනවා නේද?


ඔබ එහෙම කියන්නේ කුමන කාරණාවක් පදනම් කරගෙනද?


එහෙම නැත්නම් පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරී සාමාජිකයන් හිටි හැටියේම පක්ෂය අතහැරලා යන්නේ ඇයි?


සමගි ජන බලවේගයට සම්බන්ධ කවුරුවත් පක්ෂය දාලා ගිහිල්ලා නෑ. යන්නෙත් නෑ. කුරුණෑගල අශෝක් අබේසිංහ පක්ෂ සංවිධායක ධුරයෙන් ඉවත් වෙන්න ඉල්ලීම් කරලා තියෙනවා. ඒ වුණත් එතුමා තවමත් පක්ෂයේ සංවිධායක ධුරයේ ඉන්නවා. එතුමා සංවිධායක ධුරයෙන් ඉවත් වීම සඳහා ඉල්ලීම් කිරීමට හේතු වූ කරුණු පිළිබඳව මේ දිනවල අපි කතා කරමින් ඉන්නවා. කොහොම වුණත් ඔහු තවමත් අපේ පක්ෂයෙන් ඉවත් වෙලා නෑ. වෙන කවුරුත් පක්ෂයෙන් ඉවත් වෙනවා කියලත් නෑ. ගම්මට්ටමේ ජනතාව දැන් සීඝ්‍රයෙන් සමගි ජන බලවේගය වටා එකතු වෙමින් ඉන්නවා. අනෙකුත් දේශපාලන පක්ෂවල කඹ ඇදිලි හා මතවාද නිසා ගමේ ජනතාවට දැන් තියෙන එකම තැන සමගි ජන බලවේගය පමණයි. අපි ඒ හැමෝම එකතු කරගෙන අපේ පක්ෂය ශක්තිමත් කරන වැඩපිළිවෙළක් දිවයින පුරා ක්‍රියාත්මක කරමින් ඉදිරියට යනවා.


විපක්ෂ නායකවරයා තමන්ගේ වගකීම ජනතාවාදීව ඉටුකරන්නේ නෑ කියලත් චෝදනාවක් තියෙනවා නේද?


සමගි ජන බලවේගය වටා මේ රටේ පොදු මහජනතාව ඒකරාශී වීම වළක්වන්න ආණ්ඩු පාර්ශ්වයෙන්ම විවිධ බොරු බේගල් නිර්මාණය කරනවා. ඔය කියන චෝදනාවත් ඒ වගේම බොරුවක්. හොරු අල්ලනවා කියලා ජනතාවට පොරොන්දු වෙමින් තමයි ජාතික ජන බලවේගය ආණ්ඩු බලය ගත්තේ. නමුත් බලයට ආ පසුව ඔවුනුත් හොරකම් කරන්න පටන් අරගෙන තියෙනවා. ප්‍රධාන විපක්ෂය විදිහට අපි වත්මන් ආණ්ඩුවේ ඇමැතිවරුන්ගේ දූෂණ වංචා හෙළිදරව් කළා. ගල් අඟුරු වංචාව, කන්ටේනර් වංචාව හා මහ බැංකුවේ මුදල් අතුරුදන් වීම ගැන රටට කරුණු හෙළිදරව් කළේ අපි තමයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22වැනි සංශෝධනයට එරෙහිව ජනතාව සමග පාරට බැස්සේත් සමගි ජන බලවේගයයි. ආණ්ඩුවේ වැරදි ගැන පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරන්නේත් අපිමයි. වෙන කවුද ආණ්ඩුවට එහෙම අභියෝග කරන්නේ? ආගමික සහජීවනයට, ජාතික සමගියට මේ ආණ්ඩුව අකුල් හෙළන විදිහ ගැන අපි සාක්ෂි සහිතව ජනතාවට කරුණු ඉදිරිපත් කරලා තිබෙනවා. දේශපාලන නායකයන් හිර කරලා, දේශපාලන පක්ෂ විනාශ කරලා, ඒකාධිපති පාලනයකට මේ ආණ්ඩුව රට මෙහෙයවන බව අපි ජනතාවට ඔප්පු කරමින් ඉන්නවා. මේ නිසා ආණ්ඩුවට දැන් විපක්ෂ නායකවරයා සහ සමගි ජන බලවේගය හිසරදයක් වෙලා තියෙන්නේ. ඒ නිසා ආණ්ඩුව අපේ පක්ෂය විනාශ කරන්න බොරු මතවාද සමාජගත කරනවා. ඒත් මොන බලපෑම් ආවත් රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න සමගි ජන බලවේගය නොපැකිළව, කොන්දේසි විරහිතව පෙනී ඉන්නවා. නීතිය හැමෝටම සමානයි කිව්වට, වර්තමාන ආණ්ඩුවේ අයට ඒක අදාළ වෙලා නෑ. අධිකරණය ස්වාධීනයි කිව්වට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22වැනි සංශෝධනයෙන් එය උල්ලංඝනය වී තිබෙනවා. මුළු ලෝකයම දැන් ශ්‍රී ලංකාවේ ආණ්ඩුවේ ක්‍රියාකලාපය පිළිබඳව අවධානයෙන් ඉන්න බව ආණ්ඩුව තේරුම් ගත යුතුයි. ලෝකයේ මානව හිමිකම් සංවිධානත් ආණ්ඩුවට රතු එළි දක්වමින් ඉන්නේ. ඒ නිසා හිතන තරම් ලේසියෙන් ආණ්ඩුවට වුවමනා දේවල් කරන්න පුළුවන් වෙයි කියලා හිතන්න එපා කියලයි අපි කියන්නේ.


දැනට සිරගත වී සිටින ඥානසාර හිමියන්ගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ ස්ථාවරය මොකක්ද?


ඥානසාර හිමියන්ගේ වරදේ ස්වභාවය කුමක්ද යන්න පිළිබඳව අපි මුලින්ම අවධානය යොමු කළ යුතුයි. ඒ සම්බන්ධයෙන් අධිකරණය දුන් තීන්දුව ගැන අපි කතා නොකර ඉමු. අධිකරණයට ඉදිරිපත් වන කරුණු අනුවයි තීන්දු ප්‍රකාශයට පත් කරන්නේ. රජය ඒ සම්බන්ධයෙන් කටයුතු කර තිබෙන ආකාරය පිළිබඳව අපි අවධානය යොමු කළ යුතුයි. ඥානසාර හිමියන් සම්බන්ධයෙන් ඇති වී තිබෙන ප්‍රශ්නය දැන් අපිට පැහැදිලියි. උන්වහන්සේගේ වරදට ගරු අධිකරණය දඬුවමක් නියම කරලා තිබුණා. ඉන් පසුව ජනාධිපති සමාවකට යටත් කරලා උන්වහන්සේ නිදහස් කළා. ඒ ජනාධිපති සමාව අභියෝගයට ලක් කරමින් නැවැත ඥානසාර හිමියන් රිමාන්ඩ් භාරයට පත්කරලා තියෙනවා. ඒ අතරම උන්වහන්සේ නැවැත රිමාන්ඩ් භාරයට පත් කිරීමට එරෙහිව අධිකරණයට අභියාචනාවක් ගොනු කර තිබෙනවා. කොහොම වුණත් භික්ෂුවකගේ චීවරය ඉවත් කරන්න පුළුවන් ඒ භික්ෂුව අයත් නිකායට හෝ පාර්ශ්වයට පමණයි. තමන්ට නැති බලයක් පෙන්වන්න රජය කටයුතු කිරීම තමයි මේ ප්‍රශ්නය දිග් ගැස්සෙන්න ප්‍රධානම හේතුව. මේ වස්සාන කාලේ හාමුදුරුවන් වහන්සේලා වස් සමාදන් වෙලා විහාරස්ථානවල වැඩ සිටිය යුතු පසුබිමක, උන්වහන්සේලා පාරට ඇදලා දාලා වත්මන් ආණ්ඩුව මේ කරන්නේ බෞද්ධාගම විනාශ කිරීමේ වැඩපිළිවෙළක් කියන එක අපි බොහොම පැහැදිලිව කියනවා. ආණ්ඩුව හිතන තරම් ලේසියෙන් බෞද්ධාගම විනාශ කරන්න හෝ භික්ෂුත්වයේ ගෞරවය නැති කරන්න පුළුවන් වෙන්නේ නෑ. අද ලංකාවේ අපේ හාමුදුරුවන්ට වන කෙනෙහිලිකම් ගැන මුළු ලෝකයේම බෞද්ධ රටවල් අවධානයෙන් ඉන්නේ.


අපේ රටේ භික්ෂූන් වහන්සේලාට සහ බෞද්ධාගමට අත්වී ඇති ඉරණම ගැන සාකච්ඡා කරන්න මල්වතු පාර්ශ්වයේ මහනායක හිමියන් මුණගැහෙන්න ගිය ඔබ ඇතුළු කණ්ඩායම කොරහේ කිඹුල්ලු පෙන්වන්න ගිහින් නා ගත්තා කියලත් සමහරු කියනවනේ?


අපි එදා මහනායක හාමුදුරුවන් හමු වුණේ වත්මන් රජය බුද්ධ ශාසනයට සහ බෞද්ධ භික්ෂුවට කරන අකටයුතුකම් ගැන කියන්නයි. ජනතා විමුක්ති පෙරමුණේ පිරිස් භික්ෂූන් ඝාතනය කළ ආකාරය ගැන අපි එදා පැහැදිලි කිරීමක් කළා. ජනතා විමුක්ති පෙරමුණේ උදවිය කතරගමට වගේම ශ්‍රී දළදා මාලිගාවටත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කළා කියලා අපි සිහිපත් කළා. මහනායක හාමුදුරුවෝ අපි කිව්ව කාරණයක් නිවැරැදි කළා. බෝම්බ ගැහුවේ නෑ, වෙඩි තියලා ආරක්ෂකයන්ගේ තුවක්කු පැහැර ගත්තා කියලයි උන්වහන්සේ කිව්වේ. බෝම්බ ගැහුවමත් වෙන්නේ භීෂණයක්, මිනී මැරීමක් හා දේපළ විනාශයක්. වෙඩි තැබීමේ ප්‍රතිඵලයත් ඒකමයි. ඔය දෙකම ත්‍රස්ත ක්‍රියාවන්. ඒකෙන් පැහැදිලි වෙන්නේ මහනායක ස්වාමීන් වහන්සේ පවා ජනතා විමුක්ති පෙරමුණේ භීෂණය, මිනීමැරීම සහ දේපළ විනාශය පිළිගන්නා බවයි. හිටපු දියවඩන නිලමේවරයාත් පැහැදිලිව කියලා තියෙනවා, එදා එතුමාත් ජීවිතය බේරා ගත්තේ අසල තිබූ කානුවක සැඟවිලා කියලා. එදා ඒ ප්‍රහාරය එල්ල කළ අයගේ ඉලක්කය වී තිබෙන්නේ දළදාව හා උන්වහන්සේ තැන්පත් කර තිබෙන මංජුසාව පැහැර ගෙන යාම කියලත් සඳහන් වෙනවා. නමුත් සමාජ මාධ්‍ය තුළ ක්‍රියා කරන ආණ්ඩුවේ කුණු සෝදන කණ්ඩායමට ඒක තේරුම් ගන්න පුළුවන් වෙලා නෑ. ආණ්ඩුවත් ආණ්ඩුවේ කුණු සෝදන අයත් ක්‍රියා කරන්නේ අවබෝධයකින් නොවෙයි කියලා ඒකෙන්ම තේරෙනවා.


විපක්ෂයේ කණ්ඩායම් කිහිපයක් එකතු වෙලා ඒකාබද්ධ විපක්ෂය නමින් එකමුතුවක් ගොඩනඟා ගත්තා නේද? දැන් ඒකත් අඩපණ වෙලාද?


ඒකාබද්ධ විපක්ෂය විදිහට මේ රටේ වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපයට එරෙහිව සියලුම දේශපාලන පක්ෂ ඒකාබද්ධව ක්‍රියා කරන්න සූදානමින් ඉන්නවා. ඒ කටයුතු අඩපණ වෙලා හෝ අක්‍රීය වෙලා නෑ. අවශ්‍ය වෙලාවට අපි සියලු දෙනාම ජනතාවගේ පැත්තේ සිටිමින් ආණ්ඩුවට එරෙහිව ක්‍රියා කරන්න සූදානමින් ඉන්නවා. ඒ ඒ දේශපාලන පක්ෂවලට විවිධ න්‍යායපත්‍ර, විවිධ ප්‍රතිපත්ති තිබෙන්න පුළුවන්. ඒවා ඒ ඒ පක්ෂයේ අනන්‍යතාව සඳහා සකස් කරගෙන තිබෙන දේවල්. නමුත් වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය ජනතාවට හිරිහැරයක් නම්, ඊට එරෙහිව අපි පොදුවේ එක කණ්ඩායමක් විදියට පෙනී සිටින්න, කටයුතු කරන්න සූදානමින් ඉන්නවා. රටේ ජනතාවට බලපාන පොදු කාරණාවලදී අපි හැමෝටම එකට එකතු වී කටයුතු කරන්න පුළුවන්. නමුත් පක්ෂයක් විදියට සමගි ජන බලවේගය මේ රටේ මීළඟ ආණ්ඩුව පිහිටුවන්න සූදානමින් ඉන්නවා. ජනතාවත් අපිට ඒ සඳහා බල කරනවා.


සමගි ජන බලවේගයට ග්‍රාමීය මට්ටමෙන් විශාල ජන බලයක් තිබෙනවා කියලද ඔබ කියන්නේ?


ඔව්. දැන් අපේ ගම්මානවල ජනතාවට දේශපාලනිකව ඒකරාශී වෙන්න තිබෙන හොඳම තැන තමයි සමගි ජන බලවේගය. ඒ නිසා දැන් ගම්බද ජනතාව විශාල වශයෙන් අපේ පක්ෂය වටා එකතු වෙමින් ඉන්නවා. අපි පාර්ලිමේන්තුවේ ඒකපාක්ෂික කතානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරලා තිබෙනවා. මේ රටේ ගොවි ජනතාව මුහුණ දෙන දුෂ්කරතා ගැන පාර්ලිමේන්තුවේ හඬ නඟනවා පමණක්ම නොවෙයි, ගොවියා සම්බන්ධයෙන් ආණ්ඩුවේ නිද්‍රාශීලී ක්‍රියාකලාපයට එරෙහිවත් උද්ඝෝෂණ කරනවා. මේ වෙද්දී අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ජනතාවට දරා ගන්න බැරි තරමට ඉහළ ගිහින් තිබෙනවා. මේ ගැනත් අපි කටයුතු කරගෙන යනවා. විශේෂයෙන් ජනතාවගේ ජීවන වියදම අඩු කරන්න රජයට බලපෑම් කරමින් ඉන්නවා. මේ දේවල් ඉවසගන්න බැරි නිසයි ආණ්ඩුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා සම්බන්ධයෙන් බොරු ප්‍රචාරය කරන්න පටන් අරගෙන තියෙන්නේ. දැන් ජනතාව රවටන්න බෑ. මැතිවරණ වේදිකාවේ දුන්නු පොරොන්දු එකක්වත් මේ ආණ්ඩුව ඉටු කරන්නේ නෑ. ඒ පොරොන්දු ඉටු කරන්න සූදානම් බවක් පේන්නෙත් නෑ. ජනතාව අද ජීවිතය ගැටගහ ගන්න ලොකු සටනක් කරනවා. "පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්" කියලා ඒ අය කිව්වට, දැන් "පොහොසත් ආණ්ඩුවක දුප්පත් ජනතාවක්" කියලා තමයි කියන්න වෙන්නේ.


ජනතාවගේ ජීවන බර අඩුකිරීම සඳහා විපක්ෂය ආණ්ඩුවට බල කරමින් සිටිනවා කියලා ඔබ කිව්වා. ඒ ගැන තවත් පැහැදිලි කළොත්?


මේ වන විට අපේ රටේ ජනතාව කෝටි පහළොස් දහසක පමණ රන් භාණ්ඩ උගස් කර ඇති බව කියැවෙනවා. එයින් ගම්‍ය වෙන්නේ ග්‍රාමීය ජනතාව ජීවත් වෙන්න විශාල අරගලයක් කරන බවයි. ඉස්සර ආණ්ඩුවට සල්ලි නෑ කියලා තමයි කිව්වේ. අය වැය හිඟයක් තමයි ඉස්සර පෙන්නුම් කළේ. දැන් ආණ්ඩුව කියන විදියට ආණ්ඩුවට උතුරන්න සල්ලි වගේම අය වැය අතිරික්තයකුත් තිබෙනවා. නමුත් රටේ ජනතාවගෙන් බාගයකටත් වඩා හාමතේ. ආණ්ඩුව කරන්නේ බදුබර වැඩි කරලා ජනතාවගේ සල්ලි අරගෙන භාණ්ඩාගාරයේ ගොඩ ගහ ගන්න එකයි. එතකොට ජනතාව දුප්පත් වෙනවා. බදු අය කරමින් භාණ්ඩාගාරය පිරිලා කිව්වට, රටේ ආර්ථික වර්ධනය සියයට 4ක් වැනි අගයකයි තියෙන්නේ කියලා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පෙන්වා දෙනවා. බදු මුදල් එකතු කළාට රටේ නිෂ්පාදනය වැඩි වෙලා නෑ කියලයි එයින් පැහැදිලි වෙන්නේ. ගොවියා දුප්පත් වෙලා මිස කෘෂි නිෂ්පාදන වැඩි වෙලා නෑ. කාර්මික නිෂ්පාදන සහ විදෙස් ආයෝජන වැඩි වෙලත් නෑ. එපමණකුත් නොවෙයි අලුත් කර්මාන්ත ඇති වෙලත් නැහැ. මේ සියලු කාරණා සමග බැලුවාම ඇත්තටම මේ ආණ්ඩුව අසමත් ආණ්ඩුවක්.

 

More News..