brand logo
logo
සුළු වාරි වැව් 296ක් ප්‍රතිසංස්කරණයට ලෝක බැංකු ආධාර

සුළු වාරි වැව් 296ක් ප්‍රතිසංස්කරණයට ලෝක බැංකු ආධාර

01 September 2026

ලෝක බැංකු මූල්‍ය සහයෝගය යටතේ සුළු වාරි වැව් 296ක් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.


ඒකාබද්ධ ග්‍රාම-නගර සංවර්ධන සහ දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තුදීමේ ව්‍යාපෘතිය (IRDCRP) යටතේ ක්‍රියාත්මක මෙම වැඩසටහන සඳහා මේ වනවිට රුපියල් මිලියන 5,800කට අධික මුදලක් වෙන් කර ඇති අතර, එය 2029 වසර දක්වා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.


මෙහිදී සාමාන්‍ය ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ පොළොන්නරුව, හම්බන්තොට සහ යාපනය දිස්ත්‍රික්කවල ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ පවතින සුළු වාරි වැව් 06ක් ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කර ඇති අතර, ඒ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් 256,168,900.88කි.


මේ අතර, දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ දිස්ත්‍රික්ක 18ක සුළු වාරි වැව් 290ක් හදිසි අවස්ථා ප්‍රතිචාර සංරචකය (CERC) යටතේ ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතුද ආරම්භ කර තිබේ.


එම ව්‍යාපෘති සඳහා වෙන් කර ඇති මුළු මුදල රුපියල් 5,578,334,825.34කි.

බදුල්ල දිස්ත්‍රික්කයේ වැව් 97ක්, රත්නපුරයේ 29ක්, මන්නාරමේ 24ක්, කුරුණෑගලයේ 19ක් සහ මහනුවර හා වවුනියාව දිස්ත්‍රික්කවල වැව් 15 බැගින් ඇතුළුව දිස්ත්‍රික්ක 18 පුරා මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරේ.

වැව් ප්‍රතිසංස්කරණය කිරීමෙන් ඒවායේ ජලය රඳවා ගැනීමේ හැකියාව සහ වාරි ජලය බෙදාහැරීමේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමට අපේක්ෂා කරන අතර, එමගින් ගොවි ජනතාවට නියමිත කාලයේදී වගා කටයුතු සිදුකිරීම සඳහා විශ්වාසදායක ජල සැපයුමක් ලබාදීමට හැකි වනු ඇත.

එමෙන්ම අධික වර්ෂාපතනය, ගංවතුර, නියඟය ඇතුළු දේශගුණික අවදානම් හමුවේ කෘෂිකාර්මික කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය වාරි පද්ධතිවල ඔරොත්තුදීමේ හැකියාව ශක්තිමත් කිරීමද මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණකි.

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ තාක්ෂණික හා පරිපාලන දායකත්වය මෙන්ම ගොවි සංවිධානවල සහයෝගයද ලබා ගනිමින් මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරේ.


මෙම වැඩසටහන මගින් හානි වූ වාරි පද්ධති යළි ගොඩනැංවීමට අමතරව, දේශගුණික විපර්යාස හමුවේ වඩාත් ශක්තිමත් හා තිරසාර කෘෂිකාර්මික පරිසරයක් ගොඩනැගීමටත්, ගොවි ජනතාවගේ ජීවනෝපාය සුරක්ෂිත කිරීමටත් දිගුකාලීන ප්‍රතිලාභ සැලසෙනු ඇතැයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

 

More News..