සෑම නිවසකම එක් පුද්ගලයකුට හෝ ප්‍රථමාධාර සම්බන්ධයෙන් දැනුමක් ලබාදෙනවා
04 September 2026 | සංවාදය - ශ්‍රියානි විජේසිංහ
සෑම නිවසකම එක් පුද්ගලයකුට හෝ ප්‍රථමාධාර සම්බන්ධයෙන් දැනුමක් ලබාදෙනවා
04 September 2026 | සංවාදය - ශ්‍රියානි විජේසිංහ
දිවයින පුරා පිහිටි සෑම ග්‍රාම නිලධාරී වසමකින්ම තරුණයකු හා තරුණියක තෝරාගෙන, ඔවුන්ට නිල ප්‍රථමාධාර පුහුණුවක් දීමේ පුළුල් ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි. ‘‘සෑම ග්‍රාම නිලධාරී වසමකටම අවම වශයෙන් නිසි පුහුණුව ලත් තරුණ ප්‍රථමාධාර ලබාදෙන්නන් දෙදෙනෙක්” යන තේමාව යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩසටහනේ පළමු අදියර යටතේ දිවයින පුරා තරුණ තරුණියන් 28,000 දෙනකුට ප්‍රථමාධාර හා මූලික ජීවිතාරක්ෂණ පිළිබඳ න්‍යායික සහ ප්‍රායෝගික පුහුණුව ලබාදීමට නියමිත බවද කියැවෙයි. මේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝනොවන රෝග ඒකකයේ අනතුරු වැළැක්වීම සහ කළමනාකරණ අංශ ප්‍රධානී ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග සමග ‘අරුණ’ කළ සාකච්ඡාවකි මේ.
දිවයින පුරා සෑම ග්‍රාම නිලධාරී වසමකින්ම දෙදෙනෙක් තෝරාගෙන, ඔවුන්ට නිල ප්‍රථමාධාර පුහුණුවක් ලබාදීමේ වැඩපිළිවෙළක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ වන විට ආරම්භ කර ඇති බව දැනගන්න ලැබුණා. මොකක්ද මේ අලුත් වැඩසටහන?
සෑම ග්‍රාම නිලධාරී වසමකින්ම දෙදෙනෙක් තෝරාගෙන, ඔවුන්ට නිල ප්‍රථමාධාර පුහුණුවක් ලබාදීමේ වැඩසටහන අලුත් දෙයක් නම් නොවෙයි. 2016 වර්ෂයේ දී තමයි සෞඛ්‍ය අමාත්‍යාංශය මේ ප්‍රථමාධාර පුහුණු වැඩසටහන මුලින්ම ආරම්භ කළේ. වසර කිහිපයක් ඒ වැඩසටහන සක්‍රීයව ක්‍රියාත්මක වුණත් ඉන්පසුව ක්‍රම ක්‍රමයෙන් එය පසුගාමී වෙන්න පටන්ගත්තා. ඒ නිසා මෙවර අපි ඒ වැඩසටහන අලුත් මුහුණුවරකින් වඩාත් ශක්තිමත්ව නැවත ආරම්භ කළා.
2016 වර්ෂයේදී ආරම්භ කළ ප්‍රථමාධාර පුහුණු වැඩසටහන පසුගාමී වෙන්න හේතුව මොකක්ද?
අපි මුලින්ම මේ වැඩසටහන යටතේ ත්‍රිරෝද රථ රියැදුරන්ව ප්‍රථමාධාර සඳහා පුහුණු කිරීමටයි ඉලක්ක කළේ. පළමු වටයේදී රියැදුරන් 10000ට පුහුණුව ලබා දිය යුතු බව එහිදී තීරණය කළා. නමුත් එම ඉලක්කය සපුරා ගැනීමත් පුහුණුව අවසන් කරගැනීමත් මන්දගාමී වුණා. මොකද ත්‍රිරෝද රථ රියැදුරන් කියන්නේ එදිනෙදා කීයක් හරි හොයාගෙන ජීවත්වන කණ්ඩායමක්. ඔවුන් ප්‍රථමාධාර පුහුණුව සඳහා කාලයක් වෙන්කරන්න කැමැති වුණේ නැහැ. පුහුණුව සඳහා දින කීපයක් පැමිණියත් පුහුණුව නිම කරන තෙක් රැදී සිටීමට බෙහෝ දෙනෙක් අසමත් වීම නිසා ඒ ප්‍රථමාධාර පුහුණු වැඩසටහන මන්දගාමී වුණා. නමුත් අපි අපේ ප්‍රථමාධාර පුහුණු වැඩසටහන කිසිම වෙලාවක නතර කරලා දැම්මේ නෑ.
ප්‍රථමාධාර පුහුණු වැඩසටහන සඳහා මුලින්ම ත්‍රිරෝද රථ රියැදුරන්වම යොදාගන්න විශේෂ හේතුවක් තිබුණාද?
හදිසි අනතුරකට මුහුණ දෙන පුද්ගලයන්ව රෝහලක් වෙත රැගෙන එන්නේ බොහෝ විට ත්‍රිරෝද රථයකින්. අනතුරට පත් වූ පුද්ගලයාව ත්‍රිරෝද රථයට නංවා ගැනීමේදී හා රැගෙන ඒමේදී තව තවත් අනතුර වැඩි වී ඇති බව ඇතැම් අවස්ථාවල අපි දකිනවා. අපි මුලින්ම පුහුණුව සඳහා ත්‍රිරෝද රථ රියැදුරන්වම යොදා ගත්තේ මේ තත්ත්වය මගහරවා ගන්නයි. මේ ගැන උදාහරණයකින්ම පැහැදිලි කරනවා නම්, කිසියම් උසකින් ඇදවැටීම නිසා යම් පුද්ගලයකුගේ හිසට හා සුෂුම්නාවට හානි වුණා කියලා හිතමු. එවැනි අනතුරක් වූ පුද්ගලයෙක් රෝහලක් වෙත රැගෙන යා යුත්තේ පැතලි පෘෂ්ඨයක් මත තබමිනුයි. තවත් විදිහකට කියනවා නම් අනතුරට ලක්වූ පුද්ගලයා ලෑල්ලක් වැනි පැතලි පෘෂ්ඨයක් මත තබා ආසන ගලවන ලද වෑන් රථයක් හෝ ඉඩකඩ පවතින වාහනයකිනුයි රෝහලට ගෙන යා යුත්තේ. නමුත් එවැනි අනතුරුකට පත් වූ පුද්ගලයන් පවා බොහෝ දුරට රෝහලට රැගෙන එන්නේ ත්‍රිරෝද රථවලින්. වැටීමෙන් එම පුද්ගලයාගේ සුෂුම්නාවට යම් හානියක් වෙලා තිබුණා නම් ත්‍රිරෝද රථයට නංවා ගැනීමේදී ඔහුගේ සුෂුම්නාවට තව තවත් හානි වෙනවා. ඒ නිසා රෝග තත්ත්වය බරපතළ වෙන්නත් පුළුවන්. සුවකර ගත හැකිව තිබුණු අනතුර වැරැදි ප්‍රවාහන ක්‍රමය නිසා තවත් බරපතළ වුණොත් ඒ පුද්ගලයාට ජීවිත කාලයම ඇඳකට වෙලා තමයි ජීවිතය ගෙවන්න වෙන්නේ. එවැනි සිදුවීම් ඕනෑ තරම් අපි දැකලා තියෙනවා. ජීවිත කාලයම ඇඳකට වෙලා ඉන්න වුණේ නැතත් සමහර වෙලාවට පසුකාලීනව ඒ පුද්ගලයාට වෙනත් අතුරු ආබාධ ඇතිවෙන්න පුළුවන්. සුවවීම ප්‍රමාද වෙන්න පුළුවන්. මෙවැනි අවාසනාවන්ත තත්ත්වයන්ගෙන් පුද්ගලයන් මුදා ගැනීමේ අරමුණ ඇතිවයි ප්‍රථමාධාර වැඩසටහනට අපි මුලින්ම ත්‍රිරෝද රථ රියැදුරන්ම යොදාගත්තේ.
අනතුරු හේතුවෙන් වසරකට කොපමණ පුද්ගලයන් සංඛ්‍යාවක් මිය යනවාද?
වසරකට පුද්ගලයන් 10000ක් පමණ අනතුරු හේතුවෙන් මිය යනවා. ලෝකයේ තිබෙන තොරතුරු අනුව මින් පුද්ගලයන් සියයට 50ක්ම අනතුර වූ ස්ථානයේදීම මිය යන බව පැවසෙනවා. ඉතිරි සියයට 50 න් සියයට 25ක් පමණ රෝහලක් වෙත ගෙන යෑමේදී මිය යන බව විශ්වාස කෙරෙනවා. ඉතිරි සියයට 25 රෝහල්ගත කළාට පසුව මියනවා. රෝහල්ගත කළ පසුව මිය යන සියයට 25 ක මරණ සංඛ්‍යාව වුණත් අපිට වළක්වා ගන්න පුළුවන්කමක් තියෙනවා.
යම් අනතුරක් නිසා රෝහල්ගත කළ පසුව මිය යන පුද්ගලයන් සංඛ්‍යාව අඩු කරගැනීමට හැකියාව තිබෙන බව ඔබ කියනවා. කොහොමද එහෙම කරන්නේ?
අනතුරක් වෙලා විනාඩි දහයක් ඇතුළත රෝගියාට වහාම දිය යුතු ප්‍රථමාධාරය දීලා පැයක් ඇතුළත ඔහු රෝහල්ගත කළ යුතුයි. රෝගියාව රෝහලට ඇතුළත් කිරීම ඉක්මන් වීම මත සහ ඉක්මනින් ප්‍රතිකාර දීම මත රෝහල තුළදී මිය යන සංඛ්‍යාව අඩු කරගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම සුවවීමට ගතවන කාලය අවම කරගැනීමටත්, සංකූලතා මතුවීම අවම කරගැනීමටත්, හැකිවෙනවා. නියමිත වේලාවට ප්‍රථමාධාර ලබා දුන් නිසා රෝගියාගේ ජීවිතය බේරාගැනීමට පහසු වුණා කියලා හදිසි ප්‍රතිකාර ඒකක තුළ ප්‍රතිකාර කටයුතු කරන විශේෂඥ වෛද්‍යවරු පවා කියනවා අපිට ඇහිලා තියෙනවා. ඒ ආකාරයට නියමිත වෙලාවට ප්‍රථමාධාර ලබාදීම සඳහා සෑම ග්‍රාමසේවා වසමකම තරුණයකුට හා තරුණියකට ප්‍රථමාධාර පුහුණුවක් ලබාදීම අපේ එක ඉලක්කයක්.
ප්‍රථමාධාර පුහුණුව දීම සඳහා සෑම ග්‍රාම සේවා වසමකින්ම තරුණයෙක් හා තරුණියක් තෝරාගන්නා බව ඔබ කියනවා. කොහොමද ඒ තෝරා ගැනීම කරන්නේ?
අපි මේ වැඩපිළිවෙළ සකස් කරන්නේ තරුණ සේවා සභාව සමග එක්වයි. තරුණ සේවා සභාවේ දිස්ත්‍රික් මට්ටමෙන් සිටින සම්බන්ධීකාරකවරුන් හරහා මේ තරුණ කණ්ඩායම් තෝරාගැනීමක් දැනටමත් කරලා තියෙන්නේ. මේ වන විට ඔවුන්ට අවශ්‍ය පුහුණුව දෙමින් ඉන්නවා. ඒ හරහා ප්‍රථමාධාර පුහුණු බළකායක් ගොඩනංවා ගැනීමට කටයුතු කරනවා. ඉන්පසුව ප්‍රථමාධාර පුහුණුව ලත් පිරිස හරහා තරුණ කණ්ඩායම් නියෝජනය කරන තවත් බොහෝ සංවිධානවල සිටින තරුණ තරුණියන්ටත් ප්‍රථමාධාර පුහුණුව දීමට අපි බලාපොරොත්තු වෙනවා.
ප්‍රථමාධාර පුහුණුව අවශ්‍ය වෙන්නේ තරුණ කණ්ඩායම්වලට පමණක් නොවෙයිනේ?
ඔව්. ඒ නිසා අපි පෙර පාසල් ගුරුවරුන්ට, පාසල් ළමුන්ට, රථවාහන පොලිස් නිලධාරීන්ට, යන්ත්‍ර සූත්‍ර භාවිත කර විවිධ වෘත්තීන්වල නියැළෙන අයට, රෝහල්වල හදිසි ප්‍රතිකාර ඒකකවල සිටින සියලුම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට සහ වෙනත් වෘත්තීන්වල නියැළී සිටින බොහෝ දෙනෙක්ටත් මේ ප්‍රථමාධාර පුහුණුව දීමට අපි කටයුතු කරනවා. පාසල්වල ප්‍රථමාධාර සමාජ (club) පිහිටුවීමටත් අපි අවධානය යොමුකරලා තියෙන්නේ.
පසුගිය කාලයේ කිහිප වරක්ම මාධ්‍යවේදීන්ටත් ප්‍රථමාධාර පුහුණුව දුන්නා නේද?
ඔව්. මාධ්‍යවේදීන් කරන්නෙත් අවදානම් රැකියාවක්. යම් කෙනෙක් අනතුරකට පත් වුණොත් ඒ පුද්ගලයාට කොහොමද ප්‍රථමාධාර දෙන්නේ කියලා මාධ්‍යවේදීනුත් දැනුම්වත්ව සිටීම වැදගත්. කඳුළු ගෑස් එකක් වැදිලා හුස්ම ගන්න බැරිව ගිය හෝ ක්ලාන්තයක් නිසා බිම වැටුණ අවස්ථාවකදී දෙන ප්‍රථමාධාර මොනවාද? ඒ ප්‍රථමාධාර දෙන්නේ කොහොමද කියලා මාධ්‍යවේදීන් පවා දැනගෙන සිටිය යුතුයි. ඒ නිසා වසරක් පාසා මාධ්‍යවේදීන්ට ප්‍රථමාධාර පුහුණුවක් ලබාදීමටත් අපි කටයුතු කරනවා. පසුගිය මාස කිහිපය තුළ දියේ ගිලීම නිසා පුද්ගලයන් කිහිප දෙනෙක්ටම ජීවිත අහිමි වුණා.
දියේ ගිලීමෙන් අනතුරට ලක්වන පුද්ගලයන්ට අවශ්‍ය ප්‍රථමාධාර දීම සඳහාත් පුහුණුව ලත් පිරිසක් හිටියොත් හොඳ නැද්ද?
ඒකත් අපේ තව ඉලක්කයක්. මේ වන විටත් පුහුණු වෙමින් සිටින තරුණ කණ්ඩායම් අතර පිහිනීමට දක්ෂ තරුණයෝ ඉන්නවා. ඔවුන්ව තෝරාගෙන දියේ ගිලීමට යන පුද්ගලයන් බේරාගෙන ප්‍රථමාධාර දීලා රෝහල් ගතකරන්නේ කෙසේද යන්න පිළිබඳව පුහුණුවක් ලබාදීමටත් අපිට අදහසක් තියෙනවා. දියේ ගිලීමට යන පුද්ගලයන් බේරා ගැනීම සඳහා දැනට නාවික හමුදාව, පොලිසිය හා ජීවිතාරක්ෂක කණ්ඩායම් ඉන්නවා. නමුත් ගම්මට්ටමින් දියේ ගිලෙන පුද්ගලයන් බේරා ගැනීමේ ක්‍රමයක් නැහැ. ගමේ තරුණයන් කිහිපදෙනෙක්ට පුහුණුවක් දීලා තිබුණා නම් දියේ ගිලෙන්න යන පුද්ගලයන් බේරාගන්න ඔවුන්ට හැකියාව ලැබෙනවානේ. දියේ ගිලීම්වලට වැඩි වශයෙන් ලක්වෙන්නේ ගම ගැන කිසිම අවබෝධයක් නොමැති ආගන්තුකයන්. විනෝදගමනක්, වන්දනාගමනක් හෝ නෑ ගමනක් ගිය පිරිස් නොදන්නා ජලාශවලින් දිය නෑමට යාම තුළයි දියේ ගිලීම් වැඩි වශයෙන් වාර්තා වුණේ. ගමේ පිහිනීමට දක්ෂ තරුණයන් කීපදෙනකුට ප්‍රථමාධාර පුහුණුවක් දීම ඉතාම ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්.
2050 වර්ෂය වන විට සෑම නිවසකම එක් පුද්ගලයකුට ප්‍රථමාධාර පුහුණුව දීම තමයි අපේ බලාපොරොත්තුව. නමුත් එය ඉතා අසීරු කටයුත්තක්. ඒත් ඒ කාලය වන විට සැලකිය යුතු පිරිසකටවත් ප්‍රථමාධාර පුහුණුව දීමට අපි උත්සාහ කරනවා.
සෑම නිවසකම එක් පුද්ගලයකුට ප්‍රථමාධාර පුහුණුවක් දෙන්න හිතුවේ ඇයි?
අද බෝනොවන රෝගවලින් පීඩා විඳින පුද්ගලයන් සංඛ්‍යාව එන්න එන්නම වැඩිවෙනවා. හෘදයාබාධ, ආඝාතය, අධිරුධිර පීඩනය වැඩිවීම නිසා ක්ලාන්තයක් වැනි තත්ත්වයක් නිවැසියකුට ඇති වුණොත් ඒ පුද්ගලයාව රෝහල්ගත කිරීමට පෙර නිවස තුළදීම කළ හැකි ප්‍රථමාධාර තියෙනවා.
ඒ ප්‍රථමාධාර කඩිනමින් දීලා රෝගියා ඉක්මනින්ම රෝහල් ගතකරන්න පුළුවන් නම් ඔහුගේ හෝ ඇයගේ ජීවිතයට විය හැකි බරපතළ අවදානම අඩු කරගන්න පුළුවන් වෙනවා. සමහර වෙලාවට රෝගියාව මරණයෙන් පවා ගලවා ගැනීමට අර නිවස තුළදී දුන් ප්‍රථමාධාර හේතුවක් වෙන්න පුළුවන්. අනෙක නිවසේදී අනතුරට ලක් වූ පුද්ගලයෙක් රෝහල්ගත කළ යුතු ආකාරය පිළිබඳ අනෙක් පුද්ගලයන් දැනගෙන සිටීමත් වැදගත්. උදාහරණ හැටියට නිවසේදී වූ අනතුරකින් දතක් ගැලවුණ විට හෝ අතක ඇඟිල්ලක් කැපුණු විට රෝහල වෙත රෝගියා ගෙනයාමේදී ඒ ගැලවුණ දත , කැපී වෙන්වුණ ඇඟිල්ලත් රැගෙන යා හැකිනම් වෛද්‍යවරයාට ප්‍රතිකාර කිරීමට පහසුයි. එම ශරීර කොටස් රැගෙන යාමටත් නිසි ක්‍රමවේදයක් තිබෙනවා. ඒ ක්‍රමවේදය පිළිබඳව පුහුණුවක් නිවසේ සිටින්නකුට ලබා දී තිබුණානම් අර වෙන් වී තිබුණු ශරීර කොටස් නැවත අනතුරට ලක්වූ පුද්ගලයාට බද්ධ කරන්න පුළුවන්නේ. ඒ නිසා සෑම නිවසකම අවම වශයෙන් එක් පුද්ගලයකුට හෝ ප්‍රථමාධාර සම්බන්ධයෙන් දැනුමක් ලබාදීමට අපි බලාපොරොත්තු වෙනවා.
ඔබ ඔය කියන විදිහට ප්‍රථමාධාර පුහුණුවක් දීම සඳහා අවශ්‍ය උපදෙස් මාලාවක් සකස් කරලද තියෙන්නේ?
ජාතික ප්‍රථමාධාර උපදෙස් මාලාවක් සකසා ගැනීම සඳහා අපි කටයුතු කරනවා. අපි දැනට භාවිත කරන්නේ විදේශ රටවල්වල භාවිත කරන උපදෙස් මාලාවක්. නමුත් අපේ සම්පත් භාවිත කරලා අපට අවශ්‍ය උපදෙස් මාලාවක් දැනටමත් සකස් කරලා තිබෙනවා. විශේෂඥයන් විසින් එය තවදුරටත් අධීක්ෂණය කරමින් සිටිනවා. එහි අන්තර්ගත උපදෙස්වලට අනුවයි දැනටමත් තරුණසේවා සභාවේ තරුණ තරුණියන්ට ප්‍රථමාධාර පුහුණුව දීමට කටයුතු කරන්නේ. මේ වැටසටහන සඳහා යුනිසෙෆ් ආයතනය සහ තරුණ සේවා සභාවේ පූර්ණ දායකත්වය ලැබෙනවා. ඔවුන්ගේ දායකත්වය මත සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ මැදිහත්වීමෙන් මේ වැඩසටහන තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යනවා.

