නකල්ස් ප්‍රදේශයෙන් හමුවූ දැරිය සහ බිළිදා ගැන කාන්තා කටයුතු අමාත්‍යවරියගෙන් ප්‍රකාශයක්
15 November 2026
නකල්ස් ප්‍රදේශයෙන් හමුවූ දැරිය සහ බිළිදා ගැන කාන්තා කටයුතු අමාත්‍යවරියගෙන් ප්‍රකාශයක්
15 November 2026
නකල්ස් ප්‍රදේශයෙන් සොයාගත් 15 හැවිරිදි දැරිය සහ බිළිඳාගේ අනාගත යහපැවැත්ම තහවුරු කිරීම වෙනුවෙන් රජයේ පාර්ශ්වයෙන් සිදුකළ යුතු සියලු මැදිහත්වීම් කඩිනමින් සහ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට මේ වන විට අදාළ අංශ වෙත උපදෙස් ලබාදී ඇති බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සඳහන් කළේ, නකල්ස් ප්‍රදේශයෙන් වාර්තා වූ වයස අවුරුදු 15ක පමණ දැරියක් අනාරක්ෂිත දරු ප්‍රසූතියකින් අනතුරුව බිළිඳෙකු සමඟ සොයාගැනීමේ සිදුවීම මවක් ලෙස තමන්ට ද අතිශය කම්පනකාරී පුවතක් බවය.
මෙම සිදුවීම හුදෙකලා සිදුවීමක් ලෙස නොසලකන බවත්, වර්තමානයේ පවතින ආර්ථික, සමාජීය හා දේශපාලනික ඇතුළු විවිධ සංකීර්ණතා හේතුවෙන් දරුවන් විවිධ මට්ටම්වලින් සහ විවිධ ආකාරයෙන් අනාරක්ෂිතභාවයට පත්වන බවත් අමාත්‍යවරිය පෙන්වා දෙයි.
එමෙන්ම, මව්පියන් සහ දරුවන් අතර පැවතිය යුතු අන්‍යෝන්‍ය සම්බන්ධතාව සහ සන්නිවේදනය ක්‍රමයෙන් ගිලිහී යාම ද මෙවැනි සිදුවීම්වලට බලපාන ප්‍රධාන සාධකයක් බව නිරීක්ෂණය වී ඇතැයි ඇය සඳහන් කරයි.
මේ හේතුවෙන් දරුවන්ට වඩාත්ම ආරක්ෂිත විය යුතු තම සමීපතම පරිසරය තුළම ඔවුන් අනාරක්ෂිතභාවයට පත්වීමේ ප්‍රවණතාවක් නිර්මාණය වී ඇති බව ද අමාත්‍යවරිය පෙන්වා දෙයි.
කුමන තත්ත්වයක් යටතේ වුව ද, "තම මව්පියන් ළඟ තමන් සුරක්ෂිතයි" යන නොසැලෙන විශ්වාසය දරුවන් තුළ ගොඩනැගීමට මව්පියන් ලෙස සියලු දෙනා උත්සාහ කළ යුතු බව ද ඇය අවධාරණය කර සිටී.
පවුල තුළ එවැනි සුරක්ෂිත පරිසරයක් සහ විවෘත සංවාදයක් ඇති කිරීම තුළින් මෙවැනි අනතුරුදායක සහ කම්පනකාරී සිදුවීම් ඇතිවීම බොහෝ දුරට අවම කරගත හැකි බව ද අමාත්‍යවරිය සඳහන් කළාය.
එමෙන්ම, මෙවැනි තත්ත්වයන්හිදී අවදානමට හෝ අනාරක්ෂිතභාවයට පත්වූවන් සමඟ සෘජුව හෝ වක්‍රව කටයුතු කරන සහ මැදිහත් වන සියලුම පාර්ශ්වයන් මෙන්ම රාජ්‍ය ආයතන ද ජනතාවට වඩාත් සමීප, පහසුවෙන් ප්‍රවේශ විය හැකි සහ විශ්වාසවන්ත ආයතන බවට පත්විය යුතු බවට ද මෙම සිදුවීම පණිවිඩයක් ලබාදෙන බව සරෝජා පෝල්රාජ් අමාත්‍යවරිය පවසයි.
මෙවැනි සමාජීය ගැටලු සහ අනාරක්ෂිත තත්ත්වයන් පිළිබඳව දීර්ඝකාලීනව අවධානය යොමු කරමින්, අනාරක්ෂිතභාවයට පත්වන දරුවන් වෙනුවෙන් විධිමත් විසඳුමක් ලෙස 2027 වසරේ සිට නව "විකල්ප රැකවරණ ප්‍රතිපත්තියක්" ක්‍රියාත්මක කිරීමට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.
ඒ සඳහා අවශ්‍ය අයවැය ප්‍රතිපාදන වෙන්කර ගැනීම ඇතුළු සියලු කටයුතු මේ වන විටත් සිදුකරමින් පවතින බව ද අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසීය.
දරුවන්ගේ ආරක්ෂාව සහ අයිතිවාසිකම් තහවුරු කිරීම සමස්ත සමාජයේම වගකීමක් වන බැවින්, රටේ දරුවන් සම්බන්ධයෙන් වඩාත් සංවේදීව සහ අවධානයෙන් කටයුතු කරන ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සියලු පුරවැසියන්ගෙන් ඉල්ලීමක් කර ඇත.


