brand logo
logo
ලිට්‍රෝ ගෑස් ගැන සමාගමෙන් විශේෂ දැනුම්දීමක්

ලිට්‍රෝ ගෑස් ගැන සමාගමෙන් විශේෂ දැනුම්දීමක්

31 October 2026

නොවැම්බර් මාසය සඳහා ගෘහස්ථ ගෑස් සිලින්ඩර් මිලියන තුනක් වෙළඳපොළට නිකුත් කිරීමට ලිට්‍රෝ ගෑස් ආයතනයට හැකියාව ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.


එහි විකුණුම්, අලෙවි සහ ආයතනික සබඳතා අධ්‍යක්ෂ ජනක පතිරත්න මහතා පැවසුවේ, සියලුම වාණිජ පාරිභෝගිකයන්ට අවශ්‍ය ගෑස් වෙළඳපොළට නිකුත් කිරීම මඟින් සමස්ත ගෑස් අවශ්‍යතාවය සපුරාලීමට හැකි වන බවයි.


සාමාන්‍යයෙන් මසකට ලිට්‍රෝ ගෑස් මෙට්‍රික් ටොන් 32,000ක් සහ තරගකාරී සමාගමට මෙට්‍රික් ටොන් 6,000ක් ලෙස සමස්ත අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 38,000ක් පමණ වන බවත්, වර්තමාන ගෑස් අවශ්‍යතාව සැලකිල්ලට ගෙන නොවැම්බර් මාසය සඳහා මෙට්‍රික් ටොන් 44,000ක් Geo Gas (ජියෝ ගෑස්) ආයතනය හරහා ඇණවුම් කර ඒවා තහවුරු කර ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.

එමෙන්ම, මෙට්‍රික් ටොන් 3,900ක් රැගත් 'Goodwill' (ගුඩ්විල්) නෞකාව මේ වන විට ගොඩබෑම් කටයුතු සිදු කරමින් පවතින බවද අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම තවත් මෙට්‍රික් ටොන් 3,900ක් රැගත් 'Quarantine' (කොරන්ටයින්) නෞකාව හෙට (01) දින දිවයිනට ළඟා වීමට නියමිත බව ඔහු මෙහිදී කියා සිටියේය.

මේ හරහා අද (31) පස්වරුව වන විට කොළඹ ප්‍රදේශය සඳහා සාමාන්‍ය පරිදි ගෑස් බෙදාහැරීම සිදු වන අතර, අනෙකුත් ප්‍රදේශ සඳහා හෙට (01) දිනයේදී එම කටයුතු සාමාන්‍ය පරිදි සිදු කිරීමට හැකියාව ලැබෙනු ඇත.

එහිදී අදහස් දැක්වූ ජනක පතිරත්න මහතා,

''සාමාන්‍යයෙන් මසකට ලිට්‍රෝ ගෑස් මෙට්‍රික් ටොන් 32,000ක් පමණ අවශ්‍ය වෙනවා. තරගකාරී සමාගමට මෙට්‍රික් ටොන් 6,000ක් පමණ අවශ්‍ය වෙනවා. සමස්ත අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 38,000ක් පමණ වනවා. වර්තමාන ගෑස් අවශ්‍යතාව සැලකිල්ලට ගෙන, නොවැම්බර් මාසය සඳහා මෙට්‍රික් ටොන් 44,000ක් ජියෝ ගෑස් ආයතනය මගින් ඇණවුම් කර, එම ඇණවුම් තහවුරු කර තිබෙන බව සඳහන් කළ යුතුයි. නොවැම්බර් මාසය සඳහා ගෘහස්ථ ගෑස් සිලින්ඩර් මිලියන 3ක් වෙළඳපොළට නිකුත් කිරීමට ලිට්‍රෝ ගෑස් ආයතනයට හැකියාව තියෙනවා.

ඒ වගේම සියලුම වාණිජ පාරිභෝගිකයන් සඳහා අවශ්‍ය ගෑස් වෙළඳපොළට නිකුත් කිරීම මගින් සමස්ත ගෑස් අවශ්‍යතාව සපුරාලීමට ලිට්‍රෝ ගෑස් ආයතනයට හැකියාවක් ලැබෙනවා. අද දින මෙට්‍රික් ටොන් 3,900ක් රැගත් ගුඩ්විල් නෞකාව මේ වන විට ගොඩබෑම් කටයුතු සිදු කරමින් පවතින අතර, තවත් මෙට්‍රික් ටොන් 3,900ක් රැගත් කොරන්ටයින් නෞකාව නොවැම්බර් මස 1 වැනි දින දිවයිනට ළඟා වීමට නියමිතයි. එමගින් අද සෙනසුරාදා දින හවස වන විට කොළඹ ප්‍රදේශය සඳහා සාමාන්‍ය ලෙස ගෑස් බෙදාහැරීම සිදු වන අතර, අනෙකුත් ප්‍රදේශ සඳහා ඉරිදා දිනයේදී ගෑස් බෙදාහැරීම සාමාන්‍ය පරිදි සිදු කිරීමට හැකියාවක් ලැබේ.'' 


 

More News..