ජීවන වියදම් හමුවේ බංග්ලාදේශයේ පවුල් ණය බරින් පීඩාවට
22 October 2026
ජීවන වියදම් හමුවේ බංග්ලාදේශයේ පවුල් ණය බරින් පීඩාවට
22 October 2026
ආදායම් ඉහළ නොයෑම සහ ජීවන වියදම් සීඝ්රයෙන් ඉහළ යෑම හේතුවෙන් බංග්ලාදේශයේ සමස්ත පවුල්වලින් සියයට 47.42ක් ණය බරින් මිරිකී සිටින බව බංග්ලාදේශ සංඛ්යාලේඛන කාර්යාංශය සිදුකළ විශේෂ සමීක්ෂණයකින් අනාවරණය වී ඇතැයි විදෙස් මාධ්ය වාර්තා කරයි.
එහි දැක්වෙන්නේ මෙම තත්ත්වය නගරබද ජනතාවට වඩා ග්රාමීය ජනතාවට දැඩි ලෙස බලපා ඇති බවය.
ජාතික වැටුප් කොමිෂන් සභාවේ ඉල්ලීමකට අනුව, බංග්ලාදේශ සංඛ්යා ලේඛන කාර්යාංශයේ දිළිඳුකම සහ ජීවනෝපාය සංඛ්යා ලේඛන ඒකකය මගින් පවත්වන ලද "2025 ජීවන තත්ත්ව සමීක්ෂණයට" අනුව, පසුගිය වසර තුළ මූලික ජීවන වියදම් පියවා ගැනීම සඳහා ග්රාමීය ප්රදේශවල පවුල්වලින් සියයට 51.91ක්, නාගරික ප්රදේශවල සියයට 40.19ක් සහ මහා නගර සභා බලප්රදේශවල සියයට 32.11ක් ණය ගැනීමට පෙළඹී ඇති බවද හෙළිකරයි.
මෙම සමීක්ෂණයට අනුව ජාතික මට්ටමින් පවුලක පැවැත්ම සඳහා ලැබෙන මාසික සාමාන්ය ආදායම බංග්ලාදේශ ටකා 33,513ක් වන අතර, මාසික සාමාන්ය වියදම ටකා 35,311ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ජාතික මට්ටමින් ගත් කළ, මාසික වියදම ආහාර සහ ආහාර නොවන ද්රව්ය සඳහා සමානව බෙදී යන නමුත්, ප්රදේශ අනුව එහි පැහැදිලි වෙනසක් දක්නට ලැබෙන බවද වාර්තාව මගින් පෙන්වාදෙයි.
ග්රාමීය වැසියන් සිය ආදායමෙන් වැඩි කොටසක් ආහාර සඳහා වැය කරන අතර, නාගරික වැසියන් වැඩි වශයෙන් වැය කරන්නේ ආහාර නොවන ද්රව්ය සඳහා ය.

