අපිට තව රුපියල් 25000ක් ඕනෑ
26 November 2026 | සංවාදය - ශ්‍රියානි විජේසිංහ
අපිට තව රුපියල් 25000ක් ඕනෑ
26 November 2026 | සංවාදය - ශ්‍රියානි විජේසිංහ
මෙවර අයවැයෙන් රජයේ වෛද්‍යවරුන්ගේ DAT දීමනාව ඉහළ නැංවීමට පියවර ගෙන තිබුණද, 2018 වසරේදී අනුමත කළ දීමනාව එනම් රුපියල් 120,000ක මුදල මෙතෙක් සම්පූර්ණයෙන් නොගෙවීම ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් වෛද්‍යවරුන් යළිත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමේ සූදානමක පසුවන බව කියැවෙයි. වෛද්‍යවරුන්ගේ සැබෑ ගැටලු හඳුනාගැනීමට හෝ ඒ පිළිබඳව සාකච්ඡාවක් කිරීමට වත්මන් ආණ්ඩුව සමත් වී නැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි. ඒ සම්බන්ධයෙන් මෙන්ම තම දීමනා දිනාගැනීම සඳහා වෛද්‍යවරු ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ සමග ‘අරුණ’ කළ සාකච්ඡාවකි මේ.
මේ අයවැයෙන් කිසිම සෙතක් වෙලා නෑ කියලා බොහෝ පාර්ශ්ව චෝදනා කරනවා. ඒත් වෛද්‍යවරු වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වෙලා කොහොමහරි තමන්ගේ දීමනා වැඩි කර ගත්තා නේද?
DAT දීමනාව කියන්නේ 2018 වසරේ සිටම වෛද්‍යවරුන්ට අනුමත වූ දීමනාවක්. වෛද්‍යවරුන් සඳහා DAT දීමනාව ලෙස රුපියල් 120000ක් ලැබිය යුතු බවට අනුමත වී තිබුණත් ඒ මුදලෙන් කොටසක් දිනා ගැනීමටත් වෛද්‍යවරුන්ට සෑහෙන කාලයක් සටන් කරන්න වුණා. කොහොම හරි දිගින් දිගටම වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරතවෙලා, සටන් කරලා අපි අදියර දෙකක් තුළදී රුපියල් 70000ක් දිනා ගත්තා. එතකොට තවත් රුපියල් පනස් දහසක හිඟයක් තියෙනවා. මෙවර අයවැයෙන් අපිට දීලා තියෙන්නේ රුපියල් 25000ක් පමණයි. ඒ කියන්නේ අපිට තවත් රුපියල් 25000ක් ලැබිය යුතුයි. ඒ මුදලත් වෛද්‍යවරුන්ට ලැබෙන ආකාරයට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න කියලයි අපි ආණ්ඩුවට කියන්නේ. එහෙම නොකර මේ ලැබුණු රුපියල් 25000න් පමණක් කිසිම ප්‍රයෝජනයක් නැහැ.
මෙවර අයවැයෙන් වෛද්‍යවරුන්ගේ DAT දීමනාව රුපියල් 25000කින් හෝ වැඩිවීම ගැන සතුටක් නෑ කියන්නේ මොකද?
වෛද්‍යවරුන්ට හිමි DAT දීමනාව ලෙස 2018 වර්ෂයේදී අනුමත වී තිබෙන රුපියල් 120,000ක මුදලෙන් අපට මේ වන තෙක්ම ලැබිලා තියෙන්නේ රුපියල් 70,000ක් පමණයි. 2027 වර්ෂය සඳහා වන අයවැයෙන් ඒ දීමනාවට තවත් රුපියල් 25,000ක් එකතු කරලා තියෙනවා. ඒත් ඒ මුදලත් වෛද්‍යවරුන්ට ලැබෙන්නේ කොටස් දෙකකටයි. ඒ අනුව දීමනාවෙන් බාගයක් 2027 වර්ෂයේ ජූලි මාසයේදී දෙනවා කියලා කියනවා. ඒ කියන්නේ ලබන අවුරුද්දේ ජූලි මාසයේ සිට අපිට රුපියල් 12500ක් ලැබෙනවා. ඉතිරි රුපියල් 12,500 ලැබෙන්නේ 2028 වර්ෂයේදි කියලයි ආණ්ඩුව කියන්නේ. ඉතිරි කොටස ලබාදීම සඳහා නියමිත දිනයක්වත් ප්‍රකාශ කරලා නැහැ. ඒ වගේම 2027 වර්ෂයේ අපේ වැටුප හරියටම වැඩි වෙලා තියෙන්නෙත් මාසයකට රුපියල් 6250ක් වැනි සුළු මුදලකින් පමණයි. එයිනුත් බදුවලට කැපුණාම රුපියල් 4,000ක් වගේ මුදලක් තමයි ඉතිරි වෙන්නේ. ඒ නිසා මෙවර අයවැයෙන් වැඩිවුණු දීමනාව ගැන වෛද්‍යවරුන්ට එතරම් ලොකු සතුටක් නෑ.
2027 වර්ෂය සඳහා වන අයවැයෙන් කිසිම සහනයක් නොලැබුණු පිරිසකුත් සිටින බව කියැවෙනවා. එහෙම තියෙද්දිත් වෛද්‍යවරුන්ට රුපියල් 25000ක දීමනාවක් හෝ දීමට ආණ්ඩුව ගත් තීරණය ගැනවත් සතුටක් නැද්ද?
එහෙම සතුටු වෙන්නේ කොහොමද? වෛද්‍යවරුන්ට 2018 වර්ෂයේදී DAT දීමනාව ලෙස අනුමත වූ රුපියල් 120,000න් මුලින්ම දුන්නේ රුපියල් 35,000ක් පමණයි. අපි දිගින් දිගටම ඉල්ලීම් කරලා තමයි ඒ මුදලත් ගත්තේ. ඉන්පසුව 2024 වර්ෂයේදී රටේ පැවැති ආර්ථික අර්බුදයත් සමග වෛද්‍යවරු විශාල වශයෙන් රට හැර යන්න පටන් ගත්තා. ඔවුන් ලංකාව තුළම රඳවා ගැනීමේ අපේක්ෂාවෙන්, වෛද්‍යවරුන් දිගින් දිගටම කළ ඉල්ලීම්වලට අනුව එවකට පැවැති ආණ්ඩුව මේ දීමනාව රුපියල් 70,000 දක්වා වැඩි කළා. ඒ අනුව 2018 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ එක් වෛද්‍යවරයෙක් ආණ්ඩුවට රුපියල් 85,000ක මුදලකුත්, 2024 සිට මේ දක්වා කාලය තුළ රුපියල් 50,000ක මුදලකුත් ඉතිරි කරලා දීලා තියෙනවා. අපට ගෙවන රුපියල් 70,000ක මුදලිනුත් සියයට 36ක් බදු විදිහට කපා ගන්නවා. එහෙම තිබියදීත් අපි සතුටු වෙන්නේ කොහොමද? වෛද්‍යවරුන් මේ රටට කරන සේවයට නිසි වටිනාකමක් ලැබිය යුතුයි කියලයි අපි නිතරම කියන්නේ. ඒත් තවමත් වෛද්‍යවරුන්ට ඒ වටිනාකම ලැබිලා නැහැ. සීතාම්බර සළුවක් පොරවලා වගේ වැඩක් තමයි දැන් මේ කරලා තියෙන්නේ. අධිකරණ දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව, ත්‍රිවිධ හමුදාව, පොලීසිය ආදී අංශවලට හිමි සියලුම දීමනා සියයට සියයකින් වැඩි කරලා තියෙනවා. ඒත් වෛද්‍යවරුන්ගේ මේ දීමනාව වැඩි කරලා තියෙන්නේ සියයට 35ක් පමණයි. රටට විශාල සේවයක් කරන වෛද්‍යවරුන්ට ඒ විදිහට අඩු සැලකිල්ලක් දැක්වීම අසාධාරණයි. ඒ නිසා 2018 වර්ෂයේදී අනුමත වූ DAT දීමනාව දැන්වත් සම්පූර්ණයෙන්ම වෛද්‍යවරුන්ට ලැබිය යුතුයි කියලයි අපි කියන්නේ.
2018දී අනුමත කළ DAT දීමනාව සම්පූර්ණයෙන්ම ලබාගැනීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආණ්ඩුවේ වගකිවයුත්තන් සමග කතා කළේ නැද්ද?
DAT දීමනාව පමණක්ම නොවෙයි වෛද්‍යවරුන්ට බලපාන තවත් ප්‍රශ්න ගණනාවක්ම තිබෙනවා. අපි පසුගිය ජූලි මාසයේ සිටම ඒ ගැන වගකිවයුත්තන්ට කිව්වා. අපි මුහුණ දෙන ගැටලුවලට විසඳුම් හැටියට යෝජනා ගණනාවක් සකස් කරලා ආණ්ඩුවට දුන්නා. ජනාධිපතිවරයාගෙන් පස් වතාවක්ම ලිඛිතව ඉල්ලීම් කළා. ඒත් කිසිම සාධනීය පිළිතුරක් ලැබුණේ නැහැ. අගමැතිනියගෙනුත් දෙවතාවක් ඉල්ලීම් කළා. එපමණකුත් නොවෙයි වෛද්‍යවරු මුහුණ දෙන ගැටලුවලට විසඳුම් දෙන්න කියලා විෂයභාර අමාත්‍යවරයාගෙන් තුන්වතාවක් ඉල්ලීම් කරලා තියෙනවා. ඒත් අපි ඒ කළ ඉල්ලීම්වලට තවම සුබවාදී පිළිතුරක් ලැබිලා නැහැ. ඒ කියන්නේ අපේ ඒ ඉල්ලීම්වලින් ඵලක් වුණේ නැහැ කියන එකයි.
ආණ්ඩුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග එතරම් හිත හොඳකින් නොවෙයි ඉන්නේ කියන කතාව ඇත්තද?
වෛද්‍යවරු කියන්නේ ජාතික ජන බලවේගයට ආණ්ඩු බලය ගන්න වැඩියෙන්ම උදව් උපකාර කළ ඒ සඳහා කැපවුණු වෘත්තීය කණ්ඩායමක්. ඒ බව ආණ්ඩුවත් හොඳින්ම දන්නවා ඇති කියලා අපි හිතනවා. කොහොම වුණත් ආණ්ඩුවට වෛද්‍යවරු සමග ප්‍රශ්නයක් තියෙනවාද? එහෙමත් නැතිනම් නිදහස් සෞඛ්‍ය සේවාව තවදුරටත් රැකගත යුතු නොවේද? කියන ප්‍රශ්න විසඳාගන්නයි අපිත් නිතරම උත්සාහ කරන්නේ.
ආණ්ඩුවේ මැති ඇමැතිවරු ඇහුම්කන් දෙන්නේ තමන්ට හිතවත් වෘත්තීය සමිති නායකයන්ට පමණයි කියන චෝදනාව ගැන ඔබේ අදහස මොකක්ද?
ඔව්. අපිටත් එවැනි තත්ත්වයක් දැනිලා තියෙනවා. වෛද්‍යවරුන්ගේ අවම නියෝජනයක්වත් නොමැති වෘත්තීය සමිති කිහිපයක් සමගම සෞඛ්‍ය අමාත්‍යවරයා සාකච්ඡා කරනවා අපිත් දැක්කා. ඒත් එවැනි සාකච්ඡා පවත්වන්නේ මොන වගේ අරමුණකින්ද කියලනම් අපි දන්නේ නැහැ. කොහොම වුණත් වෛද්‍යවරු මුහුණදෙන සැබෑ ප්‍රශ්න විසඳන්න නම් මේ අයට කිසිම වුවමනාවක් නැති බවයි පේන්න තියෙන්නේ.
මේ වන විට වෛද්‍යවරු ගැටලු ගණනාවකට මුහුණ දී සිටින බව ඔබ කියනවා. මොනවද ඒ ගැටලු?
වෛද්‍යවරුන්ට පවතින ප්‍රශ්න හා ඒවාට විසඳුම් ඇතුළත් යෝජනා මාලාවක්ම අපි ඉදිරිපත් කළා. ඒවාට කිසිම විසඳුමක් මෙවර අයවැය තුළින්වත් ලැබිලා නැහැ. ඒක තමයි දැන් තියෙන ලොකුම ගැටලුව. වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරි දීමනා සහ නිවාඩු දිනවල කරන රාජකාරි සඳහා ගෙවන දීමනාවලින් තුනෙන් එකක් කප්පාදු කරලා තියෙන්නේ. ඒවා නැවැත ලබාගැනීම අපේ එක ඉල්ලීමක්. මේ කප්පාදුව හරහා ගෙවී ගිය වසර දෙකක කාලය තුළ සමස්ත වෛද්‍යවරුන්ගේ වැටුපෙන් කෝටි 4,400ක මුදලක් අහිමි කරලා තියෙනවා. සෑම වසරකම උපයන විට බදු ලෙස රුපියල් කෝටි 1,000ක් වෛද්‍යවරු ගෙවනවා. එහෙම තිබියදීත් අපිට ලැබිය යුතු දීමනාත් කප්පාදු කිරීම ප්‍රශ්නයක්.
ඒ වගේම වෛද්‍යවරුන්ට සමාන ශ්‍රේණිවල සිටින සෑම කෙනෙක්ටම ප්‍රවාහන දීමනා දීලා තියෙනවා. නමුත් වෛද්‍යවරුන්ට ප්‍රවාහන දීමනාවක් දෙන්නේ නැහැ. ඇතැම් විශේෂඥ වෛද්‍යවරුන්ට රෝහල් කීපයක වැඩ ආවරණය කරන්න වෙනවා. ඒ අයට ප්‍රවාහන දීමනාව අනිවාර්යයෙන්ම දිය යුතුයි. නමුත් එහෙම දීමනාවක් දෙන්නේ නැහැ. විශේෂඥ වෛද්‍යවරු වගේම නවක වෛද්‍යවරුනුත් ගැටලු ගණනාවකට මුහුණ දෙමින් ඉන්නවා. තමන්ගේ මුදල් වියදම් කරලා වාහනයක් ගැනීමට සහයෝගයක් හැටියට තිබුණු වාහන බලපත්‍රය පවා අහෝසි කරලයි තියෙන්නේ. ඒ පිළිබඳවත් අවධානය යොමු කරන්න කියලා අපි ආණ්ඩුවට කියනවා. අනෙක අපි ඉල්ලන්නෙත් මන්ත්‍රිවරුන්ට වගේ සම්පූර්ණයෙන් බදු ඉවත් කළ වාහන බලපත්‍රයකුත් නොවෙයි.
එමෙන්ම වෛද්‍යවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙනුත් විවිධ ගැටලු තියෙනවා. විශේෂයෙන්ම කාන්තා වෛද්‍යවරියන්ට අවස්ථා ගණනාවකදීම ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්න මතු වුණා. ඔවුන්ගේ ආරක්ෂාව සැලසිය යුතුයි. නමුත් ඒ ගැන සාධනීය ප්‍රතිචාරයක් තවමත් ලැබිලා නැහැ. මීට අමතරව නවාතැන් හා නිල නිවාස පහසුකම් නොමැති වීමේ ප්‍රශ්නයත් වසර ගණනාවක සිටම තියෙනවා. පශ්චාත් වෛද්‍ය උපාධිය සඳහා තිබෙන අවස්ථාත් සීමිතයි. ඒවා පුළුල් කරන්න කටයුතු කරන්න කියලා අපි දිගින් දිගටම ආණ්ඩුවෙන් ඉල්ලීම් කළත් තවමත් අපේ ගැටලුවලට නිසි විසඳුම් ලැබිලා නැහැ. එතකොට ඉතින් අපටත් වෘත්තිය ක්‍රියාමාර්ගවලට ගිහින් හරි අපේ ඉල්ලීම් දිනාගන්න වෙනවා.
වෘත්තීය ක්‍රියාමාර්ගවලට නොයා ඔය ගැටලු විසඳගන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද?
අපි සෑම විටම සාකච්ඡා කිරීම මගින් මේ ප්‍රශ්නවලට විසඳුම් ලබා ගැනීමට උත්සාහ කරනවා. ජනාධිපතිවරයා අපිට සාකච්ඡාවකට අවස්ථාවක් දීලා, අපේ සැබෑ ප්රශ්නය හඳුනාගන්න කටයුතු කරයි කියලා අපි තවමත් බලාපොරොත්තු වෙනවා. කොහොම වුණත් අපි පසුගිය 23 වැනිදා සිට දිවයින පුරා සෑම රෝහලකම දහවල් 12.00 සිට 2.00 දක්වා පැය දෙකක කාලයකට අත්‍යවශ්‍ය සහ හදිසි ප්‍රතිකාර හැර අනෙකුත් කටයුතුවලින් බැහැරව සාමාජිකත්වය දැනුම්වත් කිරීමට කටයුතු කරමින් ඉන්නවා. මේ දැනුම්වත් කිරීම අපි ජනතාව අතරටත් ගෙන යාමට උත්සාහ කරනවා. ඒ අනුව ජනතාව දැනුම්වත් කරමින් අත්පත්‍රිකා බෙදීම, විරෝධතා පැවැත්වීම, ආගමික නායකයන් දැනුම්වත් කිරීම, විපක්ෂ මන්ත්‍රිවරුන් දැනුම්වත් කිරීම ආදිය කරනවා. ඒ වගේම මධ්‍යම කාරක සභාව තුළදී ගන්නා ක්‍රියාමාර්ග සාකච්ඡා කරලා ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරනවා.
ඉල්ලීම් දිනා ගැනීම සඳහා වෘත්තිය ක්‍රියාමාර්ග ගැනීමෙන් රෝගී ජනතාව අසරණ වෙනවා කියලා හිතෙන්නේ නැද්ද?
වෛද්‍යවරුන් ලෙස අපි අද මේ කරන්නේ රෝගී ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වීමක්. අනාගතයේදී සෞඛ්‍ය සේවාව රැකගැනීමට කරන උත්සාහයක් හැටියටයි මම මේ වෘත්තිය ක්‍රියාමාර්ග දකින්නේ. ඒ බව මේ රටේ පුරවැසියන් තේරුම් ගත යුතුයි. ආණ්ඩුව දිගින් දිගටම මේ ආකාරයට වෛද්‍යවරු තළා පෙළා දමන්න උත්සාහ කළොත්, ඔවුන්ට හිමි විය යුතු දීමනා නොදුන්නොත් ඔවුන් මේ රට අතහැරලා විදේශ රටවලට යයි. එහෙම වුණොත් මේ රට තුළ නිදහස් සෞඛ්‍ය සේවාවක් පවතියිද කියල ටිකක් හිතලා බලන්නකෝ. කොහොම වුණත් අපි මේ ගන්නා ක්‍රියාමාර්ගවලට මහජනතාවගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. අපි පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවයේදීත් මහජනතාවගෙන් අපට විශාල සහයෝගයක් ලැබුණා.
ඔය කියන විදිහට වෘත්තිය ක්‍රියාමාර්ග ගත් පසුවත් වෛද්‍යවරු මුහුණ දෙන ප්‍රශ්නවලට විසඳුම් නොලැබුණොත්?
එහෙම වුණොත් ඉදිරියේදී මොනවගේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්න වෙයිද කියලා දැන්ම කියන්න පුළුවන්කමක් නෑ. වෛද්‍යවරුන්ගේ ප්‍රශ්නවලට සාකච්ඡා මාර්ගයෙන් විසඳුම් සොයන්න අපි හැම විටම උත්සාහ කරනවා. අවශ්‍ය විසඳුම් නොලැබුණොත් බොහෝ වෛද්‍යවරු රට හැර යයි. දැනටමත් රට හැර ගිය වෛද්‍යවරුන්ට නැවැත මෙරටට පැමිණෙන ලෙස විවිධ පාර්ශ්වවලින් ඇරයුම් ලැබෙනවා. නමුත් වෛද්‍යවරුන්ගේ සැබෑ ප්‍රශ්න හඳුනාගෙන ඒවාට විසඳුම් නොලැබුණොත් වෛද්‍යවරුන් රට හැර යාම නතර කරන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ නිසා ජනාධිපතිවරයා වෛද්‍යවරුන්ගේ සැබෑ ප්‍රශ්න හඳුනාගෙන ඔවුන් මේ රට තුළ රඳවා ගැනීමට කටයුතු කරයි කියලා අපි විශ්වාස කරනවා.


