brand logo
logo
ජල නළ පද්ධතියක් විනාශ කර දැමූ තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට

ජල නළ පද්ධතියක් විනාශ කර දැමූ තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට

28 September 2026 | රංජිත් රාජපක්ෂ-හැටන්


බගවන්තලාව පොලිස් වසමට අයත් කැම්පියන් නගරයේ සහ කැම්පියන් වතුයායේ පහළ කොටසට පානීය ජලය රැගෙන යන ප්‍රධාන ජල නළ පද්ධතිය ඊයේ (27) දින රාත්‍රියේ ස්ථාන කිහිපයකින් කඩා විනාශ කල තරුණයන් දෙදෙනෙකු බගවන්තලාව පොලිසිය විසින් ඊයේ දින රාත්‍රියේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.


කැම්පියන් වතුයායේ ඉහළ ජල පෝෂක ප්‍රදේශයේ සිට තේ වතුයාය හරහා කැම්පියන් නගරයට ඉහළින් ඉදි කර ඇති ජල ටැංකියකට ජල නළ යොදා ජලය එක් රැස් කර එම ජලය කැම්පියන් නගරයට සහ කැම්පියන් වතුයායේ පහළ කොටසේ වතු නිවාසවලට පානීය ජලය ලබා දීම සිදු කරනු ලබයි.


සැකකරුවන් දෙදෙනා ඊයේ රාත්‍රියේ එම ජල නළ පද්ධතිය කඩා විනාශ කර දැමීම සම්බන්ධයෙන් කැම්පියන් නගරයේ වෙළඳුන් විසින් බගවන්තලාව පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලක් මත එම වතුයායේම පදිංචි සැකකරුවන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන ඇත.


සැකකරුවන් දෙදෙනා කඩා විනාශ කර දමා තිබූ ජලනළ ප්‍රදේශවාසීන් සහ බගවන්තලාව පොලිසිය එක්ව අද(28) දින සොයා ගත් අතර, පවත්නා තත්වය මත කැම්පියන් නගරයේ ව්‍යාපාරික ප්‍රජාව සහ කැම්පියන් වතුයායේ පහළ කොටසේ පදිංචි වතුකම්කරු පවුල් 225ක් පමණ දැඩි ලෙස පීඩාවට පත් වී ඇත.


එයට විරෝධය පාමින් කැම්පියන් නගරයේ ව්‍යාපාරිකයන් සිය වෙළදසැල් වසා දමා විරෝධය දැක්වූ අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර උපරිම දඩුවම් ලබා දෙන ලෙසයි පානීය ජලය නොමැතිව පීඩාවට පත් වී සිටින කැම්පියන් නගරයේ ව්‍යාපාරික ප්‍රජාව සහ සහ කැම්පියන්ව තුයායේ පහළ කොටසේ පදිංචි වතුකම්කරු ප්‍රජාව කියා සිටියේය.

 

More News..