රු. මි. 134ක වියදමින් කළුතර ශික්ෂණ රෝහල නවීකරණය කෙරේ
16 August 2026
රු. මි. 134ක වියදමින් කළුතර ශික්ෂණ රෝහල නවීකරණය කෙරේ
16 August 2026
කළුතර, නාගොඩ ශික්ෂණ රෝහලේ රුපියල් මිලියන 134කට අධික පිරිවැයකින් නවීකරණය කරන ලද ඒකක සහ යටිතල පහසුකම් රැසක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) නිල වශයෙන් ජනතා අයිතියට පත් කෙරිණි.
රෝගී ජනතාවට වඩාත් ගුණාත්මක, කාර්යක්ෂම හා සුවපහසු සෞඛ්‍ය සේවාවක් සැලසීමත්, රෝහලේ පවතින සේවා ධාරිතාව හා පහසුකම් තවදුරටත් ශක්තිමත් කිරීමත් අරමුණු කරගනිමින් මෙම සංවර්ධන කටයුතු සිදු කර ඇත.
මෙම වැඩසටහන යටතේ රෝහලේ බාහිර රෝගී අංශය, ප්‍රධාන ඖෂධාගාරය, සායන, වාට්ටු වෙත පිවිසෙන කොරිඩෝ, 21 සහ 22 වාට්ටු, සෞඛ්‍ය අධ්‍යාපන හා මහජන සෞඛ්‍ය සේවාවන් සිදුකරන ගොඩනැගිල්ල සහ මනෝ වෛද්‍ය ප්‍රතිකාර වාට්ටුව ඇතුළු ඒකක රැසක් නවීකරණය කර ඇත.
මීට අමතරව වෛද්‍යවරුන්ගේ නේවාසිකාගාරය, හෙද විවේක කාමරය, කනිෂ්ඨ කාර්ය මණ්ඩල විවේක කාමරය නවීකරණය කර ඇති අතර, අලුතින් ඉදිකරන ලද සුළු සේවා පාලක කාර්යාලය ද අමාත්‍යවරයා විසින් විවෘත කරන ලදී.
මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, භාණ්ඩාගාරයේ පවතින රාජ්‍ය මුදල් නිසි කළමනාකරණයකින් හා ප්‍රමුඛතා හඳුනාගනිමින් කාර්යක්ෂමව වියදම් කිරීම තුළින් සෞඛ්‍ය සේවාවට අවශ්‍ය මානව සම්පත් බලගැන්වීමට හැකියාව ලැබී ඇති බවය.
එමෙන්ම, දැනට ඉදි කිරීම් ආරම්භ කර අතරමග නවතා තබා ඇති රෝහල් ව්‍යාපෘතිවල ඉදි කිරීම් නැවත ආරම්භ කර ඉදිරි වසර දෙක තුළ අවසන් කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත්, ඒ සඳහා රුපියල් බිලියන 45ක මුදලක් වෙන් කර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.
ප්‍රතිකාර සේවාවන් කාර්යක්ෂම හා ගුණාත්මක ලෙස පවත්වාගෙන යාම සඳහා රෝහල් වෙත අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ ලබාදීමට කටයුතු කරමින් සිටින බවත්, ඒ යටතේ රුපියල් මිලියන 3,150ක වියදමින් අතිනවීන කැත් ලැබ් (Cat Lab) 16ක් දිවයිනේ ප්‍රධාන රෝහල් වෙත ලබාදීමට පියවර ගෙන ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මීට අමතරව CT සහ MRI යන්ත්‍ර ඇතුළු නවීන වෛද්‍ය උපකරණ ලබාදීමට ද කටයුතු කරමින් පවතින අතර, ලබන වසරේ සෞඛ්‍ය සේවාව සඳහා අවශ්‍ය වන වෛද්‍ය උපකරණ පිළිබඳ ලැයිස්තුව ද මේ වන විට සකස් කරමින් පවතින බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

