සාධාරණ ආර්ථික ප්රතිසාධනයකට සමාජ සංවාද ශක්තිමත් කිරීමට රජය සහ එක්සත් ජාතීන් එක්වෙයි
24 November 2026
සාධාරණ ආර්ථික ප්රතිසාධනයකට සමාජ සංවාද ශක්තිමත් කිරීමට රජය සහ එක්සත් ජාතීන් එක්වෙයි
24 November 2026
ශ්‍රී ලංකාවේ සමාජ සංහිඳියාව තහවුරු කිරීම සහ සියලු පාර්ශ්වයන් ඇතුළත් වන සාධාරණ ආර්ථික ප්‍රතිසාධනයක් උදෙසා රාජ්‍ය අංශය, පෞද්ගලික අංශයේ සේවා ස්ථාන මෙන්ම ප්‍රජාවන් අතර සංවාදය ශක්තිමත් කිරීමේ අරමුණින් දියත් කෙරුණු දෙවසරක ඒකාබද්ධ වැඩසටහනක් එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ශ්‍රී ලංකා රජය එක්ව අවසන් කර තිබේ.
‘ශ්‍රී ලංකාවේ සාමය සහ අර්බුද වැළැක්වීම සඳහා සමාජ සංවාදය’ යනුවෙන් නම් කර තිබූ මෙම ව්‍යාපෘතිය මගින්, සේවකයින්ට සහ ප්‍රජාවන්ට තමන් මුහුණ දෙන ගැටලු ඉදිරිපත් කිරීමට මෙන්ම තම ජීවිතවලට සෘජුව බලපාන තීරණ ගැනීමේ ක්‍රියාවලියට සක්‍රීයව දායක වීමට අවස්ථාව සලසා දී ඇත.
මෙම වැඩසටහනේ ප්‍රධාන සන්ධිස්ථානයක් ලෙස 'රාජ්‍ය සේවය තුළ සමාජ සංවාදය පිළිබඳ ප්රකාශනය' සම්මත කරගෙන ඇති අතර, එමගින් දකුණු ආසියාවේ රාජ්‍ය අංශයේ සමාජ සංවාදය සඳහා වන පළමු ජාතික රාමුව ස්ථාපිත කළ බවද මාධ්‍ය නිවේදනයේ සඳහන් වේ.
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හේතුවෙන් පවුල් ඒකක මුහුණ දුන් ඉහළ බදු, භාණ්ඩ මිල ඉහළ යාම, ක්‍රය ශක්තිය පහත වැටීම සහ අඛණ්ඩ දරිද්‍රතාව වැනි පීඩනයන්ට ප්‍රතිචාරයක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබේ.
රජය, සේවායෝජකයින්, සේවකයින් සහ ප්‍රජාවන් එකට එක් කරමින් සංවාදය ඔස්සේ ගැටලු විසඳීම, ආරවුල් උත්සන්න වීම වැළැක්වීම සහ වඩාත් සර්ව-සහභාගී ආර්ථික පුනර්ජීවනයකට සහාය වීම ව්‍යාපෘතියේ අරමුණු අතර වේ.
ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-ඇන්ඩ්‍රේ ෆ්රාන්ෂ් සඳහන් කර ඇත්තේ, ආර්ථික පුනර්ජීවනය හරහා වඩා හොඳ රාජ්‍ය සේවා, සේවා ස්ථානවල සාධාරණ තත්ත්වයන් සහ ප්‍රජාවන්ට තම අනාගතය හැඩගස්වා ගැනීමට වැඩි අවස්ථා ලබාදිය යුතු බවය.
ජනතාවගේ ගැටලු අසා ගැනීමෙන් පමණක් නොනැවතී, ඒවා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමද වැදගත් බව ඔහු මෙහිදී අවධාරණය කර තිබේ.
මෙම ව්‍යාපෘතිය එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා තිරසර සංවර්ධන අරමුණු අරමුදලේ මූල්‍ය දායකත්වයෙන් ක්‍රියාත්මක කර ඇති අතර, ජාත්‍යන්තර කම්කරු සංවිධානය, එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන, විද්‍යා හා සංස්කෘතික සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල එක්ව එය ක්‍රියාත්මක කර ඇත.
රාජ්‍ය අංශයේ සමාජ සංවාදය වර්ධනය කිරීම යටතේ ශ්‍රී ලංකාවේ මිලියන 1.4කට ආසන්න රාජ්‍ය සේවකයින් අතර සංවාදය සඳහා අවකාශ නිර්මාණය කිරීමට ව්‍යාපෘතිය අවධානය යොමු කර තිබේ.
ඒ සඳහා සේවා ස්ථාන මට්ටම, ආංශික මට්ටම සහ ජාතික මට්ටම යන මට්ටම් තුනක ක්‍රමවේදයක් හඳුන්වාදී ඇති අතර, ව්‍යාපෘතිය යටතේ සේවා ස්ථාන සංසද 87ක් සහ ආංශික සංසද 7ක් ස්ථාපිත කර ඇත.
එමෙන්ම ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ප්‍රවර්ධනය කිරීම, සේවා ස්ථානවල ලිංගික හිරිහැර වැළැක්වීම සහ ඒවාට ප්‍රතිචාර දැක්වීම, දුක්ගැනවිලි විසඳීමේ යාන්ත්‍රණ ශක්තිමත් කිරීම සහ කාන්තා සහභාගීත්වය හා නායකත්වය වැඩිදියුණු කිරීම සඳහාද මෙම ව්‍යාපෘතිය සහාය ලබාදී ඇත.
මෙරට ශ්‍රම බලකායෙන් තුනෙන් දෙකක් පමණ අවිධිමත් ආර්ථිකයට අයත් වන පසුබිමක, කාන්තාවන්, තරුණ තරුණියන් සහ ප්‍රමාණවත් නියෝජනයක් නොලබන කණ්ඩායම් ප්‍රාදේශීය තීරණ ගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධ කරගැනීමටද වැඩසටහන කටයුතු කර තිබේ.
ඒ අනුව ගම්පහ, බදුල්ල සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ප්‍රජා සංසද 33කට සහාය ලබාදී ඇති අතර, ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලිය අවබෝධ කරගැනීම සහ ප්‍රජා ප්‍රමුඛතා දිස්ත්‍රික් මට්ටමේ නිලධාරීන් වෙත ඉදිරිපත් කිරීම සඳහා සංසද සාමාජිකයින් 180කට වැඩි පිරිසකට පුහුණුව ලබාදී ඇත.
මෙම වැඩසටහන හරහා රාජ්‍ය අංශය, පෞද්ගලික ව්‍යාපාර සහ ප්‍රජාවන් අතර විශ්වාසය ගොඩනැගීමට සහ ගැටලු හා දුක්ගැනවිලි ඉදිරිපත් කර ඒවාට ප්‍රතිචාර දැක්වීම සඳහා ක්‍රමවේද ස්ථාපිත කිරීමට හැකි වූ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කළේය.
මෙම ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සහ ශ්‍රී ලංකාවේ සමාජ සංහිඳියාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා රජය, සේවායෝජකයින්, සේවකයින් සහ ප්‍රජාවන් අතර පවතින සම්බන්ධතාව අඛණ්ඩව පවත්වා ගැනීම වැදගත් බවද මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.


