Best News Website award
brand logo
logo
යාපනයේ කැළිකසළ දහනය ගැන වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියෝග

යාපනයේ කැළිකසළ දහනය ගැන වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියෝග

20 November 2026

යාපනය මහ නගර සභා බල ප්‍රදේශයේ විවෘතව කැළිකසළ දහනය කිරීම පිළිබඳව සවිස්තර වාර්තාවක් ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කරන බව එම නගර සභාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අද (20) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.


යාපනයේ සිදුවන වායු දූෂණය වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු ආයතන වලට නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා වෛද්‍ය උමාසුකී නඩරාජා විසින් ගොනුකර තිබූ පෙත්සම කැඳවූ අවස්ථාවේදී එම නගර සභාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා මේ බව දැනුම් දුන්නේය.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම කැඳවනු ලැබීය.


මෙම පෙත්සම අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී යාපනය නගර සභාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කේ. එම් ගනෙෂරාජා මහතා පැවසුවේ යාපනය ප්‍රදේශයේ එකතු වන කැළිකසළ දහනය කෙරෙන ආකාරය පිලිබදව විශේෂ වාර්තාවක් ඉදිරි නඩු දිනයේදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවය.


ඉන් අනතුරුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය පැවසුවේ පරිසර පනතේ විධිවිධාන අනුව විවෘතව කැළිකසළ දහනය වරදක් බවය.


එම විධිවිධාන යටතට යාපනය මහනගර සභාව අයත් වනවාද යන කරුණ පිළිබඳව අධ්‍යයනය කර ඉදිරියේ දී අධිකරණයට දැනුම් දීමට අපේක්ෂා කරන බවත් ඇය සඳහන් කළාය.


දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලු අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නඩු කටයුත්ත නැවත පෙබරවාරි මස 03 වනදා කැඳවීමට නියම කළ අතර එදිනට මෙම කටයුතුවල ප්‍රගතිය දැනුම් දෙන ලෙසත් අධිකරණය පාර්ශවකරුවන්ට නියම කළේය.

 

More News..