brand logo
logo
පොදු ප්‍රවාහනයේ ගුණාත්මක වෙනසකට ජනාධිපතිගෙන් උපදෙස්

පොදු ප්‍රවාහනයේ ගුණාත්මක වෙනසකට ජනාධිපතිගෙන් උපදෙස්

13 July 2026


සෑම පුරවැසියෙකුටම ප්‍රතිලාභ සැලසෙන, ගුණාත්මක මෙන්ම පහසුකම් සහිත පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයක් රට තුළ ගොඩනැගිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. 


ඒ තුළින් ජනතාවට ප්‍රවාහනය සඳහා පෞද්ගලිකව දැරීමට සිදුව ඇති අධික වැය බර අවම කළ හැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, නිදහස් සෞඛ්‍ය සේවාවේ දියුණුව කෙරෙහි දක්වන අවධානයම පොදු ප්‍රවාහන සේවාවේ උන්නතිය වෙනුවෙන්ද යොමු කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නේය.


ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගති සමාලෝචනය සහ 2027 අයවැය යෝජනා පිළිබඳ අද (13) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති අයවැය පූර්ව සාකච්ඡාවට එක්වෙමිනි.


නව සැලැස්මක් ඔස්සේ පොදු ප්‍රවාහන සේවාව දියුණු කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා, පැරණි බස් රථ ක්‍රමයෙන් ධාවනයෙන් ඉවත් කර නව බස් රථ ධාවනයට එක් කිරීමේ වැඩපිළිවෙළ කෙරෙහි මෙහිදී විශේෂ අවධානයක් යොමු කළේය.


විශේෂයෙන් නගරාශ්‍රිත කෙටි දුර ධාවනය සඳහා 'මෙට්‍රෝ බස් රථ' (Metro Buses) වැනි නවීන පහසුකම් සහිත බස් රථ සංචිත ප්‍රතිස්ථාපනය කිරීමෙන් ජනතාවට සුවපහසු ගමනාගමනයක් සහතික කළ හැකි බව ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.


නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ප්‍රධාන වැඩසටහන් වන මහල් නිවාස සංකීර්ණ ඉදිකිරීම්, නාගරික කසළ කළමනාකරණය මෙන්ම 'City Branding' ව්‍යාපෘතිවල 2026 වසරේ ප්‍රගතිය සහ මෙලෙස ජනතා අයිතියට පත් කළ හැකි ව්‍යාපෘති පිළිබඳවද මෙහිදී පුළුල් ලෙස විමසා බැලුණි.


ලබන වසරේදී නිම කළ හැකි ව්‍යාපෘති හඳුනාගෙන ඒවාට ප්‍රමුඛතාව ලබා දෙමින් අයවැය ප්‍රතිපාදන වෙන් කළ යුතු අතර විදේශ ණය ආධාර යටතේ සිදු කෙරෙන ව්‍යාපෘතිවලදී, ඒවායේ අවසාන ප්‍රතිඵලය පිළිබඳ නිසි අවබෝධයකින් තොරව කිසිදු ව්‍යාපෘතියක් අනුමත නොකළ යුතු බව ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබේ.


මෙම සාකච්ඡාවේදී ප්‍රවාහන හා මහාමාර්ග ක්ෂේත්‍රය තුළ 2026 වසරේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය වෙන් වෙන් වශයෙන් විමසා බැලීමටද ජනාධිපතිවරයා පියවර ගත්තේය.


 

More News..